Sunday, June 13, 2010

විධි විධාන වලින් පෙනෙන්නෙ රජයේ ඒකාධිපතීත්වයයි


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වු යෝජනා, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන එන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කරයි. වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාවට පොරොන්දු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අවස්ථා දෙකකට වැඩි ගණනක් එකම පුද්ගලයෙකුට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඒමට උත්සාහ කිරීමෙන් රජයේ ඒකාධිපතීත්වය පිළිබිඹු වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේය. adaderana

බැංකු කළමනාකරු මුදල් ගෙන පැනයයි


මඩකළපුව ප්‍රදේශයේ පුද්ගලයන්ගේ මුදල් තැන්පත් කළ ආයතනයක කළමනාකරු ඇතුළු නිලධාරීන් එම මුදල් වංචා කර පලා ගොස් ඇතැයි වාර්තා වේ. මඩකළපුව සෙල්වනායගම් වීදියේ පවත්වාගෙන ගිය මෙම ආයතනයේ පුද්ගලයන් 60 දෙනෙකු පමණ මුදල් ආයෝජනය කර තිබේ.

රුපියල් 5,000 ක් ගෙවා සමාජිකත්වය ලැබීමෙන් පසු අදාළ ආයතනයේ මුදල් තැන්පත් කළ හැකි අතර රුපියල් 25,000 සිට ලක්ෂය දක්වා ඇතැම් පුද්ගලයන් එහි මුදල් තැන්පත් කර තිබු බව වාර්තා වේ. තම මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති අතර මඩකලපුව පොලිසිය වැ‍ඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.adaderana

දේශපාලනඥයෝ 20% ක් වත් ජනතාව ගැන හිතන්නේ නෑ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් රටට වැඩදායි තත්ත්වයක් උදා වන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත නාහිමියන් පවසයි. පැරණි ර‍ජදවස රජවරුන් ජිවිතාන්තය දක්වාම රට පාලනය කරමින් රට සංවර්ධනය කළ බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ඊයේ පස්වරුවේ එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා බුද්ධ රක්ඛිත මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ අදහස් පළ කළේය. රටේ සිටින දේශපාලනඥයින්ගෙන් 20% ක් වත් රටේ ජනතාව ගැන සිතා කටයුතු නොකරන බව බුද්ධ රක්ඛිත මහ නාහිමියන් මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

පුද්ගල ඝාතනයකට දෙදෙනෙක් අත්අඩංගුවට


ස්වයංක්‍රීය පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට සැකපිට කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ පෙබරවාරි 08 වන දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කුරුවිට පොලීසිය මොවුන් දෙදෙනා පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඝාතනය සිදුකර ඇති බව කියන පිස්තෝලය ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය අද දින ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. adaderana

අගමැතිකමේ ශක්තියෙන් ජනතාවට සේවය කරනවා


අගමැතිධූරයේ ශක්තිය යොදාගෙන ජනතාවට සේවය කිරීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා පවසයි. අගමැති තනතුරේ අයිතිය ඇත්තේ ජනතාවට බව ඔහු පෙන්වාදෙයි.

ඊයේ පස්වරුවේ මහනුවර දංගොල්ල ශ්‍රී තිස්සාරාම විහාරස්ථානයේ අ‍ටවිසි බුද්ධ ප්‍රතිමා බෝධි ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා මේ බව සඳහන් කළේය. දේශපාලන ජාති ආගම් භේද වලින් තොරව සැමදෙනාටම එකලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

මහනුවර රිය අනතුරකින් 10කට තුවාලයි


මහනුවර -මහියංගන ප්‍රධාන මාර්ගයේ 35 වන කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඊයේ රාත්‍රී 11 ට පමණ කොළඹ සිට මහියංගනය බලා ධාවනය වූ වෑන් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු මහියංගනය රෝහලේ ද උඩුදුම්බර හා හසලක රෝහල් වල පුද්ගලයින් තිදෙනෙකු බැගින් ද ප්‍රතිකාර ලබන බව උඩුදුම්බර පොලීසිය සඳහන් කළේය. මෙම අනතුර සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

ගෙවල් බිඳින හොරෙක් අල්ලයි


ගෙවල් බිඳීම්, දේපල සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු මාතලේ විල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය, පාදුක්ක, හංවැල්ල යන ප්‍රදේශවල අපරාධ රැසකට සම්බන්ධ බව පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. සැකකරු සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත රිවොල්වරයක් සහ එම උණ්ඩ 09ක් සොයා ගෙන ඇති බව සඳහන්ය. ‍ adaderana

රට යන ඇත්තන් වැඩිවෙයි


පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ විදේශ ගතවන ශ්‍රමික සංඛ්‍යාව 22%කින් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ වසරේ ජනවාරි මාසයේ සි‍ට මාර්තු මාසය දක්වා වන කාර්තුව තුළ පුද්ගලයින් 67, 310 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි වර්ධනයක් අත්කර ගැනීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්. කේ. රුහුණගේ මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම මැද පෙරදිග රටවලට මේ වසරේ වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් පිටත්ව ගොස් ඇති බව රුහුණගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

සුඛෝපභෝගී දුම්රිය සේවය තවදුරටත්


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ධාවනය ආරම්භ කළ සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය අඛණ්ඩව දිනපතා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය දිනකට ගමන් වාර 5 ක් හෝ 6ක් සිදුකරන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපළ සඳහා ගමන් කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂයෙන් රාත්‍රී කාලයේ වැඩි ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

අර්තාපල් ආනයනයට වැට බැ‍ඳෙයි


අර්තාපල් ආනයනය තහනම් කිරීමට හෝ ආනයන බදු වැඩිකිරීමට කඩිනමින් කටයුතු කරන බව වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අර්තාපල් වගාකරන ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බදුල්ල, වැලිමඩ ප්‍රදේශයේ උමා ඇළ ව්‍යාපෘතියේ පිළිසකර කිරීමේ පළමු අදියර නිමකිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.adaderana

ධීවරයින් 5දෙනෙක් ඉන්දියාවේදී බේරාගැනේ


සන්නිවේදන සම්බන්ධතා ගිලිහී තිබූ ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ. චෙන්නායිහි ශ්‍රී ලාංකික නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී මෙම ධීවර යාත්‍රාව බේරාගෙන ඇති බව වාර්තා වේ.

පර්ල් ඉෂාරා ලෙස හැඳින්වෙන මෙම යාත්‍රාව මාතර දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය මැයි 06 වනදා ධීවර කටයුතු සඳහා පිටතුව ගොස් ඇත. මැයි 23 වනදා සිට එම යාත්‍රාව සමග තිබූ සියලුම සන්නිවේදන සබඳතා ගිලිහී ගොස් තිබූ බව වාර්තා වේ. ඒ අනුව මෙම යාත්‍රාව සොයාදෙන ලෙස ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. පසුව නැව් සහ ගුවන් යානා උපයෝගී කර ගනිමින් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් සිදුකළ අතර සාගර නම් නෞකාවට මෙම යාත්‍රාව සොයා ගැනීමට හැකිවී තිබේ. එසේ බේරාගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් රැගත් යාත්‍රාව විශාඛාපට්නමන්ඩ් වරායෙන් ඉන්දියාවට ගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

හිටපු එල්. ටී. ටී. ඊ සාමාජික යුවල් 53ක විවාහ මංගල්‍යයක්


එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය කරන ලද මනාල මනාලියන් යුවල 53ක් නීත්‍යානුකූලව විවාහ කරවීම අද සිදුකෙරේ. පොම්පේමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මෙම විවාහ උත්සවය පවත්වන බව පුනරුත්ථාපන කාර්යාංශය භාර බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය. adaderana

අනතුර ඉවත්ව යයි


මේ වනවිට ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 1. 05ට පමණ ඉන්දියන් සාගරයේ නිකොබාර් දූපත් ආසන්නයේ භූ චලනයක් වාර්තා විය. එය රික්ටර් මාපක ඒකක 7. 5ක අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම භූ කම්පනය ඇතිවීමත් සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කළේය.

පසුව එම අනතුරු ඇගවීම ඉවත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉදිකැටිය හේවගේ මහත්මිය සඳහන් කළාය. මෙම සිදුවූ භූ කම්පනය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇත. විනාඩියක පමණ කාලයක් මෙම භූ කම්පනය පැවති බව වාර්තා වේ. adaderana

ප්‍රතිසංවිධාන යෝජනා දින 10 කින්


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනාවලිය ඉදිරි දින 10 ඇතුළත සකස් කර අවසන් වනු ඇති බව බලාපොරොත්තු වන බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා පවසයි. සාර්ථක යෝජනාවලියක් සකස් කිරීම සඳහා යම් කාලයක් ගතවන බව සභාපතිවරයා පෙන්වාදෙයි. adaderana