Saturday, March 20, 2010

මාළිගා නැහැ, ව්‍යාපාර නැහැ, ගම්පහ ජනතාව අපිට ආදරේ ඒකයි - විජිත හේරත්


මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග වදින එහි මහ ලේකම් විජිත හේරත් මහතා සමඟ දිවයින පුවත්පත කළ සාකච්ඡාවකි මේ.


ප්‍රශ්නය - ගියවර ඔබ මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන්. නමුත් මෙවර තරග කරන්නේ වෙනත් සන්ධානයකින්. එම අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර - අද රටේ දේශපාලන තත්ත්වය වෙනස්‌. එදා අප රටට අවශ්‍ය කාර්ය භාරය ඉටු කළා. අප ලබාගත් ජය රටේ ජයක්‌. අද රට ඒකාධිපති පාලනයක්‌ කරා ගමන් කරමින් තිබෙන්නේ. ඒ තත්ත්වයට මුහුණ දෙන්න ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් අලුත් සන්ධානයක්‌ ගොඩනැඟුවා කුසලානය ලාංඡනය යටතේ. රටේ සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ සහායෙන් මෙවර මැතිවරණයේ අභියෝගවලට අප මුහුණ දෙනවා.

ප්‍රශ්නය -ජනාධිපතිවරණයේදී ජවිපෙ එජාපය සමඟ එකතු වෙලා තමයි ඉදිරිපත් වුණේ. නමුත් අද එජාපය තනිවම මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා. එජාපය ගත් එම තීරණය පිළිබඳ ඔබේ අදහස?

පිළිතුර- ජනාධිපතිවරණයේදී එජාපය සමඟ අප සන්ධානගත වුණේ නැහැ. විධායක බලතල අහෝසි කරන්න අප විවිධ පක්‍ෂ එකතු කරගෙන නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කළේ. මේ මැතිවරණයේදී එජාපය තනිවම ඉල්ලනවා. ඒක ඔවුන්ගේ අයිතියක්‌.

ප්‍රශ්නය-ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව ඔබ කෙරෙහි තිබෙන විශ්වාසය කෙබඳුද?

පිළිතුර -පැහැදිලි විශ්වාසයක්‌ තිබෙනවා. 2000 වසරේ මහ මැතිවරණයේදී ගම්පහින් මා මන්ත්‍රීවරයකු ලෙස පත් වුණා. ඒ ලබා ගත් ජනවරමින් රට බෙදන පැකේජය, 2002 දී අන්තර් පාලනය, 2004 දී සුනාමි සහන මණ්‌ඩලය පරාජය කළා. මේ රටේ දූෂණය, වංචාව, නාස්‌තිය නැති කරන්න ප්‍රබල හඬක්‌ නැඟුවා. මන්ත්‍රී ධුරය ජනතාවට ද්‍රෝහී වන ආකාරයට වැඩ කළේ නැහැ. බඩගෝස්‌තරවාදයට ගිහින් මාළිගා හැදුවේ නැහැ. සල්ලි හෙව්වෙ නැහැ. ව්‍යාපාර කළේ නැහැ. ලබා ගත් වැටුප ජනතා සේවයට යොදවලා තිබෙනවා. එදා වගේම අදත් අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන්නේ. ගම්පහ ජනතාවට සංවර්ධන වැඩ රැසක්‌ ඉටු කොට අවසන්. ඒ සඳහා මැදිහත් වුණා. ජනතා ප්‍රශ්නවලට මැදිහත් වුණා. ගම්පහ ජනතාව අපට ආදරෙයි. පිළිගැනීමක්‌ තිබෙනවා. ඉදිරියටත් ඒ විශ්වාසය අපට තිබෙනවා.

ප්‍රශ්නය -ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔබ දරන අදහස?

පිළිතුර -හමුදාවට බැහැ පණත අනුව ඔහුව අත්අඩංගුවට ගන්න. හමුදාපතිවරයා හමුදා නීතියට අදාළ නැහැ. සාමාන්‍යයෙන් පොලිස්‌ නිලධාරියකුට පමණයි අත්අඩංගුවට ගත හැක්‌කේ. ඔහුට එරෙහිව චෝදනා තිබෙනවා නම් සිවිල් නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්. මේක වැරදි ක්‍රියාවක්‌. රජය මුලදී මහා ඝෝෂාවක්‌ කළා. ජෙනරාල් ආණ්‌ඩු පෙරළන්න, ජනාධිපතිවරයා ඝාතනය කරන්න, හමුදා කුමන්ත්‍රණයක්‌ කරන්න යනවාය කියලා. රටේ බොරු ප්‍රචාර කොට ජනතාව රැවැට්‌ටුවා. නමුත් අද අධිකරණයේ තිබෙන චෝදනාවන් එදා රජය කළ චෝදනා එකක්‌වත් නැහැ. පැහැදිලිවම පෙනෙනවා දේශපාලන පළිගැනීමක්‌ තිබෙනව බව. රටේ යුක්‌තිය අගයන කිසිවෙක්‌ මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය -ගම්පහ අසීමිත ලෙස සංවර්ධනය කරන බව රජය විවිධ ප්‍රකාශ කරනවා. ඔබ එය දකින්නේ කෙසේද?

පිළිතුර -හිස්‌ වචන විතරයි. මෙතරම් කාලයක්‌ නොකළ දෙයක්‌ ගැන දැන් කතා කරනවා. කොළඹට දෙවැනි නගරය ගම්පහග රෑ නවයෙන් පස්‌සේ යන්න බස්‌ එකක්‌ නැහැ. තියෙන මාර්ග අබලන්. ඇතැම් ගම්වලට විදුලියල ජලය නැහැ. ජාඇල, මීගමුව ජනතාව බොන්නේ මළකඩ වතුර. ගම්පහ ජනතාවගේ දැවෙන මූලික ප්‍රශ්න ටිකවත් විසඳන්න රජයට බැරි වෙලා තිබෙනවා. ආණ්‌ඩුව ඡන්ද කාලේ පෙන්වන සංදර්ශනවලින් ගම්පහ ජනතාවට වැඩක්‌ වෙන්නේ නැහැ.

ගම්පහ බහුතරයක්‌ ඉන්නේ පෞද්ගලික සහ රජයේ අංශවල රැකියා කරන අය. ඔවුන්ගේ වැටුප දහදාහකින් වැඩි කරනවා. දූෂණය, වංචාව නැති කළාම ඒක කරන්න පුළුවන්. තවම ගම්පහ බොහෝ ප්‍රදේශවල කෘෂිකාර්මිකව සංවර්ධනය කරන්න පුළුවන්. ප්‍රයෝජනයට නොගෙන තියෙන කුඹුරු ගොඩ කරනවා. ඒවා අස්‌වද්දන්න රජයට වැඩපිළිවෙලක්‌ නැහැ. ගම්පහ ජීවත් වන කිරි, බුලත් ගොවියාට, සුළු කාර්මිකයාට රැකියා අනාරක්‍ෂිතයි. ආර්ථික දරිද්‍රතාවෙන් පෙළෙනවා. අපේ සන්ධානය ගම්පහ ජනතාවගේ ආර්ථිකය උසස්‌ කරන්න වැඩි අවධානයක්‌ යොමු කරනවා. අපේ ප්‍රතිපත්තිවල ඒවා ඇතුළත්.lankatruth

0 comments:

Post a Comment