Wednesday, February 17, 2010

කුමන්ත්‍රණ චෝදනා මත ත්‍රස්ත විමර්ශන අංශය රඳවාගෙන සිටි 14 දෙනා නිදහස්

ජෙනරාල් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධව සිටිමින් රජය පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා මත ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන සිටි පුද්ගලයන් 14 දෙනකු නිදහස් කරන්නැයි කොළඹ අංක 01 මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (17) නියෝග කළාය. මෙසේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන සිටියේ විශ්‍රාමික යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් 14 දෙනෙකි. ඔවුන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සහාය දීම පිළිබඳව සාක‍ෂි නොමැති නිසා ඔවුන් නිදහස් කරන බවයි.lankaenews

කරුණා ජාතික ලැයිස්තුවෙන් ඉවතට


ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කළ නොහැකි බව ශ්‍රීලනිප නායකත්වය විසින් දැනුම්දී තිබේ. මුරලිදරන් මහතා පාර්ලිමේන්තුවට පත්වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ උපසභාපතිවරයෙකි. දෙමළ ජනතාව කැමැති නායකයා කවුරුන් දැයි තෝරා ගැනීමට දෙමළ ජනතාවට ඉඩදිය යුතු බැවින් මහා මැතිවරණයට ඉදිරිපත්ව තරඟ කොට ජයග්‍රහණය ලබා ගන්නයි ජනාධිපතිවරයා මුරලිදරන් මහතාට දැනුම් දුන් බව දැනගන්නට ඇත. මේ අනුව මුරලිදරන් මහතා ලබන මහා මැතිවරණයේදී එජනිස අපේක‍ෂකයකු ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කරනු ඇත. නැගෙනහිර පළාත් සභා ඇමැති හිස්බුල්ලාගේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ගනේෂමූර්ති, අමීර් අලි සහ අලි සහීර් මව්ලානා මහත්වරුන් සන්ධානයේ අපේක‍ෂකයින් ලෙස මඩකලපු දිස්ත්‍රික්කයට තරඟ කිරීමට නියමිතය. මේ අතර නැගෙනහිර පළාතේ මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට වෙනම තරඟ කිරීමට තීරණය කොට ඇත.lanakaenews

අන්තර් ජාලයට වැට බැඳීම මැතිවරණය අවසන් වනතුරු කල් තැබේ


අන්තර් ජාලයට සම්බාධක පැනවීමට යන බැව් මාධ්‍ය මගින් හෙළිවීමත් සමග මහ මැතිවරණය අවසන් වන තෙක් ඒ සඳහා සෘජු නීති ගෙන ඒම තාවකාලිකව නවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි නියාමන කොමිසන් සභාවට උපදෙස්දී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවුවද, මේ කි්‍රයාදාමයේ මූලික පියවරක් ලෙස මේ වසරේ සිට පුවත් වෙබ් අඩවි සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී සිය වෙබ් අඩවියට දෙලක‍ෂයකට වැඩි පිරිසක් ඇතුළුවී ඇතැයි යනුවෙන් ඔප්පු කළ යුතු බවට දැඩි නීතියක් ගෙනඒමට පියවරගෙන ඇතැයි පැවසේ. මීට පෙරද අන්තර් ජාල වේබ් අඩවි සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීමේදී මෙවැනි කොන්දේසියක් තිබූ අතර, එය එතරම් තදින් බලාත්මක කර නොතිබිනි. එහිදී එම පිවිසීමේ ගණන ලක‍ෂයකට සීමාවූ විය. මේවන විට මේ කොන්දේසියට යටත් නෙවන ලෙස පුවත් වෙබ් අඩවි සඳහා මාධ්‍ය හැඳුනුම්පත් නිකුත්කර ඇත්නම් ඒවා යළිත් ලබා ගන්නා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි ද පැවසේ. zගූගල්Z එන්ජිම හරහා සිදුකරනු ලබන ගණුදෙනු රජයේ බුද්ධි අංශ වලට හසුකර ගැනීමට නොහැකි බැවින් ඉදිරි කාලයේදී zගූගල්Z වෙබ් එන්ජිම සඳහා පිවිසිීමේ යම් බාධා ඇති කිරීමට සැලැසුම්කර ඇතැයි ද වාර්තා වේ. මෙම ක්‍රියමාර්ග සඳහා චීන තාක‍ෂණික විශේෂඥයින්ගේ සහයෝගය ලැබී තිඛෙන බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. lankawebnews

කොම්පියුටර් ජිල්මාට් හොයාගන්න අමාරුයි


ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දූෂිත බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමට කොම්පියුටර් ජිල්මාට් ඇතුළත් නොකළේ ඒ පිළිබඳ කරුණු සොයා ගැනීමට අපහසු වූ නිසා බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කළ කරුණු දැක්වීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ පෙත්සමට ‍පරිගණක අක්‍රමිකතා සිදු වූ බව ට නඟන චෝදනාවට අදාලව සාක්ෂි ගොනු කරනු ලැබුවේදැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එහෙත් ජනාධිපතිවරණයට අදාලව වෙනත් අක්‍රමිකතා සිදුවූ බවට ප්‍රමාණවත් සාක්ෂි පෙත්සමට ගොනු කර ඇතැයිද ඔහු පැවසීය. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් එකී ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණි.
පසුගිය ජනවාරි මස 26 වන දින පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ලැබූවද පොදු විපක්ෂයේ නියෝජිතයින් මෙම ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් දිගින් දිගටම චෝදනා කරනු ලැබිණි.derana

බලේ තියෙන කොට මොළේ නෑ


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව පැහැර ගත් බව ජ.වි.පෙ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
තමන්ගේ ඇස් ඉදිරිපිට එය සිදුවූ බවත්,එය කිසිවෙකුටත් රහසක් විය නොහැකි බවත් ජ.වි.පෙ නායකයා කියා සිටියේය.
මෙම අසාධාරණ තීන්දුවට එරෙහිව අත්සන් දස ලක්ෂයක් නොව කෝටියක් වුව එකතු කළ හැකි බවද,ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ අරගලය දිගින් දිගටම ගෙන යන බවද හෙතෙම කියා සිටියේ අද ජයවර්ධන කේන්ද්‍රයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අත්සන් දස ලක්ෂයකින් යුතු මහජන පෙත්සම අත්සන් කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
ආණ්ඩු පක්ෂයේ නායකයන්ට බලය තියෙන කොට මොළය නැති බවත් ඒ නිසාම මේ වන විට රට අරාජික තත්ත්වයට පත්කොට ආණ්ඩුව හත්පොලේ ගා ගෙන ඇති බවත් ජ.වි.පෙ නායකයා කියා සිටියේය.derana

සනත් මහ පුටුවකට තරඟ කරයි


ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා එළඹෙන මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින බව හිටපු ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද ‍කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කරන ලදී. සනත් ජයසූරිය පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරනු පිණිස මැතිවරණ වේදිකාවට ගොඩ වූ අයෙකි.
රටේ ත්‍රස්තවාදය නිමා කරමින් බයක් සැකක් නැතිව ලොව විවිධ රටවලින් ක්‍රීඩකයින් ගෙන්වා ගැනීමට නිදහස් පසුබිමක් ඇති කළ ජනාධිපතිවරයාට කෘත ගුණ සැලකීමට තමන් මැතිවරණ වේදිකාවට ගොඩ වූ බව ඔහු එදා කියා සිටියේය. derana

ෆොන්සේකා වෙනුවෙන් ඇමරිකාවේත් උද්ඝෝෂණ


ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා නිව්යෝර්ක් වල පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින බවට චෝදනා කරමින් ඇමරිකාවේ වෙසෙන ශ්‍රීලාංකිකයින් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. derana

සමුළුවට බෝම්බ ගහන බවට තර්ජනය කරලා


ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් කැඳවන ලද මහා සංඝ සමුළුව ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීමෙන් කල් දමන්නට සිදුවූයේ ආණ්ඩුවේ තර්ජන නිසා බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
රජයට හිතවත් බෞද්ධ හිමිනමක් ඇතුළු රජයේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සඟ සමුළුව කැඳවුවහොත් මහ මළුව අබියස බෝම්බ පුපුරවන බවටත්,පන්සල් වලට පවා පහර දෙන තත්ත්වයක් නිර්මාණය කරන බවටත් තර්ජනය කර තිබීම හේතුවෙන් සඟ සමුළුව කල් දැමීමට සිදුවූ බව හෙතෙම කියා සිටියි.
තමන්ට තර්ජන එල්ලවීම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟී ඇති බැවින් සමුළුව කල් දමන්නට සිදු වු බව මහ නායක හිමිවරුන් පවා පිළිගෙන ඇති බවද මහ ලේකම්වරයා පෙන්වා දුන්නේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සංඝභේදය ඇති කරන්නට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල කිරීම තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්,මහ නායක හිමිවරුන් සඟ සමුළුව කැඳවූයේ දේශපාලන අරමුණු වලින් තොරව බවද වැඩිදුරටත් කියා සිටියේය.

ඡන්දෙට පෙර ෆොන්සේකා නොගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට පෙරාතුව අත්අඩංගුවට නොගත්තේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය නිසා බව ඉන්දියාවේ ශ්‍රීලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා පවසයි.
මාධ්‍යවේදී වික්‍රම් බාල් සමග ඉන්දීය මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් හෙතෙම මේ බව පවසා ඇත.
ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරනු ලැබීනම් මේ අයුරින් නීතිය ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නැතිවා නොවේදැයි වික්‍රම් බාල් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රීලංකා තානාපතිවරයා කියා සිටියේ බල‍ය අක්‍රීය වූ පසු නීතිය ක්‍රියාත්මක කළ හැකි බවය.derana

දනුනගේ මව ඇප පිට මුදාහැරෙයි


දනුන තිලකරත්න ගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය ඇප මත මුදා හැරීමට අද ගල්කිස්ස අධිකරණය විසින් නියෝග කර තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන්ගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය ඊයේ අපරාධ පරීක්ෂණ පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව රඳවා තබා ගන්නා ලදී.
අනුව අද ඇය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලදී. කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පුද්ගලික බැංකුවක තැන්පත් කර ඇති ඇමරිකානු ඩොලර් 525,000 කට අධික මුදල් ඇතුළු මුදල් ආපසු ගැනීම අත්හිටුවීමේ නියෝගයක්ද සහිතව අශෝකා තිලකරත්න මහත්මිය ඇප පිට මුදා හැර ඇත.
‍අශෝකා තිලකරත්න මහත්මියගේ විදෙස් ගමන බලපත්‍රය අධිකරණ බාරයට ගෙන ඇති අතර සෑම සති අන්තයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද දන්වා ඇත. derana

ආරක්ෂාව වෙනුවෙන් යූ.ඇන්.පීය අධිකරණයට යයි


විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නඩු පැවරීමට සුදානම් වේ.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසන පරිදි විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම බරපතල තත්ත්වයකි.
මීට පෙර පැවති මැතිවරණ අවස්ථා වලදී සිදුවුයේ මැතිවරණයෙන් අනතුරුව යළි පාර්ලිමේන්තුවට තේරී පත් නොවු හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම බව කරුණාතිලක මහතා පෙන්වා දෙයි.
ඒ අනුව අද දිනයේ නඩු පවරන බව කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසුවේය.derana

දරුවකු පැහැරගන්න හැදූ තිදෙනෙකුට නෙදර්ලන්තයෙන් දඬුවම්


ශ්‍රීලාංකික දරුවෙකු පැහැරගැනීමට තැත් කිරීමට එරෙහිව නෙදර්ලන්ත අධිකරණයක් මගින් තිදෙනෙකුට සිරදඬුවම් නියම කර තිබේ.
ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර දරුවා රටින් පිට කිරීමට උත්සාහ දැරීම නිසා ස්වෝල් නගරයේ අධිකරණයක් මගින් මෙම දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව මෙම කාර්යයේ ප්‍රධාන සැකකාරියට දින 189 ක්,සැකකරුට දින 134 ක් සහ මොවුන්ට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර දුන් බව කියන සහායකට දින 6 ක කාලයක් ලෙස සිරදඬුවම් හිමි වී තිබේ.
මෙම සැකකරුවන් මීට පෙර අවස්ථාවකදීද මෙවැනිම චෝදනා වලට ලක්වූවන් බව නෙදර්ලන්ත අධිකරණය මගින් පෙන්වා දී ඇත.

බසයක් පෙරළීමෙන් පහකට තුවාලයි


ගල්ගමුව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. අද අලුයම ගල්ගමුව අරසන් වැව ප්‍රදේශයේදී මෙම බස් රථය පෙරළී යාමෙන් අනතුර සිදුවී ඇති බව ගල්ගමුව පොලිසිය පවසයි.
මීගල්ලෑව සිට කුරුණෑගල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබුවන් ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි..

රිය අනතුරින් දෙදෙනෙක් මරුට


නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්‍රි 10.30 ට පමණ කොළඹ සිට නුවර දෙසට ධාවනය වු බවුසරයක් සහා එම දෙසට ගමන් ගත් යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාඅනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.