Wednesday, April 14, 2010

ගීතා නඩු මගට බසී


මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැද පරාජයට පත් සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය සිය පක්ෂයේ නායකයින්ට එරෙහිව නෛතික පියවර අනුගමනය කිරීමට තීරණය කර තිබේ. ඇය මෙවර මැතිවරණයට තරග වැදුණේ සන්ධානය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඡන්ද ප්‍රතිඵල වලට අනුව තමන් ජයග්‍රාහී අපේක්ෂකයින් අතර සිටි නමුත් ඡන්ද ගණනය අවසන් වූ පසු ඇගේ නම ඒ අතරින් ඉවත්ව තිබූ බව බී. බී. සී සන්දේශය වෙත අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර ඇත.
මෙය මුළුමනින්ම තම පක්ෂයේ සාමාජිකයන්ගේ ක්‍රියාවක් බවත්, නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් ඇය අවධාරණය කරයි. එමෙන්ම ඇය සඳහන් කරන ආකාරයට ඇය ලබා ඇති මනාප ඡන්ද ගණනය කරන අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සඳහා කිසිවකු ඉදිරිපත්ව නොමැත. සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී ද නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ තර්ජනයන්ට ලක්වීමට පවා තමන්ට සිදුවූ බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. adaderana

නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්


උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රි ලංකාවාසී සියළු ජනතාව අතර හදවතින් සේම මනසින් ද සමගිය හා සහජීවනය වර්ධනය කිරීමට හේතුවක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිංහල හා හින්දු ජනතාව එක්ව සමරන මෙම අලුත් අවුරුද්ද එකිනෙකා අතර වන මිත්‍රශීලී සබඳතා හඳුනාගැනීමට හේතුවක් වන බවත්, මෙම අලුත් අවුරුද්ද අප රටේ වෙසෙන සියළුම ජන ‍කොටස් අතර පවතින ශක්තිමත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන් පිළිබඳ පෙන්වාදෙන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් අවධාරණය කරයි. adaderana

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අලූත් අවුරුදු පනිවිඩය


ලබන්නාවූ සිංහල-හින්දු අලූත් අවුරුද්ද ඔබ සැමට සුභ අලූත් අලූත් අවුරුද්දක් වේවා යැයි ප‍්‍රාර්ථනා කරමු. දශක තුනක පමණ කාලයක් තිස්සේ අපේ රටේ ජනතාවගේ ජීවිත විනාශ කළ ජාතික දේපල විනාශ කළ කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව එළඹෙන ප‍්‍රථම අලූත් අවුරුදු උත්සවය සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට නිදහසේ හා සාමකාමීව සැමරිය හැකිව තිබේ. දශක ගණනාවකට පසු වැළපීම් හඬවලින් තොරව සෝ සුසුම්වලින් තොරව ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව බියෙන් හා සැකෙන් තොරව නිදහසේ අවුරුද්ද සැමරීමට ජනතාවට හැකිවී තිබේ. අපේ රටට මේ නිදහස ලබාදීම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ රණවිරුවන් ප‍්‍රමුඛ සියලූ ජනතාව මෙහිදී අප සිහිපත් කළ යුතුව තිබේ.
අද මුළු රටම නිදහසේ අවුරුදු සැමරුවත් ඒ නිදහස ලබාදීමට විශාල වෙහෙසක් දැරූ මා හට එම නිදහස අහිමිව තිබේ. මගේ බිරිඳට හා දරුවන් දෙදෙනාට එකට සිට සතුටින් අවුරුදු සැමරිය නොහැක. නමුත් ඒ පිළිබඳව මට කිසිදු කලකිරීමක් නැත. මව්බිමට නිදහස ලබාගැනීම සඳහා මා දැරූ වෙහෙස ඵලදරා ඔබ සියලූදෙනා නිදහසේ අවුරුදු සැමරීම මට මහත් සතුටකි. ඉදිරි කාලයේදීද මෙම නිදහස හා සාමය ආරක්ෂා කර ගැනීමට අපි අදිටන් කර ගත යුතුව ඇත්තෙමු.
ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුද්ද ඔබ සැමට නිදහස හා සාමය සපිරි සුභ අලූත් අවුරුද්දක් වේවා යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ලෙස අපි සුභ ප‍්‍රාර්ථනා කරමු.
ජනරාල් සරත් ෆොන්සේකා,
නායක,
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය.
2010.04.12

නිකොබාර් දූපතේ භූ කම්පනයක්


අද උදෑසන නිකොබාර් දූපත් අසල ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 5 .3ක විශාලත්වයකින් යුතු භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව භූ කම්පන විද්‍යාඥයන් පවසයි. මෙම භූ කම්පනය ඇතිව තිබෙන්නේ සිංගප්පූරු වේලාවෙන් පෙරවරු 4 .14ට පමණය. කිලෝමීටර් 28ක් පමණ ගැඹුරු මුහුදේ ඇතිවූ භූ කම්පනය නිසා සුනාමි තත්ත්වයක් ඇති නොවන බව ද ප්‍රකාශයට පත්කර ඇත. adaderana