Friday, February 5, 2010

ලකුණ තවම තීරණය කරල නෑ


ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරඟ වදින්නේද නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා අද දෙරණට පැවසීය.
පක්ෂ කිහිපයකින්ම සන්ධානයක් යටතේ තරඟ වැදීම සඳහා ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවත්, නමුත් එසේ තාවකාලික හෝ පොදු සන්ධානයක් යට‍තේ තරඟවැදීම පිළිබඳව තවමත් තීරණයකට එළඹ නොමැති බවත්, ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම පෙබරවාරි 11වන දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධව තීරණයකට එළඹෙන බව ද ජයවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එස්.බීට ආසන සංවිධායක ධූරයක්


එස්.බී දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පූර්ණ නිදහස ලබා දීමෙන් අනතුරුව මෙම තනතුර ලබා දුන් බව එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම හේතුවෙන් එස්.බී දිසානයක මහතාට වසර 02 සිර දඬුවමක් සහ වසර 07 ක ඡන්ද අයිතිය අහෝසි කිරීමට නියෝග කර තිබුණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව නිදහස් වූ එස්.බී දිසානායක මහතා අධිකරණයට ගොස් ඡන්ද අයිතිය ලබා ගනු ලැබීය. එහෙත් ඔහුට පූර්ණ නිදහස හිමි වී තිබුණේ නැත. එම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එස්.බී දිසානායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේ දී තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ආසන සංවාධියකවරයා වශයෙන් කටයුතු කරන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.

එච්.ඒ පෙරේරා අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීන රංගන ශිල්පී එච්.ඒ පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු පිළිකා රෝගයක් හේතුවෙන් මාසයක පමණ කාලයක පමණ සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
1950 මැයි මස 10 වන දින කොළඹ දී උපත ලද එච්.ඒ පෙරේරා මහතා මිය යන විට 59 වන වියෙහි පසුවිය. වේදිකා‍ , ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගත් චරිත ගණනාවක්ම රඟ දක්වනු ලැබීය.
සුමිත්‍රා පීරිස්ගේ "සාගර ජලය මදි හැඬුවා" ඔබ හින්දා චිත්‍රපටයේ එච්.ඒ පෙරේරා මහතා රඟ පෑ චරිතය විශාල ජනාදරයට පාත්‍ර වූ චරිතයකි. ඊට අමතරව දූ දරුවෝ සහ නෑදෑයෝ යන ටෙලි නාට්‍ය වලද ඔහු ප්‍රධාන චරිත නිරූපනය කරමින් ප්‍රේක්ෂකයිනගේ ආදරයට පාත්‍රවිය.

උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්


රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට ස්ථීර ගුරු පත්වීම් ලබා දිමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ති‍බේ.
පත්වීම් ලබාදීම පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරින් 70 දෙනෙකු මෙසේ ස්ථීර පත්වීම් ලබා ඇති බව සදහන් වේ. සබරගමු පළාතේ දුෂ්කර පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් වශයෙන් බදවාගත් මෙම උපාධිධාරීන් පිරිස එම පාසල් වලට අනුයුක්ත කිරීමට නියමිතය.

අරුල්සාමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි


කඳුරට ජනතා පෙරමුණේ නායක පී.චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා එම පක්ෂයේ එස්. අරුල්සාමි මහතා දිවුරුම් දී තිබේ.
අද පෙරවරුවේ කථානායක වි.ජේ.මු ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ අරුල්සාමි මහතා දිව්රුම් දුන් බව පාර්ලිමේන්තුවේ සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
කඳුරට ජනතා පෙරමුණේ නායක පී.චන්ද්‍රසේකරන් මහතා පසුගිය දා හදිසියේ හෘදයාබාධයක් හේතුවෙන් මියගියේය..

යුධ උපකරණ තොගයක් සොයාගැනේ


මුලතිව් කරයාමුල්ලිවයික්කාල් සහ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වල දී යුධ උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.
උතුරු පළාත් භාර විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ දිනයේ මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
එහි දී ජොනි බට්ටන් 7000 ක් , මිලි මීටර 7 දශම හයයි දෙක උණ්ඩ 700 ක් , සී එම් 76 වර්ගයේ යුධ ටැංකි නාශක උණ්ඩයක් , ආර්.පී.ජී ෂෙල් 01 ක් , ගැලුම් 45 වර්ගයේ ඔයිල් බැරල් 8 ක් , ගැලුම් 45 වර්ගයේ ග්‍රීස් බැරල් 3 ක් සොයා ගෙන තිබේ. තවදුරටත් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.