Saturday, December 11, 2010

SIRIKOTHA

ඇතුළුවීම අවසර ලත් අයට පමණයි. .


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු එම පක්ෂ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු සහභාගි වූ මාධ්‍ය හමුවක් අද(11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. එහිදී විපක්ෂ නායකවරයා රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ අයුරු ඉහතින් දැක්වේ. හෙට(12) පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට සහභාගි විය හැක්කේ අවසරය ඇති පුද්ගලයින්ට පමණක් බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 211 ක් උසස් පෙළ සමත්


පුනරුත්ථාපනය වෙමින් සිටින එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි 211 දෙනෙකු සමත් වී ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා එල්. ටී. ටී. ඊ රැඳවියන් 360 දෙනෙකු පෙනී සිටි බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉන් බහුතරයක් මෙවර උසස් පෙළ විභාගය සමත්වීම වි‍ශේෂත්වයක් බව සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙවර උසස්පෙළ විභාගය සමත් එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් දෙදෙනෙකු වෛද්‍ය විද්‍යාලය සඳහා ද තවත් 40 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලබනු ඇති බව ඔහු විශ්වාසය පළ කර සිටියි.
adaerana.lk

මව්පියන් හා දේශපාලනඥයන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන තිබෙනවා


මව්පියන් සහ දේශපාලනඥයන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වර්තමානයේ පාසල් දරුවන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට‍ හුරුකිරීම තුළින් මෙය සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

අද(11) ජනකලා කේන්ද්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

අතීතයේ දී පාසල් දරුවන්ට‍ සෞන්දර්ය රසවින්දනය සඳහා උපරිම නිදහසක් තිබූ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
adaderana.lk

අන්තර්ජාතික නෞකා දැක්මක් අද ගාලු ‍මුවදොරදී


නාවික හමුදාවට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති ප්‍රදර්ශනයට සමගාමීව අන්තර්ජාතික නෞකා දැක්මක් අද(11) සවස ගාලු ‍මුවදොර මුහුදු තීරයේ දි පැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පවසයි.

මේ යටතේ දිවයිනට පැමිණ තිබෙන අන්තර්ජාතික යුද නෞකා 8 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රා සහ අනෙකුත් යුද නෞකා ප්‍රදර්ශනය කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

මේ සමඟ මහ ජනතාවට එම නෞකා මෙන්ම නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ, ක්ෂණික විහිදුම් යාත්‍රා බල ගණයේ සහ විශේෂ යාත්‍රා බල ගණයේ අධිවේගී යාත්‍රා හැසිරවීමත් මෙහිදී දැකගැනීමට අවස්ථාව ලැබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සම්මේලනය අත්හිටුවන පෙත්සම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්


එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය වළක්වාලීමේ වාරණ නියෝගයක් පනවන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකිරීම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එමෙන්ම ඊයේ(10) අධිකරණයේදී එම පෙත්සම නිෂ්ප්‍රභ කරගැනීමට අවස්ථාව සැලසීමේ ප්‍රධානතම හේතුව වූයේ පෙර සූදානම් වී සිටීම බව ද හෙතෙම පෙන්වාදෙයි.

අද(11) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු දැක්වීය. අදාළ පෙත්සම පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදුකර නොතිබූ බව ද අත්තනායක මහතා එහිදී කියා සිටියේය.

කිසිදු බාධාවකින් තොරව හෙට(12) දිනය තුළ එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැත්වෙන බවත්, එහි ප්‍රධානම පරමාර්ථය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කරන ලද නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කරගැනීම බවත් මහ ලේකම්වරයා පෙන්වාදුන්නේය.

හෙට සිට පක්ෂය යහපත් ඉදිරි පියවරක් තබන බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම හෙට පැවැත්වෙන සම්මේලනයට සහභාගි විය හැක්කේ නීත්‍යානුකූලව අවසරය ලද පුද්ගලයින්ට පමණක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.adaderana.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යෝග පාඩමක්


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ යෝග අභ්‍යාස වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනගේ ඉහළ මානසික ආතති මට්ටම අවම කිරීම මෙම යෝග අභ්‍යාස වැඩසටහනෙහි අරමුණ වී ඇති බව ද සඳහන්ය.

මෙම යෝග අභ්‍යාස තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විනය, යහපත් හැසිරීම සහ ආතතිකාරී අවස්ථාවකදී තමන් පාලනය කරගැනීම වැනි කරුණු පිළිබඳව ඉගැන්වෙන බව මෙම යෝග අභ්‍යාස වැඩසටහනෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන චමින් වර්ණකුල මහතා පවසයි.
adaderana.lk