Monday, January 3, 2011

ශ්‍රී ලංකාවේ අලුත්ම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීමයි


ශ්‍රී ලංකාව පිහිටුවා ඇති නවතම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී පොල් වගා කර පිටරටට යැවූ බවට වාර්තා තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වීරයා ද්‍රෝහියා කර ද්‍රෝහියා වීරයා බවට පත් කිරීමෙන් ද ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා ඇති බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා සිර ගත කොට කේ පී නිදහස් කිරීම මෙම ලෝක වාර්තාව බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට සෞඛ්‍යය ආසියාවේ හොඳම සෞඛ්‍යය කිරීමට වැඩ කළ යුතුයි


මෙරට සෞඛ්‍යය සේවාව ආසියාවේ හොඳම සෞඛ්‍යය සේවාව බවට පත් කිරීම සඳහා සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අග්නිදිග ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවාව පවත්නා රට ලෙස ශ්‍රී ලංකාව මේ වන විටත් නම් දරා ඇති බව ඔහු පෙන්වාදෙයි.

නව වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ රාජකාරී කටයුතු අරඹමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

සෞඛ්‍යය සේවාව ‍රාජකාරියට පමණක් සීමා නොකර උතුම් සේවාවක් ලෙස පවත්වාගෙන යාම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ යුතුකම බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

සංවර්ධනයත් අපේ අතේ-විනාශයත් අපේ අතේ


රටක් සංවර්ධනය කරා යන්නේත්, විනාශය කරා යන්නේත්, ඒ රටේ දේශපාලනඥයන් විසින් ගන්නා තීන්දු තීරණ නිසා බවත්, ඒවා මොන පාටින් සිදුවෙනවාද? යන්න වැදගත් නොවන බවත්, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (03) පෙරවරුවේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතා හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියා කළ යුත්තේ ප‍්‍රශ්න හා ගැටලු වෙනුවෙන් නොව විසදුම් වෙනුවෙන් බවත්, ජනාධිපතිතුමා විසින් පවරන ලද වගකීම ඉටු කිරීම සඳහා වේගවත් ගමනක් යා යුතු බවත් අලහප්පෙරුම මහතා පෙන්වාදුන්නේය.

එකී වේගවත් ගමන යාමේදී යන වාහනයේ මලකඩ කාපු, කැරකෙන්නේ නැති ඇණ මුරිච්චි කිසිවක් පෙනෙන්නට නොමැති බවත්, එසේ පෙනෙන්නට ඇත්නම් පෙනෙන පළමු පැයේදීම ඒවා ඉවත් කරන බවත්, අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමත්‍යාංශය පිහිටුවා වසර 32 ක් හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිහිටුවා වසර 16 ක් ගතවී තිබෙන බව පැවසූ අලහප්පෙරුම මහතා, එදා මෙදාතුර අමාත්‍යාංශය ආමන්ත‍්‍රණය කර ඇත්තේ සමස්ථ යෞවනයන්ගෙන් 3% ට පමණ සුළු ප්‍රතිශතයකට පමණක් බවද ප‍්‍රකාශ කළේය.

සෑම වසරකම ජනවාරි මාසයේ පළමු ශ්‍රේණිය සඳහා 3,30,000 ක් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට බාර දෙන බවත්, එයින් 21,000 ක් සෑම වසරකම දෙසැම්බර් මාසයේ එස්.බී. දිසානායක අමාත්‍යතුමා බාරගන්නා බවත්, ඉතිරි 3,09,000 වගකීම තමා මත පැවරෙන බවත් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කළේය.

එයින් පසුගිය වසරේ සිය වගකීම ඉටුකිරීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙන්නේ 68,000 ක් පමණක් වෙනුවෙන් බව සිහිපත් කළ අමාත්‍යවරයා 2011 වසරේ සිය වගකීම ලක්ෂයක් දක්වා ඉටු කිරීමට කැපවී ක‍්‍රියා කළ යුතු බවද, ප‍්‍රකාශ කළේය.

ගිය වසරේ අමාත්‍යාංශය විසින් එක් ළමයෙකු වෙනුවෙන් රු. 1,21,421/= වැය කර තිබූ අතර, මේ වසරේ ලක්ෂයක් පුහුණු කළහොත් එම මුදල රු. 85,000/= දක්වා අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. adaderana.lk

පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි


ජනප‍්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදූවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට වැඩම කොට ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සිරිධම්ම හිමියන් වැඩවාසය කළ දෙහිවල, බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදූවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රැසක්ම අවුල් සහගතව අතරමග නතර වී ඇත.

කොළඹ පෞද්. බැංකුවක මිලියන 10ක් ඉතාලියේ ඒ.ටී.එම්. යන්ත්‍රයකින් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට


ජන.03- කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් මිලියන 10ක පමණ මුදලක් වංචාකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ බැංකු ශාඛාවක ගිණුම් කිහිපයකට අදාළ මුදල් එලෙස සොරාගෙන ඇති බවය.

අදාළ ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රය භාවිත කර ඉතා සුක්ෂම අයුරින් එම ගිණුම්වලට අදාළ තොරතුරු සොරාගෙන තිබේ.

එම මුදල් සොරාගෙන ඇත්තේ ඉතාලියේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකින් බවද පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියට විදේශිකයින් කිහිප දෙනෙකුද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී තිබේ.

බැංකු ශාඛාවේ පිහිටි ආරක්ෂිත කැමරාවලින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු හදුනාගෙන තිබෙන අතර පොලිසිය ප්‍රකාශ කළේ දැනට සිදුකළ පරීක්ෂණවලදි හෙලිවු තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද බැංකු කාඩ්පත් 58 ක් පිස්තෝලයක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ

පොලිස් අත්අඩංගුවට පත් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර නිදහස් කෙරේ. 03-01-2011


අද (03) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත්වූ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මීට සුළු මොහොතකට පෙර නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා. දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවයක් මත මෙසේ ගැටලූව නිරාකරණය කර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. සිය පිස්තෝලයෙන් ත‍්‍රිරෝද රථ රියැදුරෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ බවට වූ පැමිණිල්ලක් මත නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර අද (03) පෙරවරුවේ වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.