Saturday, March 20, 2010

ඇමති දුමින්දගේ බල මහිමයෙන් වූ පොලිස් පරීක්ෂකගේ ස්ථාන මාරුව අත්හිටුවන්නැයි මැ.කො. ට ඉල්ලීමක්


අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් අනුරාධ පුර ගල්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පහරදී අනතුරුව ඇමතිවරයා මැදිහත්වී එම නිලධාරියාට ලබාදී ඇති ස්ථාන මාරුව වහා අවලංගුකරන ලෙස මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාට යොමුකළ ලිපියයි.
අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්‍ෂක සුමිත් මුණසිංහ මහතාට 2010.03.16 වන දින අනුරාධපුර ගල්කුලම හන්දිය ප‍්‍රදේශයේදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් දේශපාලන හේතූන් මත ඇතිවූ බහින්බස් වීමකදී පහරදීමක් සිදුවී ඇති බවටත් ඒ හේතුවෙන් සුමිත් මුණසිංහ මහතා තුවාල ලබා අනුරාධපුර රෝහලේ වාට්ටු අංක 20 හි ප‍්‍රතිකාර ලබන බවටත් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය වෙත වාර්තා වී ඇත.
පසුව අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ බලපෑම් මත පොලිස් පරීක්‍ෂක සුමිත් මුණසිංහ මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇත. මැතිවරණ නීති-රීති නිසි පරිදි ක‍්‍රියාවේ යොදවන පොලිස් නිළධාරීන්ට දේශපාලනයඥයන් විසින් සිදුකරනු ලබන බලපෑම් මත ස්ථාන මාරු ලබා දීම මැතිවරණ නීති-රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.
එබැවින් වහා ම අදාල ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස්පතිතුමාට උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට,

ආචාර්ය උදිත ගුණසේකර,
ප‍්‍රධාන විධායක - NEM IHR - lankatruth

කළු ගඟට දැමූ දරුවා මියයයි


කළුතර පාළම අසල කළු ගගේ පාවෙමින් තිබියදී පසුගිය 11වනදා බේරාගත් පිරිමි දරුවා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සෙල්ලගේ අමිලසඳරුවන්ප්‍රනාන්දු වන මෙම දරුවා අවු 2 මාස 8ක් වයසේ පසුවිය.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවාගේ ශ්වසනය අක්‍රියවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීමඇනහිටීමහේතුවෙන් එම ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම ඉතා අවම මට්ටමක පැවැතියේය.
මෙම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ මව විසින් ම කළුගඟට විසිකරන ලද බව මේවන විට හෙළි වී තිබේ.lankatruth

අනෝමා ෆොන්සේකාත් රහස් පොලීසියට කැදවීමට සැරසේ


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිදවන අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සදහා ඇය රහස් පොලීසියට කැදවා ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රකාශකයකු පැවසීය.
ඔහු පවසන ආකාරයට ‍මෙලෙස කටඋත්තරය ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිස් නිලධාරීන් විසින් අනෝමා ෆොන්සේකා මහත්මියට ඊයේ දැනුම්දී තිබේ. කෙසේ වෙතත් කටඋත්තරය ලබා ගන්නේ කුමක් සම්බන්ධයෙන්ද යන්න ෆොන්සේකා මහත්මියට දැනුම්දී නොමැති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.lankatruth

රූපවාහිනියට එරෙහිව ජෙනරාල්ගෙන් පෙත්සමක්‌


ඉකුත් ජනාධිපති මැතිවරණ කාලසීමාව තුළ වැඩසටහන් විකාශනය කිරීමට අදාළව විද්‍යුත් මාධ්‍යවලට මැතිවරණ කොමසාරිස්‌ දුන් උපදෙස්‌ පැහැර හැරීමෙන් උසාවියට අපහාසයක්‌ සිදුකර ඇති බැවින් එම වරදට දඬුවම් නොකිරීමට හේතු දැක්‌වීමට ශ්‍රී ලංකා රුපවාහිනියේ සභාපති ඇතුළු බලධාරීන් උසාවියට කැඳවන්නැයි ඉල්ලා ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය. මෙම පෙත්සම මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, එහි සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල, එහි අධ්‍යක්ෂ මණ්ඩලය, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු 12 දෙනකු වග උත්තරකරුවන් කරනු ලැබ සිටිති. ජනරාල් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ඉකුත් ජනාධිපති මැතිවරණයට පෙර එනම් 2010.01.15 දින තමාගේ නීතිඥවරු කළ ඉල්ලීමක්‌ අනුව බවයි.
සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ඊට අදාළව මැතිවරණ කොමසාරිස්‌ නිකුත් කර ඇති උපදෙස්‌ පිළිපැදිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක්‌ කළත්, ඊට පසුව ජනාධිපති මැතිවරණ දිනය දක්‌වා ශ්‍රී ලංකා රුපවාහිනි ආයතනය ඇතුළු රජයේ ජනමාධ්‍ය එම උපදෙස්‌ එළිපිටම උල්ලංඝනය කරමින් එක්‌ අපේක්‍ෂකයකුට පමණක්‌ වාසි වන අන්දමට වැඩසටහන් විකාශනය කිරීම දිගටම කළ බවත් ජෙනරාල් ෆොන්සේකා මහතා මෙම පෙත්සමෙන් පැමිණිලි කර ඇත.
එසේ පක්‍ෂග්‍රාහීව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂකත්වය පමණක්‌ පිම්බෙන ආකාරයට විකාශනය කළ වැඩසටහන් කීපය දින වකවානු ඇතුළු විස්‌තර පෙත්සමෙහි සඳහන් කර ඇත. ජනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රූපවාහිනියේ බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවන් කර සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසය.lankatruth

මාළිගා නැහැ, ව්‍යාපාර නැහැ, ගම්පහ ජනතාව අපිට ආදරේ ඒකයි - විජිත හේරත්


මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග වදින එහි මහ ලේකම් විජිත හේරත් මහතා සමඟ දිවයින පුවත්පත කළ සාකච්ඡාවකි මේ.


ප්‍රශ්නය - ගියවර ඔබ මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන්. නමුත් මෙවර තරග කරන්නේ වෙනත් සන්ධානයකින්. එම අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර - අද රටේ දේශපාලන තත්ත්වය වෙනස්‌. එදා අප රටට අවශ්‍ය කාර්ය භාරය ඉටු කළා. අප ලබාගත් ජය රටේ ජයක්‌. අද රට ඒකාධිපති පාලනයක්‌ කරා ගමන් කරමින් තිබෙන්නේ. ඒ තත්ත්වයට මුහුණ දෙන්න ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් අලුත් සන්ධානයක්‌ ගොඩනැඟුවා කුසලානය ලාංඡනය යටතේ. රටේ සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ සහායෙන් මෙවර මැතිවරණයේ අභියෝගවලට අප මුහුණ දෙනවා.

ප්‍රශ්නය -ජනාධිපතිවරණයේදී ජවිපෙ එජාපය සමඟ එකතු වෙලා තමයි ඉදිරිපත් වුණේ. නමුත් අද එජාපය තනිවම මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා. එජාපය ගත් එම තීරණය පිළිබඳ ඔබේ අදහස?

පිළිතුර- ජනාධිපතිවරණයේදී එජාපය සමඟ අප සන්ධානගත වුණේ නැහැ. විධායක බලතල අහෝසි කරන්න අප විවිධ පක්‍ෂ එකතු කරගෙන නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කළේ. මේ මැතිවරණයේදී එජාපය තනිවම ඉල්ලනවා. ඒක ඔවුන්ගේ අයිතියක්‌.

ප්‍රශ්නය-ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව ඔබ කෙරෙහි තිබෙන විශ්වාසය කෙබඳුද?

පිළිතුර -පැහැදිලි විශ්වාසයක්‌ තිබෙනවා. 2000 වසරේ මහ මැතිවරණයේදී ගම්පහින් මා මන්ත්‍රීවරයකු ලෙස පත් වුණා. ඒ ලබා ගත් ජනවරමින් රට බෙදන පැකේජය, 2002 දී අන්තර් පාලනය, 2004 දී සුනාමි සහන මණ්‌ඩලය පරාජය කළා. මේ රටේ දූෂණය, වංචාව, නාස්‌තිය නැති කරන්න ප්‍රබල හඬක්‌ නැඟුවා. මන්ත්‍රී ධුරය ජනතාවට ද්‍රෝහී වන ආකාරයට වැඩ කළේ නැහැ. බඩගෝස්‌තරවාදයට ගිහින් මාළිගා හැදුවේ නැහැ. සල්ලි හෙව්වෙ නැහැ. ව්‍යාපාර කළේ නැහැ. ලබා ගත් වැටුප ජනතා සේවයට යොදවලා තිබෙනවා. එදා වගේම අදත් අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන්නේ. ගම්පහ ජනතාවට සංවර්ධන වැඩ රැසක්‌ ඉටු කොට අවසන්. ඒ සඳහා මැදිහත් වුණා. ජනතා ප්‍රශ්නවලට මැදිහත් වුණා. ගම්පහ ජනතාව අපට ආදරෙයි. පිළිගැනීමක්‌ තිබෙනවා. ඉදිරියටත් ඒ විශ්වාසය අපට තිබෙනවා.

ප්‍රශ්නය -ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔබ දරන අදහස?

පිළිතුර -හමුදාවට බැහැ පණත අනුව ඔහුව අත්අඩංගුවට ගන්න. හමුදාපතිවරයා හමුදා නීතියට අදාළ නැහැ. සාමාන්‍යයෙන් පොලිස්‌ නිලධාරියකුට පමණයි අත්අඩංගුවට ගත හැක්‌කේ. ඔහුට එරෙහිව චෝදනා තිබෙනවා නම් සිවිල් නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්. මේක වැරදි ක්‍රියාවක්‌. රජය මුලදී මහා ඝෝෂාවක්‌ කළා. ජෙනරාල් ආණ්‌ඩු පෙරළන්න, ජනාධිපතිවරයා ඝාතනය කරන්න, හමුදා කුමන්ත්‍රණයක්‌ කරන්න යනවාය කියලා. රටේ බොරු ප්‍රචාර කොට ජනතාව රැවැට්‌ටුවා. නමුත් අද අධිකරණයේ තිබෙන චෝදනාවන් එදා රජය කළ චෝදනා එකක්‌වත් නැහැ. පැහැදිලිවම පෙනෙනවා දේශපාලන පළිගැනීමක්‌ තිබෙනව බව. රටේ යුක්‌තිය අගයන කිසිවෙක්‌ මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය -ගම්පහ අසීමිත ලෙස සංවර්ධනය කරන බව රජය විවිධ ප්‍රකාශ කරනවා. ඔබ එය දකින්නේ කෙසේද?

පිළිතුර -හිස්‌ වචන විතරයි. මෙතරම් කාලයක්‌ නොකළ දෙයක්‌ ගැන දැන් කතා කරනවා. කොළඹට දෙවැනි නගරය ගම්පහග රෑ නවයෙන් පස්‌සේ යන්න බස්‌ එකක්‌ නැහැ. තියෙන මාර්ග අබලන්. ඇතැම් ගම්වලට විදුලියල ජලය නැහැ. ජාඇල, මීගමුව ජනතාව බොන්නේ මළකඩ වතුර. ගම්පහ ජනතාවගේ දැවෙන මූලික ප්‍රශ්න ටිකවත් විසඳන්න රජයට බැරි වෙලා තිබෙනවා. ආණ්‌ඩුව ඡන්ද කාලේ පෙන්වන සංදර්ශනවලින් ගම්පහ ජනතාවට වැඩක්‌ වෙන්නේ නැහැ.

ගම්පහ බහුතරයක්‌ ඉන්නේ පෞද්ගලික සහ රජයේ අංශවල රැකියා කරන අය. ඔවුන්ගේ වැටුප දහදාහකින් වැඩි කරනවා. දූෂණය, වංචාව නැති කළාම ඒක කරන්න පුළුවන්. තවම ගම්පහ බොහෝ ප්‍රදේශවල කෘෂිකාර්මිකව සංවර්ධනය කරන්න පුළුවන්. ප්‍රයෝජනයට නොගෙන තියෙන කුඹුරු ගොඩ කරනවා. ඒවා අස්‌වද්දන්න රජයට වැඩපිළිවෙලක්‌ නැහැ. ගම්පහ ජීවත් වන කිරි, බුලත් ගොවියාට, සුළු කාර්මිකයාට රැකියා අනාරක්‍ෂිතයි. ආර්ථික දරිද්‍රතාවෙන් පෙළෙනවා. අපේ සන්ධානය ගම්පහ ජනතාවගේ ආර්ථිකය උසස්‌ කරන්න වැඩි අවධානයක්‌ යොමු කරනවා. අපේ ප්‍රතිපත්තිවල ඒවා ඇතුළත්.lankatruth

වව්නියාව අධිකරණයෙන් ගෝඨාභයට නොතීසි


කොටි සංවිධානය විසින් බලෙහත්කාරයෙන් පැහැරගෙන ගිය සිය පුත්‍රයා ආරක්ෂක හමුදා භාරයට පත් කළ බවත්, චෝදනා නොමැති නම් ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලා වව්නියාවේ ද්‍රවිඩ ජාතික පියෙකු විසින් හෙබයාස් කෝපුස් පෙත්සමක් විභාග කළ වව්නියාව අධිකරණයට ආරක්සඛ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිවු දෙනෙකුට ලබන මැයි මස 07 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.
වව්නියාව, පොම්පෙමඩු කඳවුරේ වෙසෙන සත්කුනම් ගජන්ගේ පියා විසින් වව්නියාව අධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලූ වව්නියාව මහාධිකරණ විනිසුරු ජේ.විශ්වනාදන් මහතා මෙළෙස ආරක්ෂක ලේකම්වරයාට නොතීසි නිකුත් කර ඇත.
යුධ සමයේදී සිය පුත්‍රයා වන සත්කුනම් ගජන් කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කොටි සාමාජිකයෙකු ලෙස රඳවා ගත් බවත්, පසුව තමා විසින්ම සිය පුත්‍රයාව පුදුමාතලන්හිදී රජයේ ආරක්ෂක හමුදාවන්ට භාර දුන් බවත් එම පෙත්සමෙන් මෙම පියා කරුණූ දක්වා ඇත. එසේව ආරක්ෂක හමුදාවන් විසින් මේ වන විට සිය පුත්‍රයා රඳවා සිටින බවත්, තමන්ට ඔහු බැලීමට හෝ අවස්ථාව ලබා දී නොමැති බවත් එම පෙත්සමෙන් පවසා ඇති මෙම පියා ඉල්ලා ඇත්තේ චෝදනා නැතිනම් සිය පුත්‍රයා වහාම නිදහස් කරන ලෙස නියෝග කරන ලෙසයි.lankatruth

පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී පොලිස්පති බබා වෙයි


ඊයේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැති පක්ෂ ලේකම්රවරු හා මැතිවරණ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවේදී නීති විරෝධී ප්‍රචාරක පුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පවසා ඇත්තේ එම පුවරු ගැලවීමට යන අවස්ථා වලදී යම් යම් පුද්ගලයන් පොලීසියට ඔරවන බැවින් එය සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි.

එහිදී එසේ පොලීසියට තර්ජන කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි පක්ෂ ලේකම්වරු ප්‍රශ්න කල අවස්ථාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ එලෙස තර්ජනයට ලක්වූ කිසිම නිලධාරියකු ඒ පිළිබදව පැමිණිලි කොට නැති නිසා පොලීසියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිවී ඇති බවයි.

පොලිස්පතිවරයා මේ පවසන්නේ පොලීසියේ නොහැකියාවද නොඑසේනම් පොලීසියේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයද යන්න ගැටළුවකි. මක්නිසාද යත් මේවන විට නීතිවිරෝධී කටවුට් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ පොලීසි ඉදිරි පිටය. මාතර පොලීසිය මීට හොදම උදාහරණයකි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා පවසන ආකාරයට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ ඔවුන් ආයුධ සන්නද්ධව සිටි බැවින් යැයිද, ස්ත්‍රී දූෂකයන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ඔවුන් ඔරවා බැලූ නිසා යැයිද, මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ඔවුන් තමන්ද ඝාතනය කරනු ඇතැයි සිතුණු නිසාද යැයි පොලීසිය යම් දිනක පැවසීම අරුමයක් නොවනු ඇත. lankatruth

පිළියන්දලට ආර්ථික මධ්‍යස්ථානයක්


කොළඹ දිස්ත්‍රික්කයේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉදි වූ තවත් ආර්ථික මධ්‍යස්ථානයක් අද පිළියන්දලදී විවෘත වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන 4 ක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මීගොඩ, නාරාහේන්පිට සහ රත්මලාන යන නගර වල අනිකුත් ආර්ථික මධ්‍යස්ථාන ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ආමාත්‍යවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. එළඹෙන උත්සව සමය තුළ භාණ්ඩ මිල ස්ථාවර මිලක පවත්වා ගෙන යාමට රජයට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා‍ මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

මැතිවරණ ප්‍රචාරණයට අණ බෙරකරුවන්


මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල දී අණ බෙර යොදා ගනිමින් අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු වල නිරතව තිබේ.
මහනුවර ‍මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට දී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ආචාර්ය විජිත නානායක්කාර මහතා ප්‍රචාරක කටයුතු වල නිරත වූයේ පරිසරයට වඩාත් හිතකාමී ලෙසය. මේ සඳහා සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ද යොදා ගැනීම විශේෂත්වයකි. දකුණු පළාත් විපක්ෂ නායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ද ගාල්ල නාගොඩ ප්‍රදේශයේ අණ‍ බෙර යොදා ගනිමින් සාම්ප්‍රදායික ප්‍රචාරක කටයුතු වල නිරත විය.
විශාල ධනයක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වීමට තමාට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළේය. පරිසර හිතකාමී සහ ඉතා ආකර්ශණීය ලෙස ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ගම්මාන වල ක්‍රියාත්මක විය.adaderana

හිටපු නේපාල අගමැති මියයයි


නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය ගිරිජා ප්‍රසාද් කොයිරාළ මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඔහු අද උදෑසන කත්මණ්ඩු නුවර දී ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට 87 වන වියෙහි පසු වූ කොයිරාළ මහතා මීට දින ගණනාවකට පෙර රෝගාතුරව රෝහල් ගත කර තිබුණි. කොයිරාළ මහතා නේපාලයේ කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් පස් වතාවක් නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.
මාවෝවාදී කැරලිකරුවන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීම මෙන්ම රාජාණ්ඩුවක්ව තිබූ නේපාලය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය කරා ගෙන ඒමේ මූලිකයා ලෙස කටයුතු කලේ ද කොයිරාළ මහතාය. මේ වන විට මියගිය නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය ගිරිජා ප්‍රසාද් කොයිරාළ මහතාගේ දේහය කත්මණ්ඩු නුවර පිහිටි ඔහුගේ දියණියගේ නිවසේ තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.adaderana

අකුණු සහ තද සුළඟින් ප්‍රවේසම් වන්න


ඊසාන දිග මෝසමේ අවසන් කාලය ගෙවී යන මේ දිනවල ඇතිවන අකුණු සහ තද සුළඟින් ප්‍රවේසම් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉදිරි දින වල නැගෙනහිර හා ඌව පළාත් සඳහා අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමඟම තද සුළං තත්ත්වයක් හට ගැනීමට ඉඩ කඩ ඇති බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මීට අමතරව ගාල්ල සහ මාතර ප්‍රදේශ වලට ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

මැතිවරණ නිරීක්ෂණයට තවමත් අවසර දී නෑ


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නිරීක්ෂණ කටයුතු සඳහා මේ වන තෙක් තමන්ට මැතිවරණ කොමසාරිස්වරයා අවසර ලබා දී නොමැති බව පැ‍ෆ්රල් සංවිධානය පවසයි.
ඡන්ද ගණන් කිරී‍ෙම් මධ්‍යස්ථාන වල නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. එහෙත් මේ වනතෙක් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු පිළිතුරක් නොලැ‍බුණු බව ‍ඒ මහතා සඳහන් කළේය. ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සඳහා අවසරය ලැබෙතැයි බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණයට මෙසේ අවසර ඉල්ලා සිටින බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. adaderana

ඛනිජ සම්පත් ගවේෂණය ගුවනේ සිට


මෙරට ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු ගුවනේ සිට සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කොට තිබේ.
සම්පූර්ණ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ගුවනේ සිට මෙම ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා රුසියාවේ සහ කොරි‍යාවේ විශේෂඥ දැනුම යොදා ගැනීමට ද නියමිත බව භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යංශයේ අධ්‍යක්ෂ කේ. දසනායක මහතා ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4 .7 ක් පමණ වැය වන බවට මේ වන විට ඇස්තමේන්තු කොට ඇති බව සඳහන්ය.adaderana

ඛනිජ සම්පත් ගවේෂණය ගුවනේ සිට

කළු ග‍ඟේ ගිලෙද්දී බේරාගත් දරුවා මියයයි


කළු ග‍ඟේ පා වෙමින් සිටිය දී බේරා ගත් කුඩා දරුවා ජීවිතක්ෂයට පත් ව තිබේ.
අද පෙරවරුවේ දී දරුවා මිය ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. වයස අවරුදු තුනක් පමණ වන අමිල සඳරුවන් නැමති මෙම කුඩා දරුවා පසුගිය දා සිය මව විසින් කළු ගඟට විසි කළ අවස්ථාවේදී ලොරි රථ රියදුරෙකු විසින් බේරා ගනු ලැබීය. පසුව එම දරුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම කුඩා දරුවාගේ අනෙක් සහෝදරයින් සිව් දෙනා ළමා නිවාසයකට භාර දීමට පසුගිය දා පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. අත්අඩංගුවේ පසුවන මව සඳහන් කළේ දරුවන් ජීවත් කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන් මෙම ක්‍රියාව සිදු කළ බවය. adaderana

ස්ථානමාරුව වහාම අත්හිටුවන්න


අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ස්ථානමාරුව වහාම අත්හිටුවන ලෙස මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.
මැතිවරණ කාලසීමාව තුළදී මෙවැනි ස්ථානමාරුවක් ලබාදීම නීතිවිරෝධී බව මැතිවරණ නිරීක්ෂණ ජාලය පෙන්වාදෙයි. මැතිවරණ නිරීක්ෂණ ජාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අමාත්‍ය දුමින්ද දිසානායක සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක යන මහත්වරුන්ගේ බලපෑම මත පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතා මඩකලපුව පොලිසියට මාරු කර යවා ඇති බවය.
පසුගිය 16 වැනි දින අනුරාධපුර ගල්කුලම ප්‍රදේශයේ දී මැර ප්‍රහාරයකට ලක්වූ පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතා තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව එම නිවේදනයේ සඳහන් වේ. දුමින්ද දිසානායක මහතා සමග ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම පොලිස් නිලධාරියා පහරකෑමට ලක්වූ බව මැතිවරණ නිරීක්ෂණ ජාලය පෙන්වාදෙයි.adaderana

මර්වින් කැලණි විහාර සභාපතිකම ඉල්ලයි


කැලණිය දායක සභාවේ සභාපති ධුරය අනිවාර්යෙන්ම තමාට හිමිවිය යුතු බව කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
දැනට දායක සභාවේ සභාපති ධූරයේ සිටින රනිල් වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය. බුද්ධ ශාසනය නඟා සිටුවීම සඳහා ඔහුගෙන් කිසිදු දායකත්වයක් නොලැබෙන බව මර්වින් සිල්වා අමාත්‍යවරයා ඊයේ කැලණිය රජමහා විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ දුප්පත් පන්සල් නඟා සිටුවීම සහ එම පන්සල්වල සිටින සාමණේර භික්ෂූන් වහන්සේලාගේ පවුල්වල සාමාජිකයින්ගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා තමන් උපරිමයෙන් කැප වන බව හෙතෙම කියා සිටියේය. රුපියල් ලක්ෂ 100 ක මුදලක් යෙදවීමට බලාපො‍රොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

හොර හරක් ලොරියකට පොලීසියෙන් වෙඩි ප්‍රහාර


පොලිස් අණ නොතකා ධාවනය වූ හොර හරක් පැටවූ ලොරි රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු දික්වැල්ල ප්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලොරි රථය පිටුපස හඹා ගොස් දික්වැල්ල රදන්පලදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව බෙලිඅත්ත පොලිසිය පවසයි. එහිදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් පෙරලීමකට ලක්ව ඇත
අද අලුයම මෙම වෙඩිතැබීම සිදුවූ බව බෙලිඅත්ත පොලිසිය සඳහන් කළේය. ලොරි රථය තුළ සිටි ගවයින් කිහිපදෙනකුම මරණයට පත්ව ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adadera

ආසන 115 කට වඩා ගන්නවා


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 115 කට වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමිකරගන්නා බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා පවසයි.
මේ වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදයෙන් සිටින බව ඔහු සඳහන් කරයි. දකුණේ පමණක් නොව උතුරේ ජනතාව ද එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන සිටින බව ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ ‍කළේය. ඊයේ කදාන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය. adaderana

නව සන්නිවේදන මධ්‍යස්ථානය ජනතා අයිතියට


මධ්‍යම පළාතේ ඉදිකළ නව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත්කරනු ලැබීය.
මධ්‍යම පළාතේ මුදල් ප්‍රතිපාදන මත ඉදිකළ මෙම තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 302 ක් වැයකොට තිබේ. මෙම මධ්‍යස්ථානය පුස්තකාලයක්, ප්‍රදර්ශනාගාරයක්, ළමා මධ්‍යස්ථාන‍යක් සහ ශ්‍රවණාගාරයක් සහිතව මහල් 4කින් යුත් බව සඳහන්ය. මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය ලෙස මෙය නම් කර ඇති අතර මධ්‍යම පළාතේ දරු දැරියන්ගේ ‍තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම මෙහි අරමුණ වී ඇත. adaderaana

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ බුද්ධිමතුන්


බුද්ධිය ඇති උගත් පුද්ගලයින් පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා යැවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
කෝටි 2 කට අධික ජනතාවක් පාලනය කිරීමට හැකිවන්නේ බුද්ධිමතුන්ට පමණක් බව ද ඔහු සඳහන් කරයි. අද වන විට මුදල් සහ මැර බලය පාර්ලිමේන්තුවට යාමට සුදුසුකමක් ලෙස සලකන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව ‍මුදල් සහ මැරබලය යොදාගනිමින් දේශපාලනය කරන අපේක්ෂකයින් පරාජය කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

නවීන ගබඩා සංකීර්ණ 3ක්


ආහාර නිසි පරිදි ගබඩා කරතැබීම සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගබඩා සංකීර්ණ තුනක් ඉදිකිරීමට නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ස්පාඤ්ඤ රජයේ ආධාර මත ඉදිවන මෙම ගබඩා සංකීර්ණ සදහා වන අවබෝධතා ගිවිසුම් මේ වන විටත් අත්සන් කර ඇති බව සඳහන්ය. ගලේවෙල, හම්බන්තොට සහ දඹුල්ල යන ප්‍රදේශවල මෙම ගබඩා සංකීර්ණ ඉදිකිරීමට කටයුතු යොදා ඇත.
හම්බන්තොට ඉදිකෙරෙන ගබඩා සංකීර්ණය, ප්‍රධාන වශයෙන් මාළු ගබඩා කිරීම සඳහා පහසුකම් සැපයීමට නියමිතය. ගලේවෙල හා දඹුල්ල ප්‍රදේශවල ඉදිකෙරෙන ගබඩා සංකීර්ණවල පළතුරු, එළවළු හා ධාන්‍ය වැඩි වශයෙන් ගබඩා කිරීමට නියමිතව තිබේ.adaderana

උතුරට විදෙස් රැකියා අවස්ථා


ත්‍රස්තවාදයෙන් මුදාගත් උතුරු පළාත තුළ විදේශ රැකියා ‍ක්ෂේත්‍ර‍ පිළිබඳ තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
මේ යටතේ යාපනය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා දෙකක් ඉදිරි සතිය තුළ විවෘත කිරීමට නියමිතය. උතුරේ තරුණ තරුණියන්ට විදේශ රැකියා සඳහා යෙ‍ාමුවීමට ‍අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.
වි‍ශේෂයෙන්ම, විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන ජාවාරම් වළක්වා ලීම මෙමගින් අපේක්ෂා කරන බව සභාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීමට ද තීරණය කර ඇත. adade