Tuesday, April 6, 2010

අප්‍රේල් 09 නිවාඩුයි


අප්‍රේල් මස 09 වන දින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩී.දිසානායක මහතා සඳහන් කරයි. adaderana

හදිසිය හදිසියේ සම්මතයි


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම යෝජනාවට පක්ෂව ජන්ද 58ක් ද විපක්ෂව ජන්ද 05ක් ද ඉදිරිපත් විය. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විපක්ෂව ජන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පෙරමුණේ සාමජිකයින් අද පාර්ලිමේන්තු වාරයට සහභාගි නොවීය. adaderana

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට යයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති වග අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. හදිසි නීතිය මසකින් යළි දීර්ඝ කර ගැනීමට අදාළ ඡන්දය විමසීමේ යෝජනාව සම්මත කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හදිසි සැසියක් අද කැඳවා ඇත.

එ.ජා.ප ආධාරකරුගේ වෙළඳසැලට ගිනි පූජාවක්


අනුරාධපුර , හොරොව්පතාන , කපුගොල්ලෑව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.
අද අලුයම 3 ට පමණ මෙම ගිනි තැබීම සිදුව ඇති බවත් ගින්නේ රුපියල් ලක්ෂ 10 කට වැඩි හානියක් සිදු වී ඇති බවත් සඳහන් වේ.
මෙසේ ගිනි තබා ඇත්තේ පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ෆාවුල් හමීඩ් ෆයිෂාර් මහාතට අයත් වෙළඳසැලකටය.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.. adaderana

පෙම්වතියගේ සැමියා මරා ජීවිතාන්තය දක්වා හිරේට


ශ්‍රී ලාංකිකයෙකුට ඩුබායි අධිකරණයක් මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ අදාළ තරුණයා ඩුබායි ජාතික සිය පෙම්වතියගේ ස්වාමීපුරුෂයා ඝාතනය කිරීමයි. පසුගිය පෙබරවාරී මාසයේ දී අදාළ තරුණිය සිය ස්වාමී පුරුෂයා සමඟ මහමඟ ගමන් ගනිමින් සිටිය දී එය දුටු ශ්‍රී ලාංකික තරුණයා එම පුරුෂයාට පිහියකින් ඇන පහර දී තිබේ.
පිහි ඇනුම් තුවාල හේතුවෙන් අදාළ පුරුෂයා මිය ගොස් ඇති බව වාර්තා වේ. නඩුව විභාග කිරීමේ දී ශ්‍රී ලාංකික තරුණයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුරුෂයා ඝාතනය කිරීමේ චේතනාවක් නොතිබූ අතර ඔහු සමඟ ගැටුමක් ඇති කර ගැනීමට පමණක් අවශ්‍ය වූ බවයි.කෙසේ වෙතත් නඩු විභාගය අවසානයේ ඩුබායි අධිකරණය මෙම 23 වැනි වියෙහි පසු වන ශ්‍රී ලාංකික තරුණයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට නියෝග කරන ලදී. adaderana

විජාතික බලවේගයන්ට ආවඩන්නන් පලවාහරිනවා


රට ගොඩනැඟීමට තරුණ දේශපාලනඥයින්ගෙන් ද රට මෙහෙයවීමට පරිණත දේශපාලනඥයින්ගෙන් ද සැදුම් ලත් ආණ්ඩුවක් තුළ මහින්ද චින්තන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගමේ ආර්ථිකය සවිමත් කරන යුගයක් යළි මෙරට ඇති කරන බව ඔහු පවසයි.
ඊයේ පස්වරුවේ හම්බන්තොට , මිද්දෙණිය ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනරැළියක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ජනරැළිය ලෙස මෙය සංවිධානය කර තිබුණි.
විජාතික බලවේගයන්ට ආවඩන සියලු බලවේග රටින් පලවාහරින බව ද ජනාධිපතිවරයා මෙහි දී අවාධාරණය කළේය..adaderana

කපා කොටා මරා දමයි


බෙලිඅත්ත , විතාරන්දෙණිය ප්‍රදේශයේ කාන්තාවක් තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර තිබේ..
එම කාන්තාව සිය නිවසේ සිටිය දී අද අලුයම නාඳුනන පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති විතාරන්දෙණිය ප්‍රදේශයේ ම කාන්තාවකි.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.. adaderana

එකම පවුලේ තිදෙනෙක් මරුදකියි


උඩවලව , කොළඹගේආර ප්‍රදේශයේ එකම නිවසක පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති බව උඩවලව පොලිසිය පවසයි.
පියා නිවස තුළ ගෙළ වැළලා ගෙන සිටි අතර දියණියන් දෙදෙ‍නා නිවස තුළ තුවාල සහිතව සිටිය දී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ..
මෙය ඝාතනයක් ද යන්න සැක පළ වී ඇති බව පොලිසිය පවසන අතර උඩවලව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

යුද අධිකරණය යළිත් කැඳවෙයි


හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණ නැවත කැඳවීම අද දිනයට යෙදී තිබේ.
අද පෙරවරුවේ පළමු යුද අධිකරණය රැස් වීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම දෙවන යුද අධිකරණය පස්වරුවේ රැස් වීමට නියමිත බවත්,දෙවන යුද අධිකරණයට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් අනතුරුව රැස් වන පළමු අවස්ථාව මෙය බවත් සඳහන් වේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 16 වන දින පැවති පළමු යුද අධිකරණයට සිය නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් වූ අතර එහිදී පැවති නඩු විභාගයෙන් පසු මීළඟ නඩු වාරය අප්‍රේල් මස 06 වන දින යළි කැඳවීමට යුද අධිකරණය විසින් තීරණය කෙරිණි.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන චෝදනා 05 ක් ‍යටතේ එදින යුධ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. -- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය පැවැත්වුණේ පසුගිය 17 වනදාය.
යුද හමුදා සක්‍රිය සේවයේ සිටියදී හමුදා පනත උල්ලංඝණය කරමින් සිදුකළ බව කියන යුද හමුදා මිලදී ගැනීම් සම්බන්ධ චෝදනා වෙනුවෙන් දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරිණි.
පළමු යුදාධිකරණයේ කටයුතු කළ මේජර් ජෙනරාල්වරුන් තිදෙනාම දෙවන යුධ අධිකරණයේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබිණි. --- එහෙත් අද දින පස්වරුවේ මෙම දෙවන යුධ අධිකරණය කැඳවීමට නියමිතව ඇති අතර එය විභාග කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනෙකු නම් කර ඇති බව යුද හමුදා මූලස්ථාන‍ය පවසා තිබිණි.
ඒ අනුව මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් එම යුද අධිකරණයේ සභාපතිවරයා ලෙස ද මේජර් ජෙනරාල් එස්.ඩබ්ලිව්.එල්. දවුලගල සහ මේජර් ජෙනරාල් එම්.හතුරුසිංහ අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනා ලෙස ද නම් කර තිබේ.
දෙවන යුධ අධිකර‍ණයේ අධිනීතීඥවරයා වශයෙන් රියාර් අද්මිරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබයි.
සරත් ෆොන්සේකා මහතා, යුද හමුදා මිලදී ගැනීම් පටිපාටියට පටහැනි ලෙස සිදුකළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් විභාග කිරීම මෙම දෙවන යුද අධිකරණය මගින් සිදුකිරීමට නියමිතව ඇත. adaderana

ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වෙනසක් නෑ


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆෝන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කොළඹ ජාතික රෝහලේ උරස් රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු යෙදවූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ප්‍රසිද්ධියේ කරනු ලබන ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් මෙසේ විශේෂඥ වෛද්‍යවරයෙකු යෙදවීමට තීරණය කර ඇත.
ඒ අනුව අද උදෑසන මෙම විශේෂඥ වෛද්‍යවරයා සමග ෆොන්සේකා මහතාට දෛනිකව ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ බව යුද හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බව මෙම විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් දැනුම් දුන් බව ද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ෆොන්සේකා මහතා විසින් සාමාන්‍ය පරිදි භාවිතා කරනු ලබන ඖෂධ අඛණ්ඩව භාවිතා කළ හැකි බවට ද මෙහිදී උපදෙස් ලබා දී ඇතැයි සඳහන් වේ.
විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පරීක්ෂා කරවිය යුතු බවට අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ඉකුත් දා යුද හමුදාපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබිණි. adaderana

ද්විත්ව පහරේ තහංචිය ඉවතට


2011 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිවිත්ව පහර ත්‍රී රෝද රථ අමතර කොටස් ගෙන්වීමට අදාළ තහනම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කැබනට් අනුමැතිය ද සහිතව මෙම තීරණය පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගත් බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය සඳහන් කරයි.
ඒකාබද්ධ ත්‍රීරෝධ රථ රියදුරන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ අනුව අදාළ අමතර කොටස් 2013 ජනවාරි මස දක්වා ගෙන්වීමට හැකියාව ලැබෙන බවත්,එමගින් ත්‍රී රෝද රථ මගින් යැපෙන ලක්ෂ 30 ක් පමණ ජනතාවකට සහනය සැලසෙන බව සඳහන් වේ. adaderana