Monday, March 8, 2010

ජෙනරාල්ගේ අරගලය ජය ගනී


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවීමට යන අවස්ථාවේ ජංගම දුරකථනය රැගෙන යාම සදහා අනෝමා ෆොන්සේකා මහත්මියට යුද හමුදාපතිවරයා යළි අවසරදුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රසාද් සමරසිංහ මහතා "ඒක වරප්‍රසාදයක් විතරයි, උසාවි නියෝගයක් නොවෙයි. ඒ වරප්‍රසාදය අපි එයාට කලින් ලබාදීපු එකක්. යුද හමුදාපතිවරයා අද තීරණය කර තිබෙනවා එතුමාට ඒ වරප්‍රසාදය නැවත ලබා දෙන්න. හැබැයි ඒ ඔහුගේ දියණියන් දෙදෙනාට කතා කිරීමට පමණයි." යැයි පැවසීය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන පහසුකම් ඇතුළු තවත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද නියෝගකර ති‍බියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඔහුට දුරකථන පහසුකම් ලබාදීම නවතා තිබිණි. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරතවූ අතර අද දහවල්වන විට එයට පැය 24ක්ද ඉක්මවා තිබිණි.
මේ අතර යුද හමුදාපතිවරයා ලබා දුන්නා යැයි කියන නියෝගය මේවන තෙක් තමන් වෙත ලැබී නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. truth

කාන්තා දායකත්වය වැඩියෙන් ලබා ගන්නවා


ශ්‍රී ලාංකේය කාන්තා පරපුර වෙනුවෙන් වත්මන් රජය ලබාදුන් ඉහළම ත්‍යාගය ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දශක තුනක් පුරා මෙරට කාන්තාව පීඩාවට පත් කළ ත්‍රස්තවාදය කෙටි කලක් තුළ පරාජය කිරීමට රජයට හැකි වූ බවයි.
මත් උවදුරට ද තිත තබමින් කාන්තාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකිරීමට පසුගිය සිව් වසර තුළ තම රජයට හැකි වු බව ජනාධිපතිවරයා කියා සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කරනු ලැබුවේ ජගත් කාන්තා දිනය නිමිත්තෙන් හම්බන්තොට සිරිබෝපුර පැවති උත්සවයට සහභාගි වෙමිනි.
පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ නංවමින් රට සංවර්ධනයටත් , සදාචාරවත් රටක් ගොඩනැගීමේ කාර්යයටත් කාන්තා දායකත්වය වැඩි වශයෙන් ලබාගන්නා බව ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.ada

රට දියුණු කරන්නට දුර්වල විපක්ෂයක් ඕනෑ


රට දියුණු කරන්න නම් ප්‍රබල ආණ්ඩු පක්ෂයක් මෙන්ම දුර්වල විපක්ෂයක් අත්‍යවශ්‍ය බව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ප්‍රබල විපක්ෂයක් පැවතිය යුතු බවට මතයක් ඇතිකරමින් තිබුණත් එහි කිසිදු සත්‍යතාවයක් නැති බවත්,තුන්වෙනි ලෝකයේ කිසිදු රටක එවැනි ප්‍රබල විපක්ෂයක් දැකිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එබැවින් රටේ දුර්වල විපක්ෂයක් තහවුරු කරන්නට ඉතා සුදුසු දුර්වල විපක්ෂ නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වඩා සුදුසු බව ද හෙතෙම අවධාරණය කළේය. ada

පැමිණිලිවලට ප්‍රතිචාර නැති නිසා පොලීසියට එරෙහිවමංගල අධිකරණයට


ජනාධිපතිවරණ සමයේ තම දේශපාලන කාර්යාල වලට සහ නිවසට අවස්ථා ගණනාවකදී එල්ලවූ පහරදීම් හා වෙඩි තැබීම් සම්බන්ධයෙන් කළ පැමිණිලිවලට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පොලිසියට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී තමන්ටත් තම පාර්ශවකරුවන්ටත් සිදුවු හිරි හැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී පොලිසිය ක්‍රියා කළ ආකාර‍ය හේතුවෙන් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් මංගල සමරවීර මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමින් පොලිස්පතිවරයා , දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පොලීසියේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසටත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියි.truth