Monday, April 26, 2010

naya

විපක්ෂයෙන් පිරිසක් අරන් අපි 2/3 බලය ගන්නවා - ඇමැති සිරිපාල හෙළි කරයි


තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් බැවින් ඒ සඳහා අවශ්‍ය වන 2/3 බලය ඉදිරි මාස දෙක ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට ගෙන ලබාගන්නා බව නව වාරි මාර්ග හා ජල කලමණාකරණ ඇමැති නිමල් සිරිපාල මහතා පවසා ඇත. මෙහිදී සිරිපාල මහතා පවසා ඇත්තේ දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ කළ පී.දිගම්බරන් හා ප්‍රභා ගනේෂන් යන මහත්වරුන් දෙදෙනා ආණ්ඩුවට සහයදීමට එකඟ වී ඇති බවයි.
"ජනාධිපති රාජපක්ෂ මහතා දෙවෙනි ධූර කාලය සඳහා දිවුරුම් දෙන්නේ නොවැම්බර් මාසයේදී. ඊට කලින් ව්‍යවස්‌ථා සංශෝධනයක් කරන්න රජයේ උත්සහ කරනව. ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා ඇති එකම බාධාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නොමැතිවීම. නමුත් දැනටමත් අපිට එකසිය හතළිස්‌ හතරක මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ඉන්නව.
මේ පිරිස එකසිය හතළිස්‌ හය දක්‌වා ඉදිරි දින කිහිපයේදී ඉහළ යනවා. පී. දිගම්බරම් මහතා සහ ප්‍රභා ගනේෂන් මහතා ළඟදීම ආණ්‌ඩුවට එක්වෙනවා. තව අඩු මන්ත්‍රී ධුර පහයි. ඒකත් අපි ඉදිරි මාස දෙක තුළ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කර ගන්නවා." සිරිපාල මහතා පවසා ඇත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් මේ වන විට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීන් මෙන්ම පැරණි මන්ත්‍රීන්ද වන බව වාර්තා වේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වහාම මෙම පිරිස ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වන බවත්, එය ආණ්ඩු පක්ෂයට එක්වීමෙන්ද නැතහොත් විපක්ෂයේ සිට නව ව්‍යවස්ථාවට සහයදිමෙන්ද යන්න පිළිබඳ තවමන් තිශ්චිත එකඟතාවයට පත්ව නැත.lankatruth

ලගදීම එ.ජා.පයේ දැවැන්ත ප‍්‍රතිසංවිධානයක්


එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තරික ප‍්‍රතිසංවිධාන ගණනාවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව එම පක්‍ෂය අද (26) මාධ්‍ය හමුවක් මගින් අනාවරණය කළේය. එම පක්‍ෂයේ මාධ්‍ය ලේකම් ගයන්ත කරුණාතිලක මහතා විසින් ප‍්‍රකාශ කළ පරිදි එ.ජා.ප.යේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත‍්‍රීවරයෙකු හටම පක්‍ෂයේ නිශ්චිත වගකීමක් පවරන අතර ඒ අනුව පක්‍ෂයේ ඉහල මට්ටමේ සිට පහළ සාමාජිකත්වය දක්වා මෙකී ප‍්‍රතිසංවිධානයක් සිදුකිරීමට නියමිත බවත් ඉදිරි සතිය ඇතුලත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්වන බවත් ඒ මහතා සදහන් කළේය. තවද ඉදිරියේදී විකල්ප ආණ්ඩුවක් ගොඩනැගීමටද, අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී ආණ්ඩුව සමග එකඟතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.lankatruth

විමල් හා අචල අතර ගැටුමක් - අචල ශ්‍රීලනිපයට


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා එම පෙරමුණේම හිටපු සංචාරක අමාත්‍ය අචල ජාගොඩ මහතා අතර බරපතල අර්බුදයක් මතුව ඇතැයි වාර්තා වේ. ‍වාර්තා වන අන්දමට මෙම ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අචල ජාගොඩ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ සූදානමයි. පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කළ ජානිපෙට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙකක් ලබා දෙන බවට ‍පොරොන්දු වෙමින් පසුව මන්ත්‍රී ධූර එකක් ලබා දුන් අතර, මෙම මන්ත්‍රී ධූරයද වීරවංශ මහතාගේ කිසිදු අනුදැනුමකින් තොරව ජාගොඩ මහතාට ලබා දුන්නේද මෙහි එක් පියවරක් ලෙස බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට වීරවංශ මහතා හා අචල ජාගොඩ මහතා අතර පවතින ගැටුම උග්‍ර වී ඇති අතර පසුගිය කාලයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් වීරවංශ මහතාගේ ආරක්ෂාවට අනුයුක්ත කර ගෙන තිබූ ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අචල ජාගොඩ මහතාගේ සොහොයුරු කැප්ටන් ජාගොඩ මහතා ඊයේ දහවල් සිට හදිසියේම වීරවංශ මහතාගේ ආරක්ෂක පිරිසෙන් ඉවත් කර ඇත.
ජාතික නිදහස් පෙරමුණ සකස් කර ආණ්ඩුවට එක්වීමෙන් පසු විශාල භට පිරිසක් සමඟ රජය විසින් වීරවංශ මහතාට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, මෙම ආරක්ෂක භට පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ අචල ජාගොඩ මන්ත්‍රීවරයාගේ සොයුරු කැප්ටන් ජාගොඩ විසිනි. පසුගිය මහ මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියේදී පවා වීරවංශ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළේද කැප්ටන් ජාගොඩ මහතාය. නමුත් හදිසියේම ඊයේ දහවල් සිට වීරවංශ මහතා සිය ආරක්ෂක භටයින්ගෙන් කැප්ටන් ජාගොඩ මහතා හා ඔහු සමඟ එකට සිය ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර ගත් භටයින් ඉවත් කර ගෙන ඇත.
පසුගිය දා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදීමේදී ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් මන්ත්‍රීවරයා නම් කරන ලෙස විමල් වීරවංශ මහතා සන්ධාන මහ ලේකම්ගෙන් ඉල්ලා සිටියද මහ ලේකම් විසින් පත් කර තිබුණේ අචල ජාගොඩ මහතාය. අචල ජාගොඩ මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලෙස සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාට නියෝග කර තිබුණේ රාජපක්ෂ සමාගමේ ප්‍රබලයෙකු විසිනි.
කෙසේ වෙතත් මෙම සිදුවීම් සියල්ල මේ ආකාරයෙන් සිදු වූයේ අචල ජාගොඩ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කර ගැනීමට බවත්, මේ වෙනුවෙන් රාජපක්ෂ සමාගමේ ප්‍රබලයෙකු වන දැනට ප්‍රබල අමාත්‍යංශයක ඇමැති ධූරයක් දරන රාජපක්ෂවරයෙකු මුල් වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.lankatruth

තහනම් ධීවර ආම්පන්න තොගයක් දැලේ


මසුන් මැරීම සඳහා යොදා ගත් තහනම් ධීවර ආම්පන්න තොගයක් දිස්ත්‍රික් ධීවර රැකියා දෙපාර්ත‍මේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමක දී දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
දිස්ත්‍රීක් ධීවර රැකියා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්.ඩී ජෝර්ජ් මහතා පවසන පරිදි මඩකළපුව චෙංකලඩි සහ වෙල්ලාවේලි ප්‍රදේශ වල දී අදාළ වැටලීම් සිදු කර ඇත.
එහි දී සැකකරුවන් පළා ගොස් ඇති අතර රුපියල් ලක්ෂ 19 ක් පමණ වටිනා නීති විරෝධී දැල් ආම්පන්න එම නිලධාරීන් භාරයට ගෙන තිබේ.. එම දැල් ආම්පන්න අද මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රජය විසින් තහනම් කර ඇති දැල් ආම්පන්න භාවිත කර මසුන් මැරීම හේතුවෙන් මඩකළපුව කළපුවේ කුඩා මසුන් විශාල වශයෙන් විනාශ වී ඇති බව අනාවරණය වී තිබිණි. adaderana

මාස්ටර්ස්ලා අදත් අධිකරණය හමුවට


ඇප මත මුදා හැර ඇති එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් යන අය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව රහස් පොලිසිය කොළඹ මහාධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ජෝර්ජ් මාස්ටර් සහ දයා මාස්ටර් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙහි දී සරණාගත කඳවුරු වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලැබෙන තොරතුරු මත ජෝර්ජ් මාස්ටර් සහ දයා මාස්ටර් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවර රහස් පොලිසිය සඳහන් කරන ලදී.
අගෝස්තු මස යළි නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දී පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබේ. adaderana

මයෝන් මුස්තාපාට අධිචෝදනා


ඉකුත් ජනාධිපතිවරණ සමය තුළ සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කර වීම සඳහා අල්ලස් ලබා දීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට ‍එරෙහිව කොළඹ මහා අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
නීතීපතිවරයා විසින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගල‍යින් 21 දෙනෙකු නම් කර තිබුණි.
ඉකුත් ජනාධිපතිවරණ කාලය තුළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම සඳහා රුපියල් ලක්ෂ 43 ක මුදලක් ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට ලබා දුන් බවට චෝදනා ගොනු කර තිබුණි.
මෙ‍මගින් මයෝන් මුස්තාපා මහතා ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලදී.
සාක්ෂි වශයෙන් දුරකථන ඇමතුම් නාමාවලියක් , හඬ පටයක් සහ වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.adaderana

ඇමතිවරුන් දූෂිත බව ජනපති පිළිඅරන්


ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරුන් දූෂිත බව ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
සෞඛ්‍ය ,වෙළෙඳ ,විදෙස් කටයුතු,අධ්‍යපන ආදී ක්ෂේත්‍ර වෙනුවෙන් සිටි අමාත්‍යවරුන් දූෂිත හා අකාර්යක්ෂම බවට එදා එක්සත් ජාතික පක්ෂය විසින් පෙන්වාදෙනු ලැබූවද එය පිළි නොගත් බවත්,පමා වී හෝ ජනාධිපතිවරයාට එය පිළිගන්නට සිදුවීම වැදගත් බවත් හෙතෙම කියා සිටියේය.
අභිනව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පැවති අමාත්‍ය තනතුරු ගණනාවක් වෙනස් කරන්නට ජනාධිපතිවරයාට සිදුවූයේ තම පක්ෂයේ පෙන්වාදීම් නිසා බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.
මෙවර පත් කළ කැබිනට් මණ්ඩලයද ජනතා අභිලාෂයන් වෙනුවෙන් පත් කෙරුණු බව කියා සිටියද එයින් නිරූපනය වන්නේ ද ආණ්ඩුවේ අදාළ පුද්ගලයින්ගේ අභිලාෂයන් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණයට පෙරාතුව කැබිනට් මණ්ඩලය 35 ක් දක්වා අඩු කරන බවට පොරොන්දු දුන්නද මේ වන විටත් ඇමතිවරුන් 37 ක් පත් කර ඇති බවත් ඉදිරියේදී තවත් අමාත්‍යවරුන් ඊට ඇතුළත් වීමට නියමිත බවත් ඔහු සිහිපත් කළේය.adaderana

මැලේසියාවට පනින්න ගිය 75 ක් මාට්ටු


නීති විරෝධි ලෙස මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියාවේ බටු උබාන් ජැටියේ පැය 57ක පමණ කාලයක් අදාළ පිරිස ගමන් ගත් ‍ ට්‍රෝලර් යාත්‍රාව නවතා තබා ඇති බව සඳහන් වේ.
යාත්‍රාවේ සිටි පිරිසට පිටතට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔවුන් එම ඉල්ලීම පිළිනොගැනීම හේතුවෙන් මෙහෙයුමක් මගින් එම පිරිස පිටතට ගැනීමට වෙරළාරක්ෂක පොලිසියට සිදුවිය.
අදාළ ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසට පිරිමි පුද්ගලයන් 61 දෙනෙකු , කාන්තාවන් 6 දෙනෙකු සහ ළමුන් 8 දෙනෙකු ඇතුළත් බව සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම සරණාගතයින් පිළිබඳ සොයා බලා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
පෙනන් පොලිස් ප්‍රධානී ඩාටුක් යාකොබ් පවසන පරිදි සරණාගත පිරිස මැලේසියාවට ගෙන්වා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර ඇත. යාත්‍රාවේ සිටි පිරිසට පිටතට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔවුන් එම ඉල්ලීම පිළිනොගැනීම හේතුවෙන් මෙහෙයුමක් මගින් එම පිරිස පිටතට ගැනීමට වෙරළාරක්ෂක පොලිසියට සිදුවිය. අදාළ ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසට පිරිමි පුද්ගලයන් 61 දෙනෙකු , කාන්තාවන් 6 දෙනෙකු සහ ළමුන් 8 දෙනෙකු ඇතුළත් බව සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම සරණාගතයින් පිළිබඳ සොයා බලා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. පෙනන් පොලිස් ප්‍රධානී ඩාටුක් යාකොබ් පවසන පරිදි සරණාගත පිරිස මැලේසියාවට ගෙන්වා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana

ෆොන්සේකාගේ පෙත්සම කල්යයි


හමුදා අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ජුලි 8 වැනිදා දක්වා කල් තබා තිබේ.
අගවිනිසුරු අශෝක ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද කැඳවනු ලැ‍බිණි..
පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීමට දෙපාර්ශවයටම කල් දුන් අධිකරණය අනතුරුව නඩු විභාගය ජූලි 8 වැනිදා දක්වා කල් තබන ලදී.
යුද හමුදාව මඟින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධි බවත් එබැවින් ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ගොනු කර තිබුණේ අනෝමා ෆොන්සේකා මහත්මිය විසිනි. adaderana

ඉලක්ක ජය ගන්න ලේකම්වරුන්ගේ සේවය අත්‍යවශ්‍යයි


රජයේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහය අත්‍යවශ්‍ය වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරුන්ට මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ද පුළුල් වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලදී.
විශේෂයෙන්ම නොදියුණු පළාත් සහ දිස්ත්‍රික්ක පිළිබඳ වැඩි අවාධානයක් යොමු කරමින් ඒවා නඟා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ අති විශාල ජනතා විශ්වාසයක් සමග රජය ලැබු ජනවරමට අනුව රට ගොඩනැඟීමේ පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි. adaderana

මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්


ජි.එස්.පි.ප්ලස් බදු සහනය ලබාදෙන ලෙස මහනායක හිමිවරුන් යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
යුරෝපා කොමි‍සමේ ශ්‍රි ලංකා හා මාලදිවයින් තානාපති බර්නාඩ් සැ‍වේර් මහතා මහනායක හිමියක් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේලා මෙම ඉල්ලීම කළ බව සඳහන් වේ.
යුරෝපා කොමිසමේ තානාපතිවරයෙකු මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදුටු පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සහ තවත් අපනයන භාණ්ඩ රැසක් සඳහා හිමිවන බදු සහනය තවදුරටත් ලබාදෙන ලෙස මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් යුරෝපා කොමිසමේ තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත. adaderana

කැබිනට් ලේකම්වරු පදවි ලබති


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් අමාත්‍යංශ සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ‍යේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ගෝඨාභය රාපක්ෂ මහතා ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා අචාර්ය පී.බි.ජයසුන්දර මහතා ද පත්කර ඇත.
ඩබ්ලිව්.බී.ගනේගල මහතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් ලෙස සුහද ගම්ලත් මහතාත් , කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙස මහින්ද මඩිහේවා මහතාත් , පත් කර තිබේ.
එසේම කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ ලේකම් ලෙස තිලක් කොල්ලුරේ මහතාත් ,, එස්.ලියන‍ගම මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ලෙසත් , අශෝක පීරිස් මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙසත් , ඉදිකිරීම් - ඉංජිනේරු සේවා - නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශ ලේකම් ලෙස නිශ්ශංක විජේරත්න මහතාත් පත් කර ඇත.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ලෙසත් ,වෛද්‍ය ටී.ආර්.සී.රූබේරූ මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙසත් ,වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම් ලෙසත් , සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ ලේකම් ලෙස අනුර සිරිවර්ධන මහතාත් පත් කර ඇති වග සඳහන් වේ.
මීට අමතරව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.ඩබ්ලිව් ගමගේ මහතා ද,එස් මර්නා මොහොමඩ් මහත්මිය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසද,පී.බී ‍අබේකෝන් මහතා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද පත්වීම් ලබා තිබේ. adaderana