Wednesday, May 5, 2010

ආචාර්ය මර්වින් ජනමාධ්‍යයෙන් එළියට ඇද මහපාරට දමයි


මෙවර ඇමැති ධූර ලබාදීමේදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය ලබා ගත් ආචාර්ය මර්වින් සිල්වා මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුට මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ධූරය ලබා දී ඇත. මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (05)පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහාමාර්ග ඇමැතිවරයා වන්නේ ජනාධිපතිවරයායි. මේ අනුව මහා මාර්ග අමාත්‍යංශයේ ඇමැති ධූරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හෙබවනු ලබන අතර, එහි නියෝජ්‍ය ඇමැති ධූරය හොබවන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතායි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ලෙස වැඩ භාර ගත්තේ ජනමාධය නියෝජ්‍ය ඇමැති ධූරයට අමතරව බවයි. නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතා අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි. නමුත් මර්වින් සිල්වා මහතා ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් ජාතික රූපවාහිනීයට කඩාවැදී ඇරඹූ මාධ්‍ය මර්දනය හා අවස්ථා ගණනකදී සිරස ඇතුළු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් රැසකට පහරදීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් විවිධ අංශවලින් රජයට නොයෙක් චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අවසානයේ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍යයෙන් ඉවත්ව මහාමාර්ගයට ගොඩවීමට සිදු වී ඇත.

ජනපති ආරක්ෂකයින් පහරදී ඩේලි මිරර් මාධ්‍යවේදියා රෝහලේ


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම පිළිකා රෝහලේ අද පැවැති උත්සවයක් වාර්තා කිරීමට ගිය ඩේලි මිරර් පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන සදුන් ජයසේකර මහතාට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පහරදීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තාවේ.
සදුන් ජයසේකර මහතා මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ‍ඔහු ඩේලි මිරර් පුවත් පතේ ජනාධිපතිවරයාගේ කටයුතු ආවරණය කිරීම සදහා වෙන්කර ඇති මාධ්‍යවේදියාය. ඔහු අද පැවැති උත්සවය වාර්තා කිරීමට ගිය මොහොතේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඔහුට උත්සව භූමියට ඇතුළුවීමට ඉඩදී නොමැති අතර එහිදී සිදුවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහුට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පහරදී තිබේ.
එම පහරදීම හේතුවේන ඒ මහතාගේ බෙල්ල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර අනතුරුව ඔහු රෝහල්ගත කිරීමට සහෝදර මාධ්‍යවේදීන් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ලෝක ජනමාධ්‍ය දිනය පසුවී දින දෙකක් ඉක්ම යන්නට මත්තෙන් ජනාධිපති ආරක්ෂකයින් විසින්ම මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ට පහරදීම කණගාටුවට කරුණකි.lanka truth

ජනරාල්ට එරෙහිවීමේ ප්‍රතිපල ලෙස කෝන්ගහගේ රූපවාහිනී මහ පුටුවට


ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ධූරයට සරත් කෝන්ගහගේ මහතා පත් කිරීමට ජනමාධ්‍ය ඇමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. නව සභාපතිවරයා ලෙස සරත් කෝන්ගහගේ මහතා හෙට (06) නව සභාපතිවරයා ලෙස වැඩභාරගැනීමට නියමිතය.
පසුගිය ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සරත් කෝන්ගහගේ මහතා නාම යෝජනා භාරදීමේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට විරෝධය පළ කළේය. ඒ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකානු පුරවැසියෙකු බවට චෝදනා කරමිනි. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම විරෝධය ප්‍රතික්ෂේප කළ අතර, ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙ පිළිගත්තේය.
මෙයින් නොනැවතුණු සරත් කෝන්ගහගේ මහතා "මම සරත් වෙමි" යනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට අපහාස වන අන්දමේ විවිධ දැන්වීම් පළ කළ අතර, මෙයින් ඔහු සිය ජනාධිපතිවරණ ප්‍රචාරයක් සිදු නොකළ අතර, දිගින් දිගටම ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස කරමින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීය.
මෙම විරෝධයේ ප්‍රතිපල ලෙස ජනමාධ්‍ය ඇමැති ලෙස ජනාධිපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සරත් කෝන්ගහගේ මහතා පත් කෙරිණි. පසුගිය කාලයේදී රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආරියරත්න ඇතුගල මහතා රජයට පක්ෂව හා විපක්ෂය නිර්දය ලෙස විවේදනය කරමින් කටයුකු කළ බවට චෝදනා එල්ල වූ අතර, ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වූ සරත් කෝන්ගහගේ මහතාගෙන් මීට වඩා යහපත් තත්ත්වයක් අපේක්ෂා කළ ‍නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රූපවාහිනී සංස්ථා සේවකයේ පැවසූහ. lanka truth

හමුදාව කතානායකගේ නියෝග කඩයි - ජනරාල් උපවාසයේ


ඉදිරියේදී පාර්ලිමේන්තුව කැදවන දිනවල යුද අධිකරණ නොපවත්වන ලෙස දන්වා හමුදාපතිවරයාට ලිපියක් යොමුකරන බව කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද අද දින පාර්ලිමේන්තුවට සහභාගී‍වේ අවස්ථාව අහිමි කරමින් හා කතානායක ඉල්ලීම නොසලකාහරිමින් යුධ අධිකරණය කැඳවීමට යුධ හමුදාව තීරණය කර ඇත. මේ අනුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩකර ඇති හමුදාව, කතානායකවරයාගේ නියෝගයට පිටින්ද කටයුතු කර ඇත.
ඊයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්ත්වේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පවසා සිටියේ පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී යුධ අධිකරණය කැඳවීම හේතුවෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවයි. මෙහිදී කතානායකවරයා පාපැවසුවේ මින් ඉදිරියට කතානායකවරයා පැවසුවේ මෙම වරප්‍රසාද ප්‍රශ්නය පිළිගන්නා අතර, මින් ඉදිරියට පාර්ලිමේන්තුව රැස්වන දිනයන්හි යුද අධිකරණය කැදවීමෙන් වළකින ලෙස හමුදාපතිවරයාට දැනුම්දීමට තමා කටයුතු කරන බවයි.
තත්ත්වය මෙසේ තිබියදී අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට සහභාගීවීමට ඉඩ ලබානොදී යුධ හමුදාව විසින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයට කැඳවාගෙන යාමට හමුදාව කටයුතු කර ඇති අතර, මෙම තත්ත්වයට විරෝධය දක්වමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට උපවාසයක නිරතව ඇත. lanka truth

ඖෂධ සංස්‌ථාවේ රුපියල් කෝටි 13 ක මුදල් වංචාවක්


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව විසින් එම සංස්‌ථාවේ නිෂ්පාදිත බෙහෙත් වර්ග දහතුනක්‌ වෛද්‍ය සැපැයීම් අංශය වෙත නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීමෙන් රුපියල් දහතුන් කෝටි තිස්‌හය ලක්‍ෂ පනස්‌ එක්‌දහස්‌ හැට අටයි ශත විසි හතරක විශාල මුදල් වංචාවක්‌ සිදු කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සංස්‌ථා ආරංචි මාර්ග පවසයි. මෙම වර්ෂය සඳහා රජයේ රෝහල්වලට සැපැයීමට මෙම බෙහෙත් වර්ග වෛද්‍ය සැපැයීම් අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සංස්‌ථාවෙන් මිලදී ගෙන තිබේ. මෙසේ නියමිත මිලට වඩා වැඩි මිලකට රජයේ ආයතනයක්‌ වන වෛද්‍ය සැපැයීමේ අංශය වෙත බෙහෙත් වර්ග අලෙවි කිරීමෙන් දේශීය සැපැයුම්කරුවෙකු වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථා පාලන අධිකාරිය විසින් රජයට විශාල මුදල් වංචාවක්‌ සිදු කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති මීට පෙරද පෙන්වා දී තිබිණි.
මෙසේ නියමිත මිලට වඩා වැඩි මිලකට අළෙවි කරන ලද බෙහෙත් වර්ග වනුයේ ඇමොක්‌සිසිලින් කරල් මිලිග්‍රෑම් 250, ක්‌ලොක්‌ස්‌සිලිනිල කරල්, එරිත්‍රොමයිසීන් පෙති, පැරසිටමෝල් පෙති, මෙට්‌ෆෝමින් පෙති, ප්‍රෙඩ්නිසලොන් පෙති, ඩිල්ටියසම් පෙති, වේරපමිල් පෙති, ඩයික්‌ලොෆෙනක්‌ පෙති, කාබමෙසෆින් පෙති, බෙන්ස්‌හෙක්‌සෝල් පෙති, සැලිබියුටමෝල් පෙති) (මිලි ග්‍රෑම් 2 හා4) යනාදියයි.
මෙසේ වැඩි මිලකට බෙහෙත් වර්ග වෛද්‍ය සැපැයීම් අංශය වෙත සපයමින් ඖෂධ නිෂ්පාදන සංස්‌ථාව අධික ලාභයක්‌ ඉපයීමට සමත් වූ බව පෙන්වමින් ඒ හරහා පාලන අධිකාරියේ වරප්‍රසාද වැඩි කර ගැනීමටත්, අධික සේවක පිරිස්‌ බඳවා ගනිමින් දේශපාලන පත්වීම් රැසක්‌ ලබා දීමටත් ක්‍රියා කර ඇතැයි වෘත්තීය සමිති පවසයි.lankatruth

ගෑස් මිලේ තීරණය අද


ගෑස් මිල සංශෝධනය පිළිබද තීරණය පාරිභෝගික අධිකාරිය විසින් අද (05) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වෙළද අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙවර ෂෙල් සහ ලාෆ්ස් ගෑස් මිල වැඩිවීමක් සිදුවීමට නියමිතය.
මෙවර ෂෙල් සමාගම රුපියල් 215කින් සහ ලාෆ්ස් ගෑස් සමාගම රුපියල් 350 කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් සිදුවන මෙවර මිල සංශෝධනය පිළිබද තීරනය පසුගිය මැයි 1 වනදා සිට ක්‍රියාත්මක විය යුතුව තිබුණද ‍වෙළද අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය එම මිල තීරණය කිරීම දින කිහිපයකට කල් දැමීය. ඒ අනුව එම තීරණය අද දිනයේ නිකුත් කිරීමට නියමිතය. lanka truth

ජෙනරාල් පාර්ලිමේන්තුවේ සිටියදී යුද අධිකරණයට ගෙනයාමේ තැත වරදී


අද පස්වරු 1.00ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ යුද අධිකරණය වෙත තමා රැගෙන යාමට යුද හමුදා නිලධාරීන් කටයුතු කිරීමෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කළේය.
හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ වරප‍්‍රසාද ප‍්‍රශ්නය කතානායකවරයා වෙත යොමු කළ මන්ත‍්‍රීවරයා පැවසුවේ තමන් අද දින විශේෂ ප‍්‍රකාශයක් කරන බැවින් පාර්ලිමේන්තු කටයුතු අවසාන වන තෙක් පාර්ලිමේන්තුවේ රැදී සිටීමට ඉඩකඩ සලසා දෙන ලෙසයි.
එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ මේ පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ජෙනරාල් සරත් ෆොන‍්සේකා මහතා මේවන විටත් පාර්ලිමේන්තුව තුළ රැදී සිටී.lankatruth

එක්නැලි‍ගොඩ අතුරුදහන්කර දින 100යි, විමර්ශණ ප්‍රතිඵල කෝ? - මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ


මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට දින 100ක් පිරීම නිමිති කොට ගෙන මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද විරෝධතාවයක නිරත විය. අද දහවල් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්විණි. ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන්වී දින 100ක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ දිනෙන් දින ප්‍රමාද කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ඒ සදහා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සහ ඔහුගේ දරුවන් දෙදෙනා ද උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
එහිදී අදහස් දැක්වූ මර්දනයට එරෙහි මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත මහතා "මාධ්‍යවේදී එක්නැළිගොඩ මහතා අතුරුදහන් කර අදට දින 100 යක් ගත වෙනවා. නමුත් ආණ්ඩුවට මේ වන තෙක් ඔහු පිළිබද කිසිදු කිසිදු තොරතුරක් රටට ඉදිරිපත් කර නැහැ. පරික්‍ෂණ කටයුතු දවසින් දවස මග හරිමින් විමර්ශන කටයුතු ප‍්‍රමාද කරනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්නැළිගොඩ මහතා සම්බන්ධයෙන් ගෙන යන විමර්ශන කටයුතු ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශාල වගකීමක් තිබෙනවා. නමුත් කිසිදෙයක් වෙලා නැහැ. එක්නැළිගොඩගේ අතුරුදහන් වීමයි ජනාධිපතිවරණයයි අතර සම්බන්ධයක් තියෙනවා." යැයි ප්‍රකාශ කළේය.
මෙම උද්ඝෝෂණයේදී එක්නැලිගොඩ මහතාගේ වැඩිමල් පුත් සංජය එක්නැලිගොඩ සිසුවාද අදහස් දැක්වූයේය. " මගේ තාත්තා පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කර තිබෙනවා. එසේ කළේ ආණ්ඩුව නොවේ නම් ඒ ගැන සොයා බලා අපට කියන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. නමුත් ආණ්ඩුව අද ඒ වගකීම පැහැර හැරලා.
ආණ්ඩුව අපට කළේ ලොකු අසාධාරණයක්. මම ආණඩුවෙන් ඉල්ලා සිටිනවා මගේ තාත්තා මට මුණ ගස්වන්න කියා. අපට කළ දේ මේ රටේ අනෙක් දරුවන්ට නම් කරන්න එපා. " යැයි සංජය සිසුවා එහිදී පැවසීය. lankatruth

පාර්ලිමේන්තු දිනවල යුද අධිකරණ එපා - කතානායක හමුදාපතිට දන්වයි


ඉදිරියේදී පාර්ලිමේන්තුව කැදවන දිනවල යුද අධිකරණ නොකැදවන ලෙස දන්වා හමුදාපතිවරයාට ලිපියක් යොමුකරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කතානායක චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
ජෙනරාල්වරයා පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුව රැස්වන දිනවල යුද අධිකරණය කැදවීම හේතුවෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවන බවයි.
එහිදී වරප්‍රසාද ප්‍රශ්නය පිළිගත් කතානායකවරයා පැවසුවේ මින් ඉදිරියට පාර්ලිමේන්තුව රුස්වන දිනයන්හි යුද අධිකරණය කැදවීමෙන් වළකින ලෙස හමුදාපතිවරයාට දැනුම්දීමට තමා කටයුතු කරන බවයි.lanka truth

කුරුණෑගල පිපිරීමට හේතුව පොළව අභ්‍යන්තරයේ පිපුරුමක් නොවෙයි


පසුගිය දිනවල කුරුණෑගල මහව ප්‍රදේශයේ ගල් තලාවක සිදුවූ පිපිරීම් පොළව අභ්‍යන්තරයේ සිදුවූ පිපුරුම් හේතුවෙන් සිදුවූවක් නොවන බව භූ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ එය ගල් තලාව රත්වීම හේතුවෙන් මතුපිට ස්ථරය ප්‍රසාරණය වීමත් එයට සාපේක්ෂව පාෂාණයේ පහල කොටස්වල උෂ්ණත්වය අඩු වීමත් නිසා සිදුවන ප්‍රසාරණය හේතුවෙන් සිදුව ඇති බවයි.
ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් පාෂාණයේ ස්ථර ගැලවීමත්, කුඩා පැලුම් ඇතිවීමත් දැකිය හැකිය. පාෂාණයේ පැලුම් ඇතිවීමේදී කුඩා පිපුරුම් හඩවල් ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි. තවද ඇතැම් විට පරිසරයේ සිදුවන සිසිල්වීම නිසා පාෂාණයේ මතුපිට ස්ථරයේ සිදුවන සංකෝචනය නිසාද මේ ආකාරයටම පැලුම් සහ පාෂාණ කුට්ටි ගැලවීමක් සිදුවිය හැකි බව භූ විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි.lanka truth