Sunday, April 25, 2010

මාධ්‍යවේදීන්ගෙන් ගුටි කෑ. උසාවියෙන් සමාව ගත් මර්වින් මාධ්‍ය නියෝජ්‍ය ඇමැති කිරීමෙන් රටේ දේශපාලනය zපාදඩකරණයZ කළා -ටිල්වින්

(ලංකා ඊනිව්ස් -2010. අප්‍රේල්. 25 ප.ව 4.35) මාධ්‍යවේදීන්ට කරදර කළ ඔවුන්ගේ කැමරා උදුරා කුඩු පට්ටං කළ, මාධ්‍ය ආයතනවලට පහරදීමට මහ දවාලේ පිරිස් මෙහෙයවූ, මාධ්‍යවේදීන්ගෙන් ගුටි කෑ, මාධ්‍යවේදීන්ට හිරි හැර කිරීම නිසා උසාවි ගොස් සමාව ගත් මර්වින් සිල්වා මහතා මාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් තීරණය මේ රටේ දේශපාලනය zපාදඩකරණයZ කිරීමක් බව මනාව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.
ජවිපෙ ලේකම්වරයා ඉහත ප්‍රකාශය කරන ලැබුවේ අද (25) සවස බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකටදී වන අතර, zමහින්ද චින්තනයZ මෙරට ජනතාවගේ ජන මානස තේරුම්ගෙන ඇති ආකාරය ඉන් පිළිබිඹු වන්නේ යැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
මාධ්‍ය හමුවේදී ජවිපෙ ලේකම්වරයා මෙසේද පැවසුවේය.
අද අපේ රටේ දේශපාලනයේ සදාචාරයක් නැහැ. චණ්ඩිකමයි තියෙන්නේ. මර්වින් සිල්වා මහත්තයා නීතියක් දැම්ම කැළණියට. ඒක හොඳයි. නමුත් එය රටේ නීතියට කළ යුතුයි. ඔබ කවුරුත් දන්නවා නාවලපිටියේ මොකද වුණේ කියලා. දෙවැනි පාරටත් ඡන්දේ තිබ්බහම හැමෝම චෝදනා කළ මහින්දානන්ද අලූත්ගමගේ පළමු වැනියා වෙලා.
ඔහුට චෝදනා කළේ වැඩිපුරම ආණ්ඩුවේ අයයි.
ඡන්දයට පෙර මේ ආණ්ඩුව පැවසුවේ රට සංවර්ධනය කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියලා. නමුත් ඇමැති මණ්ඩලය හදාගන්නවත් තාම මේ ආණ්ඩුවට නොහැකි වෙලා. මහනුවර දිස්ත්‍රික්කයේ කාටවත් ඇමැතිකම් දිලා නැහැ. සමහර ඇමැතිකම් තියෙනවා තම කිසිවෙකු නම් කරල නැති. උදාහරණ වශයෙන් ජන මාධ්‍ය, පශ= සම්පත්, තාක‍ෂණ හා පර්යේෂණ, උසස් අධ්‍යාපන, සංචාරක, මානව හිමිකම් හා මහවැලි සංවර්ධනය වැනි විෂයන්ට කිසිවකු පත්කරල නැහැ.
ඒ වගේම තමයි නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ප්‍රශ්ණය. සමහර අමාත්‍යාංශවලට නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරු 3 ක් ජනාධිපතිවරයා සතු වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරු 2 ක්.
ආරක්ෂක අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරයකු නැහැ. තරුණ කටයුතු හා රැකි රක‍ෂා, පාර්ලිමේන්තු කටයුතු, ක්‍රීඩා, රාජ්‍ය කළමණකරණ හා ප්‍රතිසංස්කරණය, පරිසර, කම්කරු, ආගමික කටයුතු වැනි ඒවාට නියෝජ්‍ය ඇමතිවරු නැහැ. මෙය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දෙන්න ඉඩ තියා හදපු ඇමැති මණ්ඩලයක්.
මෙය රාජපක්ෂ පවුල හදන ඇමැති මණ්ඩලයක් මිසක් රට හදන එකක් නොවෙයි. ජනාධිපතිට තිඛෙනවා ඇමැති ධූර 4 ක්. ආරක්ෂක, මුදල් හා ක්‍රම සම්පාදන, වරාය හා ගුවන් සේවා හා මහා මාර්ග අමාත්‍යාංශය. මේවා වැඩිපුරම මුදල් ගැවසෙන අමාත්‍යාංශයි. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුව, නාගරිය සංවර්ධන අධිකාරිය වැනි ආයතනත් අනුයුක්ත කරගෙන. ලෝකේ කොයිම රටකවත් නාගරික සංවර්ධන අධිකාරිය ආරක‍ෂක අමාත්‍යාංශය යටතේ නැහැ. මේ ආයතනත් මුදල් ගැවසෙන ආයතන මේ සියල්ල රාජපක්ෂ පවුල යටතේයි ඇත්තෙ.
බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට අයත් විෂයන් මොනවද කියා කවුරුත් දන්නේ නැහැ. ආර්ථීක සංවර්ධනයට හැම අමාත්‍යාංශයක්ම සම්බන්ධයි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සංචාරක, ධීවර කර්මාන්ත, මහා මාර්ග, වාරිමාර්ග, වරාය හා ගුවන් සේවා, මහවැලිය වැනි ඕනෑම විෂයක් ආර්ථීක සංවර්ධනයට සම්බන්ධයි.
ඇමැති ධූරයන්ට අයත් විෂයන් වෙන් කිරීමෙන් මෙය රට හදන ඇමැති මණ්ඩලයක් නොවන බව පැහැදිලිවම පේනවා. උදාහරණයක් ලෙස කියනවා නම් කෘෂිකර්මාන්තය සමග වාරිමාර්ග හා ජල කළමණාකරණ, ඉඩම් හා ඉඩම් සංවර්ධන, පශ= සම්පත් වැනි දේවල් එකට තිබිය යුතුයි. නමුත් මේ ඇමැති මණ්ඩලයේ මේ විෂයන් වෙන් වෙන්වයි ඇත්තේ.
දිගු කළක් මහවැලිය කෘෂිකර්මාන්තයට අයත් විෂයක් වී තිබුණා. නමුත් මෙවර මහවැලිය කාට අයත් දැයි දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති නිමල් සිරිපාල ඇමැතිතුමාට මෙවර වාරි මාර්ග හා ජල කළමණාකරණ ඇමැතිකම දීලා ඒ නිසා මේ ඇමැති මණ්ඩලයෙන් ආසියාවේ ආශ්චර්ය ශ්‍රී ලංකාව කරන්නේ කොහොමද කියන එක හිතා ගත හැකියි
ඇමැති මණ්ඩලය පත්කිරීමේදීත් කචල්. ජාතික නිදහස් පෙරමුණේ නායකයා සන්ධානේ ලේකම්ට බරපතල විදිහට පසුගියදා දෝෂාරෝපණය කළා. ජාතික ලැයිස්තුව ගැන. ඔහු සුසිල් ප්‍රේමජයන්තට චෝදනා කළේ ජනාධිපතිට බනින්න කොන්දක් නැති නිසා. අපි දන්න විදිහට සුසිල් ප්‍රේමජයන්ත මහතා කරන්නේ ලියුමට අත්සන් කරන එක විතරයි. ලියුම් ගහන්නේ ඉහළ තැනකින්. ඒත් එක් මාධ්‍යවේදියෙකු අහලා තිබුණා ජනාධිපතිට මේ ගැන කිව්වේ නැද්ද කියලා. ඔහු කියලා තිබුණා දවසක්ම කථා කරලත් දුරකථනයට සම්බන්ධ කරගන්න බැරි වුණා කියලා. හැබැයි ඡන්ද කාලේ කටවුට් ගැහුවේ කන්නේ බොන්නෙත් එකට කියලා.
මේ ආණ්ඩුව අය වැයක් ඉදිරිපත් කිරීමත් මග හැරලා. නැවත අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවට අලූත් වැඩ පිළිවෙලක් නැති බව පැහැදිලියි.

සමුගන්න ගිය හිටපු ඇමැතිට zහූ..ඌ..ඌ..ඌ..Z

(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 24, ප.ව.5.15) හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා ඔහු යටතේ සේවය කළ විදේශ අමාත්‍යංශයේ සේවකයින්ගෙන් සමුගැනීමට ඊයේ (23) අමාත්‍යංශයට ගොස් වාහනයෙන් බසිද්දී සේවක පිරිසක් විසින් zහූZ කියා තිබේ.
zහූZ හ~ මැද අමාත්‍යංශයට ගිය ඇමැතිවරයා හමු වූ එක් සේවිකාවක් මම වසර තුනක් ඔබ තුමා හමුවන්න උත්සාහ කළා. නමුත් සමුගන්න ආව අද තමයි මට ඔබ හමුවන්න ලැබුණේයි ප්‍රකාශ කර ඇත.
හිටපු ඇමැතිවරයා තමාට දුන් සහයට සේවක පිරිස්වලට තුති පුද, සමුගෙන සුළු වේලාවකින් නික්ම ගොස් තිබේ.

ජවිපෙන් රනිල්ට චෝදනා


විපක්ෂයේ කාර්ය භාරය ඉටුකිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
රාජපක්ෂ පවුල් පාලනය විවේචනයට ලක් කළ ප්‍රධාන විපක්ෂය, කථානායකවරයා තෝරා ගැනීමේ දී ඊට සහය පල කිරීම අනුමත කළ නොහැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ප්‍රබල විපක්ෂයක් අත්‍යවශ්‍ය බව ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. අද කොළඹ පැවති මාධ්‍යය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය. adaderana

සුසිල් මල්වතු, අස්ගිරි නා හිමිවරු බැහැදකී


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම‍හලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදුටුවේය. සන්ධාන මහලේකම්වරයා පළමුව මල්වතු මහනායක හිමි අති පුජ්‍ය තිත්බටු‍වාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව අස්ගිරි මහවිහාරය වෙත ගිය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් බැහැ දුටුවේය. මහනායක හිමිවරුන් මෙහිදි ආණ්ඩුවේ අනාගත වැඩපිළිවෙලට ආශිර්වාදය පළ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.adaderana

මාදම්පේ පොලීසිය ඉදිරිපිට උද‍්ඝෝෂණයක්


මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ඉවත් කරන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් අද ‍උද‍්ඝෝෂණයක නිරත විය. ඒ මාදම්පේ පොලිස් ස්ථානය ඉදිරිපිටදීය. පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිලි භාර ගැනීම සහ පැමිණිලි විභාග කිරීම සම්බන්ධයෙන් සාධාරණ ලෙස කටයුතු නොකරන බව උද්ඝෝෂකයන් සඳහන් කළෝය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද පොලිස් ස්ථානාධිපතිවරයා උනන්දුවක් නොදක්වන බවට උද්ඝෝෂකයන් මෙහිදි චෝදනා කළෝය. මේ‍ හේතුවෙන් මාදම්පේ ප්‍රදේශය මැරයින්ගේ රාජධානියක් වී ඇති බව උද්ඝෝෂකයින් පෙන්වාදෙති.
උද්ඝෝෂකයන් දැඩි කළහාකාරී ස්වරූපයකින් හැසිරුනු බවද අද දෙරණ වාර්තාකරු කියා සිටියේය. මේ අතර නියෝජ්‍ය කථානායක ප්‍රියංකර ජයරත්න මහතා සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගත් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. adaderana

මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරකිනවා -මර්වින්


මෙරට සියලු මාධ්‍යවේදීන්ගේ අයිතිය තමා සුරකින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. මාධ්‍ය කටයුතු කරගෙන යාමට සියලු මාධ්‍යවේදීන්ට මෙරට තුළ නිදහසක් තිබිය යුතු බව ඔහු සඳහන් කරයි.
හැඳල බලගල අශෝකාරාමයේ තෙමහල්‍ ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙරට සදාචාරාත්මක මාධ්‍යයක් බිහිකිරීම තමාගේ බලාපොරොත්තුව වන අතර ඒ සඳහා සියලු මාධ්‍යය ආයතනවල සහය අපේක්ෂා කරන බව ද මර්වින් සිල්වා අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

අනාගතය වෙනුවෙන් නිවැරදි ජල කළමනාකරණයක්


අභියෝග රැසක් තම අමාත්‍යාංශය යටතට පැවරී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් රට තුළ නිවැරදි වාරිමාර්ග පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වාදෙයි.
ඊයේ පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් හමුවීමෙන් පසුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය. අනාගතය පිළිබඳ සිතා නිවැරදි ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් මෙරට තුළ ස්ථාපිත කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

ආහාර විෂ වී 14ක් රෝහලේ


මඩකලපුව, එරාවූර් ප්‍ර‍දේශයේ ආහාර විෂ වීමක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු රෝහල් ගත කර තිබේ. එරාවූර් ප්‍රදේශයේ ඥාතී නිවසක පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව මෙසේ රෝගාතුර වී ඇති බව වාර්තා වේ. රෝගාතුර වූ පුද්ගලයින් අතර ළමුන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්ය.
ඔවුන් සියලු දෙනාම මේ වන විට එරාවූර් රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙම රෝගීන්ට උදරාබාධය, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ පවතින බව ‍රෝහල් ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

බන්දුලගෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්තියක්


වර්තමානයට ගැලපෙන නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තු විද්වත් තේරීම් කාරක සභාවක් පිහිටුවා පොදු එකඟතාවයක් සහිතව එම ප්‍රතිපත්ති සකස් කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඊයේ පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හමු වූ අවස්ථාවේ දී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
දරුවන් පාසැල් වලට ඇතුළත් කිරීම, විභාග ගැටලු, ගුරු ප්‍රශ්න ඇතුළු ගැටලු රැසක් මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය පුරා උද්ගත වී ඇති බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම මගින් ‍මෙම සියලු ගැටලු වලට විසඳුම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා‍ දුන්නේය. adaderana

බස් රථ වල සිඟමන් තහනමට සහය පතයි


පෞද්ගලික බස් රථ තුළ සිඟමන් යැදීම සහ වෙළඳාම් කටයුතු නතර කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පොලිසියෙන් ඉල්ලීමක් කරයි. මැයි මස 01 වැනි දින සියලු පෞද්ගලික බස් රථ තුළ සිඟමන් යැදීම සහ වෙළඳාම් කටයුතු තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කළේය.
ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇතත්, මෙතෙක් ඒ සඳහා පිළිතුරක් ‍ලැබී නොමැති බව බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. කෙසේ හෝ තම බස් හිමියන්ගේ සංගමය ගත් තීරණය මැයි පළමු වැනි දින සිට අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

ආරාධනාවක් ලැබුනොත් සලකා බලනවා


ආරාධනාවක් ලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ රජය සමග එක්වීම පිළිබඳව සලකා බලන බව එම පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය සෙනසුරාදා සාකච්ඡාවක් පැවැත්වූ බව ද ඒ මහතා සඳහන් කරයි. මනෝ ගනේෂන් මහතා පවසන පරිදි ඔහු මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්නොවීම පිළිබඳව ජනාධිපතිවරයා මවිතයට පත්වී ඇත.
මනෝ ගනේෂන් මහතා මෙවර මහ මැතිවරණයට තරග කළේ මධ්‍යම පළාතෙනි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේය. නමුත් ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් ලබාගත නොහැකි විය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් ද ගනේෂන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්නොවීය. ඔහු දමිළ ජනතාවකගේ මානව හිමිකම් පිළිබඳව ගෙනයන ක්‍රියා මාර්ගයන් වෙනුවෙන් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින පුද්ගලයෙකි. adaderana

ඩෙංගු මරණ 75 දක්වා ඉහළට


මේ වසරේ ගත වූ මාස 4 තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රේල් මස 23 දින වන විට දිවයින පුරා ඩෙංගු රෝගය වැළඳුනු පුද්ගලයින් 12 , 473 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා පෙන්වා දෙයි.
ඉන් වැඩිම පිරිසක් කොළඹ, ගම්පහ සහ යාපනය යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මේ වසරේ ඩෙංගු රෝගය වැළඳීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් ජනවාරි මාසය තුළ වාර්තා වී ඇති අතර එය 47 කි. අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. adaderana

කොරියානු රැකියා සඳහා පුහුණු වැඩමුළු


නව කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස් මේ වන විට පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වී සිටියි. කණ්ඩායම් 4 ක් ය‍ටතේ එම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
ඒ සඳහා සුදුසුකම් ලැබූ තරුණයින් දහසකට ආසන්න පිරිසක් අතුරුගිරියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ දී පුහුණු වීම් වල නිරත වී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. මේ වසරේ ප්‍රථම වරට කොරියානු රැකියා ගිවිසුම් ශ්‍රී ලංකාවට හිමි වූයේ අප්‍රේල් මාසය තුළය.
කොරියාවේ පැවති ආර්ථික අවපාතය හේතුවෙන් විදේශ රටවල් සඳහා රැකියා ලබා දීම කොරියානු රජය තාවකාලිකව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට නතර කර තිබුණි. ඉදිරි මාසය තුළ තවත් කොරියානු රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවට තමා බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.adaearana

අතරමං වූ ධිවර පිරිස ඉන්දීය ධීවරයින් බේරාගනී


ඉන්දීය මුහුදු සීමාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන තිබේ.
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස රැගත් ධීවර යාත්‍රාව ඉන්දීය මුහුදු සීමාවේ දී අනතුරට පත් ව තිබිය දී ඉන්දීය ධීවරයින් විසින් එම ධීවරයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන ඇති බව වාර්තා වේ. ඉන්දීය නාගපට්ටනම් මුහුදු සීමාවේ දී මෙම ධීවරයින් රැගත් යාත්‍රාව අනතුරට පත් ව ඇත. ඉන්දීය ධීවරයින් විසින් බේරා ගනු ලැබූ මෙම ශ්‍රී ලාංකීක ධීවරයින් තිදෙනා පොලිසියට භාර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

අකුරට වැඩ අවසන්


දුම්රිය තාක්ෂණ ශිල්පීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නතර කර තිබේ.
නව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය පවසයි. පසුගිය 29 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි. adaderana

ඩ්‍රීම් ස්ටාර් කිරුළ උපේඛාට


මෙරට රියලිටි කරළිය තුළ විශාල පෙරළියක් සිදු කළ දෙරණ ඩ්‍රීම් ස්ටාර් දෙවන අදියරේ ජයග්‍රහණය හිමි කර ගැනීමට උපේඛා නිර්මාණි ඊයේ සමත් විය.
උපේකා නිර්මාණි, උදේශ් මනෝජ් සහ නිමේෂ් චාමික ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මෙම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණි. එම තරගය නැරඹීම සඳහා අති විශාල ප්‍රේක්ෂක ජනතාවක් ද එක් වී සිටියහ.
එහි දී වැඩිම එස්.එම්.එස් මනාප ලබා ගනිමින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 02 කිරුළ හිමි කර ගැනීමට උපේඛා නිර්මාණි ට හැකි විය. දෙවන ස්ථානය උදේශ් මනෝජ් හිමි කර ගත් අතර තෙවන ස්ථානය නිමේෂ් චාමික හිමි කර ගත්තේය. ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමි කර ගත් උපේඛා නිර්මාණි ට "අද දෙරණ " උණුසුම් සුභ පැතුම්. adaderana