Tuesday, February 23, 2010

ෆොන්සේකා නිදහස් කරන්න බෑ


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරන බව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී වැඩ බලන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇත.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසත්,ඔහුව නිදහස් කරන ලෙසත් ඉල්ලා අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ‍මෙම පෙත්සම ගෙනුකර තිබිණි. සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ නොහැකි වුවද,පවුලේ උදවියට සහ ඔහුගේ නීතිඥයන්ට ඔහුව බලන්නට ඉඩකඩ ලබා දෙන ලෙසද අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.පසුගිය පෙබරවාරි මස 12 වනදින අගවිනිසුරු අශෝක සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා බාරගනු ලැබිණි.එදින මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින සලකා බලන බවට තීන්දු කරන ලද අතර මේ වන විට අගවිනිසුරුවරයා විදෙස්ගතව සිටින බැවින් වැඩ බලන අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම පෙත්සම සලකා බලන ලදී.
වැඩ බලන අගවිනිසුරුවරිය ඇතුළු වැඩබලන ප්‍රධාන විනිසුරු ජගත් බාලපටබැඳි,කේ.ශ්‍රී පවන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම නියෝගය ප්‍රකාශයට පත්කෙරිණි. ada

කොමසාරිස්ගෙන් යළිත් නියෝගයක්


මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් , උසස් කිරීම් සහ ස්ථාන මාරු කිරීම් සිදුනොකරන ලෙස තමන් නිකුත් කළ චක්‍රලේඛය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට යළි අවධාරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරන මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ දිනයට පෙර දිනයන් යොදමින් එවැනි ස්ථාන මාරු කිරීම් සිදුකරන බවට පැමිණිලි රැසක් තමන් වෙත ලැබී ඇති බවයි.ඒ අනුව අදාළ ස්ථාන මාරුවීම් අත්හිටුවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි.එවැනි ස්ථාන මාරුවීම් ලැබු නිලධාරින් ඡන්ද විමසීමේ කාල පරිච්ඡේදය අවසන් වන තුරු අදලා සේවා ස්ථානයෙන් මුදා නොහැරිය යුතු බව ද කොමසාරිස්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

දන්සල්වල ණය තාම ගෙවන්න තියෙනවා


අරලිය ගහ මන්දිරයේ දුන්නු දන්සැල්වල ණය තාමත් ගෙවන්නට තියෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. දන්සැල් වල මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වියදම් වුණු මුදල් වල පවා ණය ගෙවන්නට සිදුව ඇති බව හෙතෙම කියා සිටියේ අද බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එසේ වුවද සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන්ගේ මවගේ මුදල් සේප්පුවලින් අනුපිළිවෙළට අංක යෙදූ ඩොලර් නෝට්ටු තොග ගණන් හමුවූ බවත්,‍ෆොන්සේකා නටන්නට හැදූ නාඩගම එයින් හෙළිදරව් වූ බවත් හෙතෙම කියා සිටියේය.
සේකා මුදල් සම්බන්ධයෙන් කියා තිබුණේ එකී මුදල් ජනාධිපතිවරණයට වියදම් කිරීමටත් එයින් පසු එළඹෙන මහ මැතිවරණයට වියදම් කිරීමටත් තබා තිබූ බවත්,එක් මැතිවරණයකදී තවත් මැතිවරණයකට මුදල් රැස්කරන පුද්ගලයින් තමා දැක්කේ ජීවිතයේ පළමු වතාවට බවත් වීරවංශ මහතා පැවසීය. මෙවර මහ මැතිවරණයට තරඟවදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව මෙහිදී ප්‍රකාශයට පත්කෙරුණු අතර ජාතික නිදහස් පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රීක්ක 16 ක් සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති වගද මෙහිදී ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව කොළඹින් විමල් වීරවංශ,ගම්පහින් පියසිරි විජේනායක සහ අන්ජාන් උම්මා,කළුතරින් ජයන්ත සමරවීර,මාතරින් සරත් වීරවංශ,හම්බන්තොටින් ධර්මසේන කොඩිතුවක්කු,මොණරාගලින් පද්ම උදයශාන්ත,කෑගල්ලෙන් බුද්ධදාස විතානනච්චි,මාතලෙන් අරවින්ද වන්නිආරච්චි,මහනුවරින් නිමල් ප්‍රේමවංශ,නුවරඑළියෙන් නිමල් පියතිස්ස,අනුරාධපුරයෙන් වීරකුමාර දිසානායක,පොළොන්නරුවෙන් රාජා රංජිත් ගුණරත්න,කුරුණෑගලින් සේනාරත්න ද සිල්වා,පුත්තලමෙන් සමන්සිරි හේරත්,රත්නපුරෙන් දීපාල් ගුණසේකර,අම්පාරෙන් අනුර මුණසිංහ යන අය ඉදිරිපත් වී සිටින බව අනාවරණය කෙරිණි. ada

මඩකළපුවෙන් අවි තොගයක්


මඩකළපුව කන්නන්අඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ‍ගෙන තිබේ.
මඩකළපුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය. එහි දී ටී 56 ගිනි අවි 02 ක්, ටී 56 පතොරොම් ගැබ් 10 ක්, එම උණ්ඩ 120 ක් සහ එම්.පී.එම්.ජී අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 98 ක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ අතර සේරුනුවර පූ නගර් ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මිලි මීටර 7. 62 වර්ගයේ ජීව උණ්ඩ 91 ‍ක් සොයා ගැනීමට සේරුනුවර පොලීසිය සමත්ව ඇත. මීට අමතරව නිට්ටඹුව පොලිසීය විසින් නිට්ටඹුව, කඹුරාගල්ල ප්‍රදේශයේ ඔයක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ‍ගෙන ඇති අතර යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් එම බෝම්බ නිෂ්ක්‍රීය කර ඇති බව වාර්තා වේ. ada

දින්නොත් පක්ෂය හැරයන්න බෑ


එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කරන අපේක්ෂකයින් ජයග්‍රහණය කළහොත් පක්ෂය හැර නොයන බවට දිවුරුම් පෙත්සමක් ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා ‍ඒකමතිකව මෙම යෝජනාවට එකඟතාව පළ කළ බව ඔහු සඳහන් කරයි. ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය. ada

අගමැති ඌවෙන්


මීළඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ඌව පළාතෙන් බිහි වන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට එළඹෙන පාර්ලිමේන්තුවේ අගමැතිධුරය හිමි වන බව ඔහු සඳහන් කරයි. පසුගිය දා මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.ada

අනෝමා සත්‍යක්‍රියා කරයි


යුද හමුදා අත්අඩංගුවේ සිටින ජනරාල් සරත් ෆෙ‍‍ාන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා දළඳා සමිඳුන් අභියස අනෝමා ෆො‍න්සේකා මහත්මිය ඇතුළු පිරිසක් සත්‍යක්‍රියාවක නිරත විය.
මෙහි දී දළඳා සමිඳුන් වැඳ පුදා ගත් මෙම පිරිස පසුව මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදුටු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් සහභාගී වී සිටි‍යේය. adadera

තැපැල් නිලධාරීන් හා කොමසාරිස් හමුවක්


තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව තැපැල්පති එම්.කේ.බී දිසානායක මහතා සඳහන් කළේය.