Saturday, August 14, 2010

ෆොන්සේකාට බරපතල දඬුවම් ලැබිය යුතුයි


ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා වැරදිකරු කරමින් පළමු යුද අධිකරණය විසින් ලබාදුන් දඬුවම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අනුමත කරනු ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හමුදා විනය පවත්වාගෙන යාමට නම් ජෙනරාල් ෆොන්සේකා සිදුකළ වැරදි වලට දඬුවම් ලබාදිය යුතු බවට ඔහු අවධාරණය කරයි. ඔහු ජාතික ආරක්ෂාව අනතුරේ හෙලූ බවත්, එය සරල වරදක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් අද දෙරණ වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.‍

ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකු ලෙසත්, ජාතික ආරක්ෂාව පිළිබඳව ගනු ලබන තීන්දු තීරණ වලට සම්බන්ධ වූ කෙනෙකු ලෙසත්, ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් වගකීම් රැසක් දැරූ රාජ්‍ය නිලධාරියකු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ පිරිසකට සහය දැක්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එම ක්‍රියාව ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විනාශ කිරීමට දැරූ උත්සාහයක් ලෙසත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි නිලධාරියකු සාධාරණීකරණය කළ හැකිද යන පැනය විනිවිදභාවය පිළිබඳව කතාකරන පුද්ගලයින්ගෙන් විමසා සිටින බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය. සරත් ෆොන්සේකා සිදුකළ වැරදි වලට බරපතල දඬුවම් හිමිවිය යුතු බවට ද ඔහු අවධාරණය කරයි. එමෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලුම තනතුරු අහිමි වනු ඇති බවත්, ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙක් පමණක් වනු ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.adaderana.lk

0 comments:

Post a Comment