Wednesday, March 24, 2010

ලසන්ත ඝාතනය ගැන ටිරාන්ගෙන් ප්‍රශ්නකරයි


ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාගේ සමීපතමයෙකු වන ටිරාන් අලස් මහතාගෙන් අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කර තිබේ..
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව මෙසේ පැයක පමණ කාලයක් ප්‍රශ්න කළ බව අද දෙරණ කළ විමසීමකදී ටිරාන් අලස් මහතා කියා සිටියේය.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වීමට පැය භාගයකට පෙර තමන්ට දුරකථන ඇමතුමක් දුන් බවත්,එකී අවස්ථාවේදී ඔහු ලුහුබඳිමින් සිටි යතුරුපැදි පිළිබඳ යමක් කීවේදැයි යන්න ප්‍රශ්න කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටයේ ඒ පිළිබඳ නිසි තොරතුරක් තමන්ට තාමත් නොලැබුණු බවයි. adaderana

සමෘද්ධිය 1000 න් වැඩියි


ඉදිරි අයවැයෙන් සමෘද්ධි දීමනාව රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
දැනට අවම සමෘද්ධි දීමනාව වශයෙන් එක් පවුලක් සඳහා රුපියල් 375ක මුදලක් ගෙවන බව ඔහු සඳහන් ක‍රයි.
ඉදිරියේ දී තවත් ලක්ෂ 10 ක පමණ පිරිසකට සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා තෝරාගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පවසයි.
මේ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, රාජ්‍ය සේවකයන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කිරීමට ද තීරණය කර ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. adaderana

වරායේ රස්සා පොරොන්දු වී දහස් ගණන් පිල්ලිගහලා


ව්‍යාජ ලිපිලේඛන සකස් කොට වරාය අධිකාරියේ රැකියා ලබාදෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව අද පෙරවරුවේ රැකියාවක් ලබාදීම සඳහා අත්තිකාරම් මුදලක් ලබාගනිමින් සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි..
අම්බලන්තොට, බැරගම ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙකු වන ඔහු ගුවන් හමුදාවෙන් පළාගිය අයෙකු බව සඳහන් වේ. සැකකරු සතුව තිබී වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නමින් සකස් කළ ව්‍යාජ නිල මුද්‍රාවක් ද වරාය අධිකාරියේ ලිපි ශීර්ෂ දෙකක් සහ තීන්ත පෑඩ් එකක් ද සොයාගෙන තිබේ..
සැකකරු විසින් රැකියා ලබාදෙන බව පවසමින් තලගහ හන්දිය සහ මාම්පිටිය පදිංචිකරුවන් දෙදෙනකුගෙන් රුපියල් 20,000 සහ රුපියල් එක් ලක්ෂ 35,000 බැගින් ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් වේ.adaderana

ක්ෂය රෝගීන් 15,000 ක්


මෙරට ක්ෂය රෝගීන් 15,000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු ගතකර ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේ.එස්.බී. ද අල්විස් මහතා පවසන පරිදි ඔවුන්ගෙන් බහුතරයක් අඩු ආදායම් ලාභීන් වන බවයි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් ක්ෂය රෝගීන් වාර්තා වන අතර ක්ෂය රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය අල්විස් මහතා මෙම කරුණු අනාවරණය කරන ලදී.
ක්ෂය රෝගීන් කොන් කිරීමට සමාජය පෙළඹීම හේතුවෙන් විශාල හානියක් වන බව ද වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.adaderana

පුද්ගලික අංශයට වී දෙන්න එපා


පෞද්ගලික අංශයට වී අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඇතැම් පෞද්ගලික අංශයේ ආයතන ගොවීන්ට අඩුමිලක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියි.
තම අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත වී අලෙවි කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජනතාවට දැනුම් දෙයි.
අද කොළඹ පැවති ‍මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව නාඩු මිල රු.28.50 ටත්,සම්බා මිල රු.30.50 ටත් මිලදී ගන්නට රජය සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.adaderana

විශ්ව විද්‍යාලයට කඩ්ඩ අනිවාර්යයි


මෙවර විශ්ව විද්‍යාලය සඳහා ඇතුළත් වන සිසුන් සඳහා ඉංග්‍රිසි භාෂාව විෂයක් වශයෙන් හැදෑරීම අනිවාර්යය කර තිබේ.
උසස් අධ්‍යාපන අමාත්‍ය විශ්වා වර්ණපාල මහතා පවසන පරිදි විශ්ව විද්‍යාලයට ඇතුළත් වන සිසුන් කුමන පාඨමාලාවක් හැදෑරුවද ඉංග්‍රීසි භාෂාව විෂයක් වශයෙන් හැදෑරිය යුතුය.
නව ලෝක ප්‍රවණතා හා රැකියා වෙළෙඳ‍පළ සඳහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය සාධකයක් බැවින් මෙම පියවර ගත් බව හෙතෙම කියා සිටියි.
එබැවින් විශ්ව විද්‍යාලයේ පළමු වසර සඳහා සිසුන්ට ඉංග්‍රීසි භාෂාව හැදෑරීම අනිවාර්ය කර ඇති බව විශ්වා වර්ණපාල අමාත්‍යවරයා පෙන්වා දෙයි. adaderana

රජරට පීඨ තුනක් වසයි


රජ රට විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් දින නියමයක් නැතිව වසා දැමීමට පාලන අධිකාරිය තීරණය කර තිබේ. සිසුන් පිරිසක් සහ ගම්වාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙසේ තාවකාලිකව පීඨ තුනක් වසා දැමීමට තීරණය කළ බව උපකුලපති මහාචාර්ය ඒ.ඒ නන්දසේන මහතා සඳහන්කරයි. adaderana

ගණන් කරන්නන් නිරීක්ෂණයටත් අවසරයි


මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ පවත්වන දිනයේදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නිරීක්ෂකයින්ට ඇතුළු වීමට අවසර ලබා දී ඇති බව ෆැපරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ෆැපරල් ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අවසරය ලබා දී ඇති බව සඳහන් වේ. මැතිවරණ නිරීක්ෂකයින්ට ‍නිරීක්ෂණය සඳහා මේ වන තෙක් අවසර ලබා දී තිබුණේ ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදුකරන තෙක් වන කටයුතු පමණි.
එසේ වුවද මෙවර මැතිවරණයේදී ගණන් කිරීමේ ඡන්ද මධ්‍ය්ස්ථාන කිහිපයකට සහ අවසන් ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවන් නිරීක්ෂණය කිරීමට මැතිවරණ නිරීක්ෂකයන්ට අවසර ලබා දී ඇති බව විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

ඒකෝන් කනගාටුවෙයි


පවත්වන්නට නියමිතව තිබූ ප්‍රසංගයකට කැඳවන්නට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ‍ශ්‍රීලංකාවේ ඇති වූ සිදුවීම් පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශකරයි.
තමන්ගේ ගීතයකට අදාළ රූප රාමුතුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන් නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.
එසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වන විට සඳහන් කර ඇත. ඔහු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව කියැවේ.
හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය නොපැවැත්විය යුතු බව ජාතික සංඝ සම්මේලනය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.
මෙම ගායන ශිල්පියාගේ ගීත ඇල්බම් වල අතිශය කාමුක දර්ශන නිරූපනය වන බවත්,ඔහුට ළමා අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්,ඔහුගේ ඇතැම් ගීතයක බුදු දහමට නිගා දෙන අයුරින් බුදු පිළිමයක් අබියස ආලිංගනයේ යෙදෙන දර්ශන පවා ඇතුළත් බවත් ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය. adaderana

අපරාධකරුවන් 5 ක් මාට්ටු


අපරාධ රැසකට සම්බන්ධ‍ පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර නවය වර්ගයේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. adaderana

තිස්සනායගම් බ්‍රිතාන්‍යයෙන් අගයයි


ජේ.එස්.තිස්සනායගම් වසරේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 16 දෙනා අතරට බ්‍රිතාන්‍ය විසින් නම් කර තිබේ.
මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජිවිතය තුළ අභියෝගාත්මක ඉලක්කයන් සපුරා ගැනීම නිසා තිස්සනායගම් මහතා මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු සාධක වන බව සඳහන් වේ.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ජේ.එස්.තිස්සනායගම් මහතා මේ වන විට ඇප මත මුදා හැර තිබේ. ඔහුට එරෙහිව ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනා මත වසර 16ක සිර දඬුවමක් නියම වු අතර පසුව අභියාචනාධිකරණය මගින් ඔහු ඇප මත නිදහස් කෙරුණි.
ලංකාවේ මාධ්‍යවේදියෙකුට එරෙහිව නියම වු ඉහළම අධිකරණ දඬුවම ලෙස ද මෙය සැළ‍කේ.
බ්‍රිතාන්‍ය විසින් නම් කෙරුණු සෙසු ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 16 දෙනා අතර ඊජිප්තුව , ඉරාකය , ඉරානය , එරිත්‍රියාව , අෂර්බයිජානය , බුරුමය යන රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් ද නම් කර තිබේ. adaderana

ප්‍රචණ්ඩ ක්‍රියා 110 යි


මහ මැතිවරණයට අදාළව පුර්ව ප්‍රචන්ඩ ක්‍රියා මේ වන විට 110 ක් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එයින් සිදුවීම් 32 ක් රාජ්‍ය දේපල අයථා පරිහරණය සම්බන්ධයෙන් බන බව නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒසේම එයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා නීරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වාදෙයි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 127 ක් වන අතර එම පැමිණිලි වලින් 25 ක් සන්ධානයේම ආධාරකරුවන් අතර සිදුවු ප්‍රචණ්ඩ ක්‍රීයාවන්ට අදාළ පැමිණිලි බව සඳහන් වේ.
මීට අමතරව එක්සත් ජාතික .
පක්ෂයට එරෙහිව පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා පැමිණිලි 07 ක් ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය වාර්තාකරයි. එමෙන්ම චූදිතයින් හඳුනා නොගත් පැමිණිලි 35ක් ද එම මධ්‍යස්ථානයට ලැබී තිබෙන අතර ස්වාධීන කණ්ඩායමකට එරෙහිව ද එක් පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන් වේ. adaderana

මෙදා අවුරුදු නෑ


මෙවර සිංහල අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සැමරීමට තරම් මානසිකත්වයක් තමාට නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
යුද්ධය නීමා වී එළඹෙන පළමු සිංහල අවුරුද්ද නිදහසේ සැමරීමට නොහැකි වීම තමාටත් තම ස්වාමියා වන සරත් ෆොන්සේකා මහතාටත් අමිහිරි අත්දැකීමක් වනු ඇති බව ඇය කියා සිටියි.
බොහෝ දෙනෙකුට නිදහසේ අවුරුදු සිරිය විඳින්නට හැකි පරිදි රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ තම ස්වාමියාට අභූත චෝදනා නඟා සිරකර ඇති වගද ඇය සඳහන් කළාය.
අනෝමා ෆොන්සේකා මහත්මිය මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ මොණරාගල පැවති මැතිවරන ප්‍රචාරක රැලියකට සහභාගි වෙමිනි. adaderana

ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක්


උතුරු හා නැඟෙනහිර පළාත් වල බිම්බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.
මේ යටතේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා විශේෂඥ කණ්ඩායම් 7ක් ද ශ්‍රි ලංකාවට එවීමට නියමිතව ඇත.
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ.කාන්ත් මහතා පසුගියදා උතුරු ප්‍රදේශයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම ‍තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.
දැනටමත් වව්නියාව සහ මන්නාරම ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල ඉන්දීය ජාතිකයින් පිරිසක් නිරතව සිටින බව වාර්තා වේ. adaderana

ඒකෝන්ට තහංචි


සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව කියැවේ.
හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය නොපැවැත්විය යුතු බව ජාතික සංඝ සම්මේලනය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි. මෙම ගායන ශිල්පියාගේ ගීත ඇල්බම් වල අතිශය කාමුක දර්ශන නිරූපනය වන බවත්,ඔහුට ළමා අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්,ඔහුගේ ඇතැම් ගීතයක බුදු දහමට නිගා දෙන අයුරින් බුදු පිළිමයක් අබියස ආලිංගනයේ යෙදෙන දර්ශන පවා ඇතුළත් බවත් ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය. adaderana