Saturday, March 20, 2010

රූපවාහිනියට එරෙහිව ජෙනරාල්ගෙන් පෙත්සමක්‌


ඉකුත් ජනාධිපති මැතිවරණ කාලසීමාව තුළ වැඩසටහන් විකාශනය කිරීමට අදාළව විද්‍යුත් මාධ්‍යවලට මැතිවරණ කොමසාරිස්‌ දුන් උපදෙස්‌ පැහැර හැරීමෙන් උසාවියට අපහාසයක්‌ සිදුකර ඇති බැවින් එම වරදට දඬුවම් නොකිරීමට හේතු දැක්‌වීමට ශ්‍රී ලංකා රුපවාහිනියේ සභාපති ඇතුළු බලධාරීන් උසාවියට කැඳවන්නැයි ඉල්ලා ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය. මෙම පෙත්සම මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, එහි සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල, එහි අධ්‍යක්ෂ මණ්ඩලය, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු 12 දෙනකු වග උත්තරකරුවන් කරනු ලැබ සිටිති. ජනරාල් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ඉකුත් ජනාධිපති මැතිවරණයට පෙර එනම් 2010.01.15 දින තමාගේ නීතිඥවරු කළ ඉල්ලීමක්‌ අනුව බවයි.
සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ඊට අදාළව මැතිවරණ කොමසාරිස්‌ නිකුත් කර ඇති උපදෙස්‌ පිළිපැදිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක්‌ කළත්, ඊට පසුව ජනාධිපති මැතිවරණ දිනය දක්‌වා ශ්‍රී ලංකා රුපවාහිනි ආයතනය ඇතුළු රජයේ ජනමාධ්‍ය එම උපදෙස්‌ එළිපිටම උල්ලංඝනය කරමින් එක්‌ අපේක්‍ෂකයකුට පමණක්‌ වාසි වන අන්දමට වැඩසටහන් විකාශනය කිරීම දිගටම කළ බවත් ජෙනරාල් ෆොන්සේකා මහතා මෙම පෙත්සමෙන් පැමිණිලි කර ඇත.
එසේ පක්‍ෂග්‍රාහීව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂකත්වය පමණක්‌ පිම්බෙන ආකාරයට විකාශනය කළ වැඩසටහන් කීපය දින වකවානු ඇතුළු විස්‌තර පෙත්සමෙහි සඳහන් කර ඇත. ජනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රූපවාහිනියේ බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවන් කර සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසය.lankatruth

0 comments:

Post a Comment