Tuesday, April 6, 2010

යුද අධිකරණය යළිත් කැඳවෙයි


හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණ නැවත කැඳවීම අද දිනයට යෙදී තිබේ.
අද පෙරවරුවේ පළමු යුද අධිකරණය රැස් වීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම දෙවන යුද අධිකරණය පස්වරුවේ රැස් වීමට නියමිත බවත්,දෙවන යුද අධිකරණයට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් අනතුරුව රැස් වන පළමු අවස්ථාව මෙය බවත් සඳහන් වේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 16 වන දින පැවති පළමු යුද අධිකරණයට සිය නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් වූ අතර එහිදී පැවති නඩු විභාගයෙන් පසු මීළඟ නඩු වාරය අප්‍රේල් මස 06 වන දින යළි කැඳවීමට යුද අධිකරණය විසින් තීරණය කෙරිණි.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන චෝදනා 05 ක් ‍යටතේ එදින යුධ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. -- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය පැවැත්වුණේ පසුගිය 17 වනදාය.
යුද හමුදා සක්‍රිය සේවයේ සිටියදී හමුදා පනත උල්ලංඝණය කරමින් සිදුකළ බව කියන යුද හමුදා මිලදී ගැනීම් සම්බන්ධ චෝදනා වෙනුවෙන් දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරිණි.
පළමු යුදාධිකරණයේ කටයුතු කළ මේජර් ජෙනරාල්වරුන් තිදෙනාම දෙවන යුධ අධිකරණයේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබිණි. --- එහෙත් අද දින පස්වරුවේ මෙම දෙවන යුධ අධිකරණය කැඳවීමට නියමිතව ඇති අතර එය විභාග කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනෙකු නම් කර ඇති බව යුද හමුදා මූලස්ථාන‍ය පවසා තිබිණි.
ඒ අනුව මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් එම යුද අධිකරණයේ සභාපතිවරයා ලෙස ද මේජර් ජෙනරාල් එස්.ඩබ්ලිව්.එල්. දවුලගල සහ මේජර් ජෙනරාල් එම්.හතුරුසිංහ අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනා ලෙස ද නම් කර තිබේ.
දෙවන යුධ අධිකර‍ණයේ අධිනීතීඥවරයා වශයෙන් රියාර් අද්මිරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබයි.
සරත් ෆොන්සේකා මහතා, යුද හමුදා මිලදී ගැනීම් පටිපාටියට පටහැනි ලෙස සිදුකළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් විභාග කිරීම මෙම දෙවන යුද අධිකරණය මගින් සිදුකිරීමට නියමිතව ඇත. adaderana

0 comments:

Post a Comment