Tuesday, June 22, 2010

අපි වවමු රට නගමු යටතේ කෘෂි ක්‍ෂේත්‍රය කඩා වැටෙනවා -විජිත


"අපි වවමු රට නගමු"සංකල්පය යටතේ රජය කෘෂි ක්ෂේත්‍රය නඟා සිටුවන බව ප්‍රකාශ කළ ද සැබවින්ම සිදුව ඇත්තේ කෘෂි ක්ෂේත්‍ර‍ය කඩා වැටීම බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි. මහ බැංකු වාර්තා අනුව තේ, පොල්, වී යන වගාවන්ගේ කඩා වැටීමක් දක්නට ලැබෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එසේම රටේ නොපියවු රාජ්‍ය ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ද විජිත හේරත් මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ද මේ වන විට ඉහළ යමින් පවතින බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

රංගේ ජනපති හමුවෙයි,ආණ්ඩුව 2/3 ට ළංවෙයි..?


පුත්තලම දිස්ත්‍රීක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිය බිරිඳ සහ දරු දෙදෙනා කැටුව ගොස් ජනාධිපතිවරයා බැහැදුටු බවත්,එහිදී මැර ප්‍රහාරයකට ලක්ව තමන් රෝහල් ගතවී සිටියදී ජනාධිපතිවරයා දැක්වූ සහයට ස්තූති කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. පාලිත රංගේ බණ්ඩාර මහතා හා ජනපති හමුව ඔහුගේ දේශපාලන දිවියේ වෙනසකට මං පාදනු ඇතැයි දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

ආසන 144 ක බලයක් සහිතව පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා 2/3 ක බලයක් අවශ්‍යව තිබුණු අතර ,අබ්දුල් කාදර් මන්ත්‍රීවරයාගේ ආගමනයත් සමග ආණ්ඩු පක්ෂයේ ආසන සංඛ්‍යාව 145 ක් විය. 2/3 ක බලයක් ලබා ගැනීමට මන්ත්‍රීධූර 150 ක් සම්පූර්ණ විය යුතුව තිබේ.පාලිත රංගේ බණ්ඩාර මහතාද ආණ්ඩුවට එක්වුවහොත් 2/3 ක බලය සඳහා අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීධූර 4 ක් පමණි. adaderana

පිටි මිල ඉහළට-පාන් මිල වෙනස හෙට


තිරිඟු පිටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් දහයයි ශත පනහකින් ඉහළ නංවන බව ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම තමන් වෙත දැනුම් දී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. adaderana

ලෝක වෙළඳපොළේ සහන ජනතාවට නොදෙන්නේ ඇයි? -අත්තනායක


ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල පහළ යන විට එම සහනය ජනතාව වෙත ලබාදීමට රජය කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි. ලෝක වෙළඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ද ඉහළ නැංවීමට රජය කටයුතු කළ ද සීනි, බොරතෙල් වැනි භාණ්ඩ වල මිල ලෝක වෙළඳපොළේ පහළ ගොස් ඇති අවස්ථාවක එම සහන ජනතාවට ලබා‍ දී නොමැති බව අත්තනායක මහතා පෙන්වාදෙයි. අයවැයෙන් ද සහන බලාපොරොත්තු විය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම රජයේ මතට තිත වැඩපිළිවෙල මේ වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බවත්, රජයේ සුරාබදු ආදායම පසුගිය වසර දෙක තුළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේය. මෙසේ සුරාබදු ආදායම ඉහළ යාම තුළින් පෙන්නුම් කරන්නේ ජනතාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නොවේද යන්න ඔහු ප්‍රශ්න කරයි.

විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහලේකම්වරයා මේ අදහස් පළ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව වයස අවුරුදු 15 සහ 64 අතර ජනතාවගෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයින් සංඛ්‍යාව 24%කින් ඉහළ ගොස් ඇති බව තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි. මේ අනුව රජයේ මතට තිත වැඩපිළිවෙලේ අසාර්ථක භාවය මනාව පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය. adaderana

කොළඹ මහ නගර සභාව විසුරුවා හැරේ


කොළඹ මහ නගර සභාව අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ක්‍රියා කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහ නගර සභාවට එල්ල වී ඇති දූෂණ චෝදනා සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාවේ යොදමින් මහ නගර සභාව විසුරුවා හැරීමට තීරණය කළ බව හෙතෙම කියා සිටියි.

පසුගිය කාලය තුළ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ද පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවත්,එම වාර්තාවට අනුව ඇතැම් නාගරික මන්ත්‍රීවරුගේ ක්‍රියාපටිපාටිය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් පවතින බවත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.

කොළඹ මහ නගර සභාව සඳහා සභිකයින් පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

අසමත් ශ්‍රී ලංකාව 22 න් 25 ට පනී


ලොව අසමත්ම රටවල් අතරින් 25 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබේ. 2009 වස‍රේ දී ශ්‍රී ලංකාව ලොව අසමත් රටවල් අතර 22 වැනි ස්ථානයට පත්ව තිබුණි. පසුගිය වසරට සාපේක්ෂව මෙම තත්ත්වය ප්‍රගතියක් බව අමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සඟරාව මීට අදාළව සිදුකළ සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත.

මෙවර සමීක්ෂණයට අනුව ලොව රටවල් අතර වඩාත් සාර්ථකම සහ හිතකරම රට බවට නෝර්වේ රාජ්‍යය පත්ව ඇත. සෝමාලියාව‍ ලොව අසමත්ම රට බවට පත්ව තිබේ. ආර්ථික හා සමාජයීය දර්ශක පදනම් කරගනිමින් මෙම සමීක්ෂණය සිදුකළ බව අමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සඟරාව පවසයි.adaderana

සීගිරි පර්වත මුදුනේ උපවාසයක්


ඓතිහාසික සීගිරිය පර්වතය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලකරමින් පුද්ගලයින් තිදෙනෙකු සීගිරිය පර්වත මුදුනේ උපවාසයක් ආරම්භ කර තිබේ..

සීගිරියට සිදුවන හානිය වැළැක්වීම, එහි වැසිකිළි පද්ධතිය හා ආපනශාලාව ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ දැනට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සීගිරිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටත‍ට පවරාගන්න‍ා‍ ලෙස උපවාසකරුවන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

මෙම මාරාන්තික උපවාසය සඳහා සහභාගී වී සිටින පුද්ගලයින් තිදෙ‍නාගෙන් දෙදෙනකු සීගිරි සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

තම ඉල්ලීම් ඉටුවනතුරු උපවාසය අත්නොහරින බව උපවාසකරුවන් තරයේ ප්‍රකාශ කරන බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

ලිඛිතව එකඟ වුනොත් ජී.එස්.පී. තවත් මාස 6කට


ජී.එස්.පී. ප්ලස් බදු සහනය තවත් කෙටි කාලයක් සඳහා ලබාදීමට ශ්‍රී ලංකා රජය වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි යුරෝපා සංගමය පවසයි. ඒ අනුව අදාළ කොන්දේසි සඳහා එකඟතාව පළ කරමින් ශ්‍රී ලංකා රජය ලිඛිතව ඒ බව යුරෝපා සංගමය වෙත දැනුම් දීම අවශ්‍ය බව එම සංගමය සඳහන් කර ඇත.

අදාළ එකඟතාව ලබාදෙන්නේ නම් ජූලි මාසයේ සිට තවත් මාස 6 ක කාලයකට ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට හිමිවන බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඉදිරිපත් කරන ලද කොන්දේසි අතරට මානව හිමිකම් සම්බන්ධ‍ කරුණු කිහිපයක් ද ඇතුළත් බව වාර්තා වේ. කෙසේවෙතත් එම කරුණු සම්බන්ධ රජයේ ලිඛිත එකඟතාව අත්‍යවශ්‍ය බව යුරෝපා සංගමය අවධාරණය කරයි. adaderana

අද සිට 28 දක්වා පොසොන් සතියක්


පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු යොදා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පවසයි. අද දිනයේ සිට ලබන 28 වැනිදා දක්වා පොසොන් සතිය ප්‍රකාශයට පත්කර ඇති බව ඔහු සඳහන් කරයි. ඊයේ පස්වරුවේ පොසොන් උත්සව සංවිධායක කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් පළ කළේය.

පොසොන් සම‍ෙය් අනුරාධපුරයට, මිහින්තලයට සහ තන්තිරිමලයට පැමිණෙන වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පානීය ජලය, ආහාර, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා ප්‍රකාශ කළේය. වන්දනාකරුවන්ට අවශ්‍ය විශේෂ බස් හා දුම්රිය සේවාවන් මෙන්ම රථවාහන නැවැත්වීම සඳහා රථගාල් ද සකස් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

වරාය වැඩබිමේ හදිසි අනතුරකින් එක් අයෙක් මියයයි


හම්බන්තොට, නව වරාය වැඩබිමේ දී ටිපර් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරුවේ වරාය භූමියේ සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු මෙසේ අනතුරට ලක්වූ බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුපිටිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගල‍යෙක් බව පොලිසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

අත්බෝම්බයක් සමග අයෙක් අත්අඩංගුවට


විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු හංවැල්ල, නීරපොල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල පොලිසිය සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු බකමූණ ප්‍රදේශයේ දී ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිසිය පවසයි. adaderana

අවසර නැතිව ඉදිකිරීම් තහනම්


නායයෑම් සිදුවන බවට හඳුනාගත් ප්‍රදේශවල ඉදිකිරීම් කටයුත්තක් හෝ සංවර්ධන කටයුත්තක් සිදුකිරීමේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරය ලබාගැනීම අනිවාර්ය කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය කාලය තුළ සිදුවූ නායයෑම් විශාල සංඛ්‍යාවකට හේතුව අනවසර ඉදිකිරීම් බව අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා පෙන්වා දෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශ මේ වන විට සිතියම් ගතකර ඇති අතර ඒ පිළිබඳව පළාත් පාලන ආයතන ද දැනුවත් කර ඇති බව වාර්තා වේ. ඉදිරියේ දී එවැනි ස්ථානයක යම් ඉදිකිරීම් කටයුත්තක් සිදුකරන්නේ නම් ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණායතනයේ අවසරය අනිවාර්ය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇති බව බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. adaderana

අවසර නැතිව දුවන බස් ගැන ආරංචියක්


මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය වන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසයි. මෙම බස්රථ වැඩි වශයෙන් රාත්‍රී කාලයේ ධාවනය වන බව වාර්තා වේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාව ‍හේතුවෙන් බස්රථ ධාවනයේ දී ගැටලු රැසක් පැන නැගී ඇති බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ධාවන අධ්‍යක්ෂ එච්. ඩබ්ලිව්. විමලසේන මහතා සඳහන් කළේය. එම නිසා බලපත්‍ර ‍නොමැතිව ධාවනය වන එවැනි බස්රථ වැටලීම සඳහ‍ා ‍විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා ඇති බව විමලසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

මලයාසියාවේ අතරමංව සිටින ශ්‍රමිකයින් යළි ගෙන්වීමට පියවර


විදේශ රැකියාවලට ගොස් මලයාසියාවේ අතරමංව සිටින මෙරට ශ්‍රමිකයින් 17 දෙනෙකු යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම පිරිස මේ වන විට මලයාසියාවේ ශ්‍රී ලංකා‍ තානාපති කාර්යාල භාරයේ සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මොවුන්ගෙන් 11 දෙනෙකුම සංචාරක වීසා ලබාගනිමින් මලයාසියාව බලා ‍පිටත්ව ගොස් තිබේ.

පසුගිය කාලයේ මේ ආකාරයට සංචාරක වීසා ලබාගනිමින් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය බොහෝ පිරිසක් අතරමංව සිටින බව ‍විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය. ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන සංචාරක වීසා ලබාදෙමින් පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක් සිදුවන බව සභාපතිවරයා පවසයි. එම නිසා එවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර සිටියි. adaderana

ආදායමෙන් 35%ක් මත්පැනට


මෙරට අඩු ආදායම් ලබන පවුල්වල ආදායමෙන් 35% ක මුදලක් මධ්‍යසාර පානය සඳහා වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

පසුගිය වස‍රේ සිදුකළ මෙම සමීක්ෂණයේ දී අවුරුදු 15 සිට 64 දක්වා වයස් කාණ්ඩවල පිරිමි පුද්ගලයින් අතරින් 26% ක්ම මධ්‍යසාර භාවිතයට හුරු වී ඇති බව හෙළි වී තිබේ. ස්ත්‍රී පාර්ශවයෙන් 1 .2%ක් මධ්‍යසාර භාවිතයට හුරු වී ඇති බව එම වාර්තාව පෙන්වාදෙයි. මෙය පසුගිය වසරවලට සාපේක්ෂව වැඩිවීමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය ගැටලු පමණක් නොව සමාජ හා ආර්ථික ගැටලු රැසක් උද්ගත වී ඇති බව එම අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා"ජාතික මානසික සෞඛ්‍ය සංසදය"අද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස්වීමට නියමිතය. මෙවර මෙහි තේමාව වනුයේ"මධ්‍යසාර භාවිතය මර්දනය කරමු" යන්නය. adaderana

කිරි නිපැයුම නංවන්නැයි ජනපතිගෙන් උපදෙස්


දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස පශු සම්පත් අමාත්‍යාංශයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ. ජාත්‍යන්තරයේ උච්චාවචනය වන කිරිපිටි මිල හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති දේශීය පාරිභෝගිකයා රැකගැනීම මෙමගින් හැකිවන බව ඔහු පවසයි. පශු සම්පත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

දැනට දේශීය කිරිපිටි අවශ්‍යතාවයෙන් 75% කට ආසන්න ප්‍රමාණයක් පිටරටවලින් ආනයනය කරනු ලබන අතර ජාත්‍යන්තර සමාගම් විටින් විට කිරිපිටි මිල ඉහළ දැමීම දේශීය පාරිභෝගිකයාට අහිතකර ලෙස බලපාන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. එම නිසා මෙටර ජනතාව දියර කිරි පරිභෝජනයට නැඹුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන‍ ලෙසත් කිරි ගොවියා දිරිගැන්වීම සඳහා දියර කිරි ලීටරයක මිල අවම වශයෙන් 6% කින් වැඩි කිරීමට පියවර ගන්න‍ා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පශු සම්පත් අමාත්‍යාංශයේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ ක‍ළේය. adaderana