Sunday, February 7, 2010

ජනපතිට ආචාර්ය උපාධියක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මොස්කව් මිත්‍රත්ව ලුලුම්බා සරසවියෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ. රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයාට ඊයේ පස්වරුවේ මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ත්‍රස්තවාදය නිමා කරමින් රටට සාමය උදා කිරීම හේතුවෙන් සාමය සඳහා පිරිනැමෙන ආචාර්ය උපාධියක් මෙසේ පිරිනමා තිබේ. 1995 වසරේ පළමු වරට ලුලුම්බා සරසවියෙන් රාජ්‍ය නායකයින් වෙත මෙම ආචාර්ය උපාධිය පිරිනැමීම ආරම්භ කරනු ලැබිණි.
ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ආචාර්ය උපාධිය ලබා ගත් 6 වන ජනාධිපතිවරයා ලෙස වාර්තා වේ. මේ අතර අද දිනය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාව සමඟ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂ ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිත බව ද සඳහන් වේ.
ලෝකයේ විශාලතම ගෑස් නිපදවන සමාගමේ සභාපතිවරයා සමඟ ද අද දිනයේ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.

ලකුණ ගැන තීරණය 11වනදා


අලියා ලකුණ යටතේ තරඟකිරීම පිළිබඳව තීරණය ලබන පෙබරවාරි 11වන දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සමඟ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. එසේ ජවිපය ඇතුළු අනෙකුත් පක්ෂ සමඟ සාකච්ජා කිරීමෙන් පසු මැතිවරණයට තරඟවැදීම පිළිබඳව තීරණය කරන බව ද අත්තනායක මහතා පැවසීය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව සෞඛ්‍ය ඇමති සීරුවෙන්


රජය විසින් ක්‍රියාත්මක කරන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇති බාධක ඉවත් කිරිමට පියවර ගත යුතු බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.පසුගිය කාලය තුළ ඇතැම් කණ්ඩායම් සෞඛ්‍ය සේවය කඩාකප්පල් කිරීම සදහා විවිධ උත්සාහයන් දැරූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. පසුගිය කාලය තුළ සෞඛ්‍ය සේවාව අඩාල කිරිමට උත්සාහ දැරූ කුමන්ත්‍රණකරුවන්ට එ‍රෙහිව අනිවාර්යයෙන්ම කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි..
බදුල්ල මහා‍ රෝහලේ ආදේශක සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් ස්ථීර කිරීම වෙනුවෙන් බදුල්ල ‍ ‍හෙද අභ්‍යාස විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රන් හොරෙකුට වැඩ වරදියි


අම්බලන්තොට නගරයේ රන් භාණ්ඩ වෙළෙඳසලකින් රුපියල් හාරලක්ෂ 20,000 ක් පමණ වටිනා රන් මාල කිහිපයක් පැහැ‍රගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද පස්වරු 1.30 ට පමණ අදාල වෙළෙඳසලින් රන් මාලයක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි සැකකරු මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.
සැකකරු පළායමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ‍එම අවස්ථාවේ ඔහු සතුව රන් මාල 17 ක් තිබු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අම්බලන්තොට අක්කරකාල්ගොඩ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

එදා හොර ඡන්ද ලක්ෂ දෙකකට වැඩිය දැම්මා-එස්.බී


කිසිදු හෝ දේශපාලන මංකොල්ලයක් සිදු නොවු එකම මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බව එස්.බී.දිසානායක මහතා පවසයි. පසුගිය සෑම මැතිවරණයකදීම විවිධ ඡන්ද දුෂණ, වංචා සිදුවු බව ඔහු පවසයි.
යටිනුවර ඌරාපොල විහාරස්ථාන ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලදී.
චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණයේදී විදේශගත වුවන්ගේ හා මියගිය අයගේ ඡන්දය පවා භාවිතා කරමින් හොර ඡන්ද ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් දැමුවේ තමාගේ මෙහෙය වීමෙන් බවද එස්.බී. දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.