Thursday, December 9, 2010

පළමු පුද්ගලික විශ්ව විද්‍යාලය අප්‍රේල් මාසයේ


රජයේ නියාමනය යටතේ මෙරට ස්ථාපිත කෙරෙන ප්‍රථම පෞද්ගලික විශ්ව විද්‍යාලය ලබන අප්‍රේල් මාසයේ ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

මේ වන විට රටවල් 26 ක් පමණ සමග මෙරට විශ්ව විද්‍යාල ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද එයින් රටවල් 15 ක පමණ ඒ සඳහා කෙරෙන මැදිහත්වීමක් පිළිබඳ සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ලබන අප්‍රේල් මාසයේ ආරම්භ කෙරෙන විශ්ව ව්ද්‍යාලය බොහෝවිට ඕස්ට්‍රේලියාව හෝ ඉන්දියාවේ සහයෝගය මත ආරම්භ කෙරෙනු ඇති බව දිසානායක අමාත්‍යවරයා අද දෙරණ වාර්තාකරු සමග කළ කතා බහකදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
adaderana.lk

යුක්රේන -ශ්‍රී ලංකා ගුවන් ගමනට අනුමැතිය හිමිවෙයි


ශීත ඍතුවේ දී යුක්රේනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සේවා ඇරඹීමට හැකිවන ගිවිසුමකට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම ගිවිසුම මගින් දෙරට අතර නිශ්චිත මාර්ග ඔස්සේ සතියකට ගුවන් ගමන් 7 බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2011 වසර වන විට ග්‍රීෂ්ම ඍතුව සඳහා ද ගුවන් ගමන් වැඩිකිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
adaderana.lk

ජනපති යුද අපරාධකරුවෙක් කරන්න ආණ්ඩුවෙන්ම කුමන්ත්‍රණයක්..?


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙකු ලෙස නම් කරවීමට ආණ්ඩුව තුළම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සාධාරණ සැකයක් මතුවෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

මේ අයුරින් වටේ සිටින අයගේ උපදෙස් ලබාගත හොත් වැඩි කල් නොගොස් ජනාධිපතිවරයාට ජාත්‍යන්තර අධිකරණයක් හමුවට කැඳවීමක් ලැබෙනු ඇති බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම අවධාරණය කළේය.

එහෙව් තත්ත්වයක් ඇති වෙන්නට ඉඩකඩ ලබා නොදීම හා එයින් ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද යුතුකම වන බව සමරවීර මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට නම්,ජනාධිපතිවරයාට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වලින් ගැලවීමට නම් ජාත්‍යන්තර වශයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට ඉඩ දිය යුතු බවද,ඒ සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවද සමරවීර මහතා සඳහන් කළේය.

එසේ නැතිව ආණ්ඩුවේ සිටින ළිං මැඬියන්ගේ උපදෙස් මත දිගින් දිගටම ක්‍රියා කරනු ලැබුවොත් ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු ලෙස නම් වීම සක්කරයාටවත් වළක්වන්නට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
adaderana.lk

නිකවැරටිය බෝක්කුවක් අසල බිළිදෙකු දමායාම -කතක් අත්අඩංගුවට

නිකවැරටිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල දිනක් වයසැති බිළිදෙකු දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව විසි පස් හැවිරිදි අවිවාහක කාන්තාවක් බව නිකවැරටිය පොලිසිය සඳහන් කළේය.

දිනක් පමණ වයසැති මෙම බිළි‍ඳා නිකවැරටිය හල්මිල්ලෑව විද්‍යාලය අසල බෝක්කුව මත දමා ගොස් සිටියදී ඊයේ(08) පෙරවරුවේ හමුවී තිබුණි.

අදාළ බිළිඳා දුටු ප්‍රදේශවාසියෙකු මේ බව නිකවැරටිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් එම දරුවා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා විය. අදාළ බිළිඳා දැනට නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්ය.
adaderana.lk

ජීවන තත්ත්වය නොසලකා අධ්‍යාපනය ගැන කතා කිරීම කනගාටුදායකයි


මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය ගැන නොසලකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන කතා කිරීම කනගාටුවට කරුණක් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ‍

නිදසුනක් ලෙස පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් සඳහා වසර 5 ට රුපියල් ලක්ෂ 90 ක් පමණ මුදලක් වැය වන මුත්,මෙරට ජනගහණයෙන් 41% ක දෛනික ආදායම ඇමරිකන් ඩොලර් 2 ටත් අඩු බව ද මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

උසස් අධ්‍යාපනයට දස වසරක ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් මතුව ඇති බවද දිසානායක මහතා සඳහන් කර තිබේ. මෙතෙක් සිදුවූයේ ජාත්‍යන්තර වශයෙන් බුද්ධිගලනයක් වුවද පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරිම හරහා රට තුළම අභ්‍යන්තර බුද්ධි ගලනයක් සිදුවන බව ද දිසානායක මහතා කියා සිටියේය.

අඩු වැටුපට ජාතික විශ්ව විද්‍යාල වල සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන් වැඩි පඩියට පුද්ගලික විශ්ව විද්‍යාල වල සේවයට යාම නොවැළැක්විය හැකි බවද,ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවා ගුරු හිඟයක් පවතිද්දී මෙම ගැටලුව වඩා අර්බුදයක් විය හැකි බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
adaderana.lk