Saturday, August 14, 2010

ෆොන්සේකාගේ නිලතල අහිමිකිරීමේ තීන්දුවට ජනපති අනුමැතිය


සරත් ෆොන්සේකා මහතාගේ සියලු හමුදා නිලතල අහෝසි කරන ලෙස පළමු යුද අධිකරණය ලබාදුන් තීන්දුව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ. ඊ‍යේ දිනයේ යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද පළමු යුද අධිකරණ තීන්දුව සඳහා මෙසේ අනුමැතිය ලැබී ඇති බව යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් දුමින්ද ගමගේ මහතා පැවසුවේය. ඒ අනුව පළමු යුද අධිකරණය විසින් නිර්දේශ කර ඇති කරුණු ක්‍රියාවට නැංවෙනු ඇත.

එකී තීරණය ඉදිරියේ දී ෆොන්සේකා මහතාට ද දැන්වීමට නියමිතව තිබේ. ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම පිළිබඳ විභාග කළ පළමු යුද අධිකරණය ඔහුට එරෙහිව නැගී ඇති චෝදනා තුනටම වැරදිකරු බව ඊයේ තීරණය කළේය.

යුද අධිකරණය මගින් දඬුවම් තිරණය කිරිමෙන් අනතුරුව එම තීන්දුව අදාළ අධිකරණය කැඳවීමේ බලධරයා සහ දඬුවම තහවුරු කිරීමේ බලධරයා ද වන සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබුණි. ජනාධිපතිවරයා මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ඒ අනුවය. adaderana.lk

ෆොන්සේකාට බරපතල දඬුවම් ලැබිය යුතුයි


ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා වැරදිකරු කරමින් පළමු යුද අධිකරණය විසින් ලබාදුන් දඬුවම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අනුමත කරනු ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හමුදා විනය පවත්වාගෙන යාමට නම් ජෙනරාල් ෆොන්සේකා සිදුකළ වැරදි වලට දඬුවම් ලබාදිය යුතු බවට ඔහු අවධාරණය කරයි. ඔහු ජාතික ආරක්ෂාව අනතුරේ හෙලූ බවත්, එය සරල වරදක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් අද දෙරණ වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.‍

ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකු ලෙසත්, ජාතික ආරක්ෂාව පිළිබඳව ගනු ලබන තීන්දු තීරණ වලට සම්බන්ධ වූ කෙනෙකු ලෙසත්, ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් වගකීම් රැසක් දැරූ රාජ්‍ය නිලධාරියකු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ පිරිසකට සහය දැක්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එම ක්‍රියාව ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විනාශ කිරීමට දැරූ උත්සාහයක් ලෙසත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි නිලධාරියකු සාධාරණීකරණය කළ හැකිද යන පැනය විනිවිදභාවය පිළිබඳව කතාකරන පුද්ගලයින්ගෙන් විමසා සිටින බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය. සරත් ෆොන්සේකා සිදුකළ වැරදි වලට බරපතල දඬුවම් හිමිවිය යුතු බවට ද ඔහු අවධාරණය කරයි. එමෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලුම තනතුරු අහිමි වනු ඇති බවත්, ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙක් පමණක් වනු ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.adaderana.lk

සක්විති හොර ඔප්පු හදමින් ඉඩම් විකුණලා


මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සක්විති රණසිංහ නැමැත්තා ව්‍යාජ ඔප්පු සකස් කරමින් ඉඩම් විකිණීමේ නිරතව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුගෙන් ඉඩම් මිලදී ගෙන එවැනි ගැටලුවලට ගොදුරු වූ පුද්ගලයින් සිටී නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්ත‍මේන්තුව විසින් ලබාදී තිබේ. 0112 422176 ඇමතීමෙන් එම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව සක්විති රණසිංහ නැමැත්තා ලබාදී ඇති, මුදල් කරගැනීමට නොහැකිව බැංකු විසින් ආපසු යොමු කරන ලද චෙක්පත් හිමිකරුවන් වේ නම් ඒ පිළිබඳව ද දැනුම් දෙන ලෙස පොලිසිය දන්වා සිටියි.
adaderana.lk

හෙද ගැටලු වලට මේ මාසය තුළ විසඳුම්


හෙද ‍සේවාවේ ගැටලුවලට මේ මාසය තුළ විසඳුම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව හෙද කාර්යය මණ්ඩලය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට විසඳුම් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

කඩිනමින් එම ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇති හෙයින් හෙද කාර්යය මණ්ඩලය ලබන 16 වැනිදා කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය‍ සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී හෙද හෙදියන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට එකගත්වය පළවී තිබේ. adaderana.lk

රඹුටන් කැඩීමට ගොස් විදුලි සැර වැදී ළමුන් දෙදෙනක් මරුට


රත්නපුර, පතුල්පාන ප්‍රදේශයේ ළමුන් දෙදෙනකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී විදුලි සැර වැදුණු තවත් ළමයෙකු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. අදාළ ළමුන් තිදෙනා රඹුටන් ගසකට නැග රඹුටන් කඩමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

ඔවුන් අත තිබූ යකඩ කම්බියකින් රඹුටන් කඩමින් සිටියදී එය අසල තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. විදුලි සැර වැදුණු අනෙක් ළමයා ද බරපතල තත්ත්වයේ පසුවන බව සිද්ධිය සම්බන්ධයෙන්"අද දෙරණ"රත්නපුර රෝහලෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙ‍සේ අනතුරට‍ ලක්ව ඇත්තේ වයස අවුරුදු 10 ත් 15 ත් අතර වයසේ පසුවන ළමුන් තිදෙනෙකු බව සඳහන්ය. adarana.lk

ෆොන්සේකාගේ ආරක්ෂාව ගැන මූන් යළි මතක් කරයි


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යළි අවධාරණය කර තිබේ.

ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් බැන්කි මූන් මහ‍තාගේ අදාළ ප්‍රකාශය නැවත වරක් සිහිපත් කළ බව සඳහන්ය. අත්අඩංගුවට පත්වූ ජෙනරාල් ‍‍ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට සහ ආරක්ෂාව සැපයීමට බලධාරීන් සහතික විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එහිදී ප්‍රකාශ කර තිබුණි. adaderana.lk

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජවිපෙ රට පුරා උද්ඝෝෂණයේ


රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසට බලකරමින් දැවැන්ත උද්ඝෝෂණ රැසක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනතා ‍විමුක්ති පෙරමු‍ණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. සාමකාමී ලෙස පවත්වන උද‍්ඝෝෂණවලට එරෙහිව රජය ගෙන යන මර්දනකාරී පිළිවෙත දැඩිලෙස හෙළා දකින බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් සැලසුම් කර ඇති උද්ඝෝෂණ මාලාවේ පළමු පියවර ලෙස අද සවස 4 ‍ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම මන්ත්‍රී වරප්‍රසාද පවා උල්ලංඝණය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව එහිදී හඬක් නගන බව ඔහු අවධාරණය කර සිටියි.
adaderana.lk

මඩු මංගල්‍යය වෙනුවෙන් රාජ්‍ය ආයතන දිවා රාත්‍රී වැඩ


මෙවර මඩු මංගල්‍යයට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා සියලුම රාජ්‍ය බැංකු සහ ආයතන ලබන 16 වැනිදා තෙක් දිවා රාත්‍රී කාලයේ විවෘතව තැබීමට පියවර ගෙන තිබේ. මඩු ‍වන්දනාවට සහභාගි වන බැතිමතුන්ට අවශ්‍ය ආහාර, මිල මුදල් ඖෂධ හා සනීපාරක්ෂක කටයුතු සිදුකරගැනීම සඳහා ඊට අදාළ රාජ්‍ය ආයතන මෙසේ විවෘතව තැබෙනු ඇත.

යුධ ජයග්‍රහණයෙන් පසුව ‍ දෙවන වාර්ෂික මඩු මංගල්‍යය මෙවර එළඹේ. මේ හේතුවෙන් පසුගිය වසරේ මඩු මංගල්‍යයට වඩා මනා සංවිධානයකින් යුතුව මෙවර මඩු මංගල්‍යය පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇති බව සඳහන්ය. වාර්ෂික මඩු මංගල්‍යය අද සහ හෙට පැවැත්වේ. adaderana.lk

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් 37 ගේ වෘත්තීය පුහුණුව අවසන්


පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී වෘත්තීය පුහුණුව ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් 37 දෙනෙකු පුහුණුව අවසන් කර තිබේ. ඔවුන්ට මනාලියන් හැඩගැන්වීම සහ කොණ්ඩා‍ මෝස්තර පිළිබඳ විධිමත් පුහුණුවක් ලබාදී ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි. වයස අවුරුදු 45 ට වැඩි කාණ්‍ඩයේ පසුවූ අදාළ පිරිස එම වයස් කාණ්ඩය යටතේ පුනරුත්ථාපනය වූ අවසන් කණ්ඩායම බව ද වාර්තා වේ.

පුහුණුව ලැබූ එම පිරිසට වව්නියාවේ සිය ගම්ප්‍රදේශවලට යාමේ අවස්ථාව සලසා දී ඇති අතර ඔවුන්ට නිදහසේ රැකියාවල නිරත විය හැකි බව සුදන්ත රණසිංහ මහතා පවසයි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් විශාල පිරිසකට මේ වන විට පුනරුත්ථාපනය කර රැකියා සඳහා පුහුණුව ලබාදී ඇත. adaerana.lk

සෙල්ලම් කරද්දී හමුවූ අත්බෝම්බය පුපුරයි


මොණරාගල, අලියාවත්ත ප්‍රදේශයේ දී අත්බෝම්බයක් පුපුරායාමෙන් ළමුන් දෙදෙනකු තුවාල ලබා තිබේ. ඊයේ පස්වරුවේ අලියාවත්ත ප්‍රදේ‍ශයේ ළඳු කැලෑවක සෙල්ලම් කරමින් සිටියදී හමුවී ඇති මෙම අත්බෝම්බය පරීක්ෂා කිරීමට යාමේ දී පුපුරා ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 8 ක් සහ 9 ක් වූ පිරිමි ළමුන් දෙදෙනෙකි. ඔවුන් මොණරාගල, සිරිගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.adaerana.lk

සන් සී කැනඩාවට ළඟාවෙයි


ශ්‍රී ලාංකික සරණාගතයින් 500 දෙනෙකු පමණ රැගත්"සන් සී"නැමැති නෞකාව කැනඩාවට අයත් බ්‍රිටිෂ්‍ කොළොම්බියා නාවික මූලස්ථානයට පැමිණ තිබේ. එම පිරිස කැනේඩියානු බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

එම නෞකාව කැනේඩියානු වෙරළාසන්නයට පැමිණීමත් සමග එරට බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් නෞකාව වටලා ඇත. ඊයේ රාත්‍රිය වන විට ආරක්ෂක අංශ නෞකාවට ඇතුළු වී ඇති අතර නෞකාවේ සිටින්නන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි. අදාළ නෞකාවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිටින බවට පළ වි තිබූ වාර්තා පිළිබඳව ද එරට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

සති කිහිපයක් තිස්සේ කැනඩාව දෙසට ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාව පිළිබඳ අවධානයෙන් සිටි බලධාරීන් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබුණි. කෙසේ‍වුවද එම සරණාගත පිරිසට වෛද්‍ය පහසුකම්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය‍ සේවාවන් සැපයීමට ද කැනේඩියානු බලධාරීන් පියවර‍ ගෙන තිබේ. adaderana.lk

ගාල්ල පොලිස් නිලධාරීන්ට ගුටි බැට දීම ගැන පොලිසියේ විරෝධය


උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට ගිය අවස්ථාවේ දී ගාල්ල පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ විරෝධය පළ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් සංගම් කිහිපයක් මෙලෙස සිය විරෝධය දක්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණිෂ්ඨ පොලිස් නිලධාරි සංගමය හා ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත ලිපි යොමුකරමින් මෙම විරෝධතා දක්වා ඇති බව සඳහන්ය. අදාළ සිද්ධියේ දී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. adaderana.lk

ජනපති පරීක්ෂණ කොමිසම අද වව්නියාවේ දී


උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව අද වව්නියාවේ දී රැස්වෙයි. වව්නියාව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ දී පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා මෙම ‍කොමිසම රැස්වන අතර පස්වරු 2 සිට 5 දක්වා සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එය රැස්වීමට නියමිතය.

එම කොමිසම වෙත සාක්ෂි සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අදාළ ප්‍රදේශවල මහජනතාවට ලබාදී තිබේ. මේ අතර ඊයේ කොළඹ දී රැස්වූ කොමිසම හමුවේ අධිනීතීඥ එස්.එල්. ගුණ‍සේකර මහතා සාක්ෂි ලබා දුන්නේය.

දේශපාලන පක්ෂවල අසමගිය ජනවාර්ගික ගැටලුවට මූලික හේතුවක් වූ බව එහිදී ඔහු සඳහන් ක‍ළේය. ත්‍රස්තවාදය නිමා වුව ද සිවිල් ජනතාවට සිදුවන අසාධාරණකම් නිමා වී නැතැයි ගුණසේකර මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් අවධාරණය කළේය.
adaderana.lk

මරදමඩු මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය 6 ක්


වාර්ෂික මරදමඩු මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය 6 ක් ධාවනයට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. කොළඹ -කොටුව, දකුණු කළුතර, මොරටුව සහ මීගමුව කේන්ද්‍ර කරගනිමින් මෙම දුම්රිය සේවාවන් ක්‍රියාත්මකය. මීට අමතරව කොළඹ ‍කොටුවේ සිට මැදවච්චිය දක්වා දෛනිකව දුම්රිය 6ක් ධාවනය වන බව ද අමාත්‍යාංශය පවසයි.

දුම්රියෙන් පැමිණෙන සියලු මගීන්ට මැදවච්චිය සිට මඩු දේවස්ථානය දක්වා විශේෂ බස්රථ ‍සේවයක් ද ක්‍රියාත්මක කරන බව මඩු මංගල්‍යය වෙනුවෙන් පළමු විශේෂ දුම්රිය ‍ පිටත්වී‍ෙම් අවස්ථාවට එක්වූ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. adaderana.lk