Sunday, April 18, 2010

නාවලපිටියේ ප්‍රචණ්ඩත්වය උග්‍රයි


නාවලපිටිය ප්‍රදේශය ප්‍රජාතන්ත්‍රවාදය නොමැති ප්‍රචණ්ඩත්වයෙන් බහුල ප්‍රදේශයක් බවට පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ වන විට එම ප්‍රදේශයේ ඡන්ද දායකයකුට නිදහසේ ඡන්දය ප්‍රකාශ කළ නොහැති වාතාවරණයක් උද්ගත වී ඇති බව ඔහු කියා සිටියි.
නිදහසේ දේශපාලනය කිරීමට ඇති අයිතිය අහෝසි කර ඇති ප්‍රදේශයක් බවට නාවලපිටිය පත් කර ඇති බව දයාසිරි‍ ජයසේකර මහතා පෙන්වා‍ දෙයි.
මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ මනාප පොරයේ ප්‍රතිඵලයක් ලෙස බව ද හෙතෙම කියා සිටියි.
නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.adaderana

නාවලපිටියේ ආරක්ෂාවට 2000 ක්


නාවලපිටිය සහ ත්‍රිකුණාමලයේ කුඹුරුපිටිය ප්‍රදේශවල මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සියලු පියවර‍ ගෙන ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පවසයි..
අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණය පැවැත්වීමට නියමිත ප්‍රදේශවල සියලු මැතිවරණ ප්‍රචාරක පුවරු හා කටවුට් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියි.
නාවලපිටිය සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 2000ක පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
නාවලපිටිය ප්‍රදේශයට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් හා යුධ හමුදා සාමාජිකයින් පිරිසක් ද අනුයුක්ත කොට ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

මීළඟ ඉලක්කය සංවර්ධනයයි


පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන්ගේ මීළඟ ඉලක්කය විය යුත්තේ රටේ සංවර්ධන ක්‍රියාවලිය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවට තේරී පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සඳහා අද පෙරවරුවේ පැවති වැඩමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රටේ ජනතාවගේ හදවත් තුළ ඇති සංවර්ධන අපේක්ෂා මල්ඵල ගැන්වීමට තේරී පත්වු සියලු මන්ත්‍රීවරුන් කැපවිය යුතු බව ද ඔහු කියා සිටියේය..
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය , ස්ථාවර නියෝග සහ අනෙකුත් කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. adaderana

ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නෑ


රටේ සංවර්ධන යුගයක් ඇති කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මයන්ත දිසානායක මහතා පවසයි. වත්මන් ආණ්ඩුවට නිශ්චිත සංවර්ධන වැඩපිළිවෙළක් නොමැති බවත්, මේ වන විට රට තුළ සංවර්ධනයට අවශ්‍ය ප්‍රමාණවත් මුදල් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.
විදේශ විනිමය ලබා ගැනීමට හෝ විදේශ අයෝජන ගෙන්වා ගැනීමට පැහැදිලි සැලැස්මක්ද ආණ්ඩුවට නොමැති බව මයන්ත දිසානායක මහතා කියා සිටියි.
නුදුරු අනාගතයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා රට නිවැරදි සංවර්ධන මාවතකට යොමු කරන බව නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේය. adaderana

2010 දී පවුල් 20,000 ට නිවාස


මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් 2010 වසරේ දී පවුල් 20,000 කට නිවාස පහසුකම් ලබාදීමට බල‍ාපොරොත්තු වන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය සිව්වසර තුළ පවුල් 91,000 කට නිවාස පහසුකම් සපයා ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී එල්.එස්. පලංසූරිය මහතා සඳහන් කරයි.
මේ සඳහා රුපියල් මිලියන 4,127 ක් වැයකොට ඇති බව ත්,මීට අමතරව ගම නැගුම නිවාස වැඩසටහනට අනුකූලව ද නව නිවාස රැසක් ඉදි කර ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියා සිටියි.
මේ අතර තමාගේම නිවසක් ඉදිකරගැනීමේ ශක්තියක් නොමැති ආර්ථික දුෂ්කරතාවයන් පවතින පවුල් සඳහා නිවාස පහසුකම් සපයා දීමේ අරමුණින් මේ වසරේ සිට"සෙවණ ආධාර නිවාස"වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
එහිදී එක් නිවසකට රුපියල් 50,000 ක උපරිමයක් යටතේ මූල්‍යාධාර ලබාදෙන බව සාමාන්‍යාධිකාරී එල්.එස්. පලන්සූරිය මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව 2010 වසර තුළ දී නගමු පුරවර වැඩසටහනට සමගාමීව මහල් නිවාස 1,500 ක් පිළිසකර කිරීමට ද බලාපොරොත්තු වන බව ද පලන්සූරිය මහතා වැඩිදු‍රටත් සඳහන් කළේය. adaderana

බ්‍රිතාන්‍යයෙන් කෝටි 2 ක ආධාරයක්


උතුරේ නැවත පදිංචි කිරීමේ කටයුතු සහ අවතැන් වූවන්ගේ සුභසාධන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් රුපියල් කෝටි 2 ක ආධාර මුදලක් පිරිනමා තිබේ..
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ආචාර්ය පීටර් හෙන්ස් මහතා පවසන පරිදි මීට පෙ‍ර අවස්ථා කිහිපයකදී ද රුපියල් කෝටි 25 කට ආසන්න ආධාර මුදල් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇත.
මුදල් ආධාරවලට අමතරව අවතැන්වූවන්ගේ ජීවිත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සේවාවන් ද බ්‍රිතාන්‍ය රජය විසින් ලබාගෙන තිබේ.
එම සහයෝගය ඉදිරියටත් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් පීටර් හෙන්ස් මහතා පවසයි.adaderana

සා/පෙ පළමු තැන දේවි බාලිකාවෙන්


2009 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට දේවි බාලිකා විද්‍යාලයේ සචිත්‍රා ශ්‍යාමලී ගුණවර්ධන ශිෂ්‍යාව සමත් ව තිබේ.
දෙවන ස්ථානය අම්බලන්ගෙ‍ාඩ ධර්මාශෝක විද්‍යාලයේ චරිත් විමලරත්න ශිෂ්‍යයා විසින් හිමිකරගෙන ඇති බව විභාග ‍දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ දිනිති රණවීර ශිෂ්‍යාව පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ දිවයි‍ෙනන් තුන්වන ස්ථානය හිමිකරගැනීමට සමත් විය. adaderana

ජාතික ලැයිස්තු සම්ප්‍රදාය ගැන එජාපය කියයි


සම්ප්‍රදායක් ලෙස ජනමතයෙන් තේරී පත් නොවූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීමක් මේ දින වල තමාට අසන්නට ලැබී ඇති බවයි. එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සාකච්ඡා කර නොමැති බව ද සභාපතිවරයා අද දෙරණට ප්‍රකාශ කළේය. adaderana

වයිකෝ උද්ඝෝෂණයකට සැරසේ


එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලබා නොදීමට එරෙහිව උද්ඝෝෂණයක නිරත වීමට එම්.ඩී.එම්.කේ පක්ෂය තීරණය කරයි. එම පක්ෂයේ නායක වයිකෝ පවසන්නේ අප්‍රේල් 22 වැනි දින මෙම උද්ඝෝෂණය හා උපවාසය පවත්වන බවයි. පසුගිය සිකුරාදා වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව වන පාර්වතී ප්‍රතිකාර සඳහා මලයාසියාවේ සිට ඉන්දියාවට පැමිණියේය. එහෙත් ඉන්දීය ආරක්ෂක අංශ ඇයට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලබා නොදුන් අතර වහාම ඇයව මලයාසියාවට පිටත් කර හැරීමට පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසන්නේ ඇයට ඉන්දියාවට ඇතුළුවීමට අවසර ලබානොදීම නීතිවිරෝධී බවයි. ඒ හේතුවෙන් දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක කේ.නැදුමාරන් සමග එක්ව ඉන්දීය රජයට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වන බව ද එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

මුස්ලිම් කොංග්‍රසය සාකච්ඡාවට සූදානම්


ස්ථීර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා ඕනෑම අවස්ථාවක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. දෙමළ සහ මුස්ලිම් ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් සඳහා සැමවිටම තම පක්ෂය එක් වන බව මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා අද දෙරණට ප්‍රකාශ කළේය. adaderana

රත්නපුරට සුළං


රත්නපුර, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයක් හරහා තද සුළං තත්ත්වයක් ඇති වී තිබේ. රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ප්‍රියංකර අ‍ෙබ්රත්න මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම තද සුළං තත්ත්වය ඇති වූ බවයි. සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 10 ක් පමණ හානියට පත් ව ඇති බව ඒ මහතා සඳහන් කළේය. adaderana

විපක්ෂ නායකයා රනිල්


විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ විපක්ෂයේ බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇති පක්ෂයේ නායකයාට බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය. ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් පවත්වන ලෙසට නව සිහළ උරුමය පක්ෂයේ සරත් මනමේන්ද්‍ර මහතා ඊයේ ඉල්ලීමක් කළේය. එවන් රහස් ඡන්දයක් අවශ්‍ය නොවන අතර විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ තීරණයට අනුව විපක්ෂ නායකවරයා තෝරාගන්නා බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

යුද්ධයේ වියදම බිලියන 600කට වැඩියි


යුද්ධය සඳහා පසුගිය වසර 4 ක කාලය තුළ රජය රුපියල් බිලියන 600 කට අධික මුදලක් වැය කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2006 සිට 2009 දක්වා කාලය තුළ පමණක් යුද වියදම රුපියල් බිලියන 605 ක් බව මහ බැංකු වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි. ගුවනායානා, නැව්, යුද ටැංකි ඇතුළු යුද උපකරණ මෙන්ම ආරක්ෂක සෙබළුන්ගේ නිල ඇඳුම්, ආහාර සහ වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් වැය කොට තිබේ.
මේ අතර අමෙරිකාව විසින් ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය මර්දනය සඳහා පසුගිය වසර 4 ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 910 ක් වැය කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකාව වියදම් කළ මුදලින් 0.5% ක් වැනි ඉතා සුළු මුදලක් ශ්‍රී ලංකාව යුද්ධය සඳහා වැය කර ඇති බව විචාරකයින් අවධාරණය කරයි. adaderana

ළමයින් ගැන පැමිණිලි ඉහළ ගිහින්


ළමා භාරකාරත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ශීඝ්‍ර‍ ලෙස ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල වශයෙන් තම කාර්යාංශයට ලැබුණු බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය. ඊට අමතරව ළමයින්ට සිදුවන විවිධ අපයෝජන සම්බන්ධයෙන් ද පැමිණිලි වාර්තා වන බව ඔහු පෙන්වා දුන්නේය.
දෙමව්පියන් අතර ඇතිවන ආරවුල්, ළමා භාරකාරත්වය සම්බන්ධ පැමිණිලි වැඩිවීමට හේතුවී ඇති බව සඳහන්ය. එම පැමිණිලි පිළිබදව සලකා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana