Monday, July 12, 2010

පිටරටින් කුකුළන් ගෙන්වීම වහා නැවැත්විය යුතුයි


රජය විදේශ රටවලින් කුකුළු මස් ආනයනය කිරීම වහාම නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විදේශ රටවලින් කුකුළු මස් ආනයනය කිරීම තුළින් ගැටලු රැසක් ඇති විය හැකි බව එම පක්ෂයේ පාර්ලි‍මේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. adaderana

ජනපති තවත් වසර 15කට රටේ නායකයා වෙනවා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් අවුරුදු 15 කට වැඩි කාලයක් රටේ නායකයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා පවසයි.

විපක්ෂය අවස්ථා ගණනාවක දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට උත්සහ කළ ද එම සියලු උත්සහයන් අසාර්ථක වූ බව ඔහු පෙන්වාදෙයි. ඊයේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්දුල් කාදර් මහතා මෙම අදහස් පළ කළේය. adaderana

කොළඹ අසැබි පුවරු මෙම මාසය තුළ ඉවතට


කොළඹ නගරය අවට ප්‍රදර්ශනය කර ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දැන්වීම් පුවරු මේ මස අවසන් වීමට පෙර ඉවත් කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. මේ වන විටත් එවැනි හඳුනාගත් පුවරු 17 ක් පමණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්ය.

තවත් එවැනි පුවරු 12 ක් පමණ හඳුනා ගෙන ඇති අතර ඒවා පිළිබදව අදාළ ආයතන දැනුවත් කර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ප්‍රකාශ කරන ලදී. ඔවුන්ට ඉදිරි සති 2 ක කාලයක් එම පුවරු ඉවත් කර ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබේ. එම කාලය තුළ දී ඉවත් නොකරන පුවරු සියල්ල ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත. adaderana

රනිල්-ජනපති හමුවක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරු‍වේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා දිනයේද මේ අයුරින්ම ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණු අතර ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් වූ බවත්, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරි කාලයේ දී දැනුවත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාට එදින දැනුම් දී තිබුණි.

පෙරවරු 9.30 ට පමණ ආරම්භ වූ එදින සාකච්ඡාව විනාඩි 30 කට ආසන්න කාලයක් පැවැත්වුණු අතර විපක්ෂ නායකවරයාට කඩවත පවත්වන්නට නියමිතව තිබුණු විරෝධතා ව්‍යාපාරයකට නායකත්වය දෙන්නට සිදුව තිබීම ඊට හේතුවයි.

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාවට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා තම නියෝජතයින් පිරිසක් ද සහභාගී කරවා ගත යුතු බව එහි දී දැනුම් දී ඇති බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කර තිබිණි.

ඊට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබීම හේතුවෙන් අද දිනයේ යළි ‍ විපක්ෂ නායකවරවයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග මෙම සාකච්ඡාව පැවැත්වී ඇත. adaderana

එස්. බී ට මිනී පෙට්ටි සමග විරෝධතා


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විවෘත කිරීමේ කටයුත්තක් සඳහා ගිය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතාට එහි දී සිසුන්ගේ දැඩි විරෝධතාවක් පළ වී තිබේ. විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විසින් මීනි පෙට්ටියක් ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පළ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් එස්. බී දිසානායක මහතා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මෙහි දී සිසුන්ගේ දැඩි විරෝධතාව එල්ල වී ඇත.

නිදහස් අධ්‍යාපනයේ මළගම ඇති වන ආකාරය ප්‍රදර්ශනය කරමින් අදාළ විරෝධතාව සිසුන් විසින් පවත්වා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වීමෙන් අමාත්‍යවරයාව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටත් කර ඇති බව එහි සිටින අද ‍දෙරණ වාර්තාකරු සඳහන් කරයි. adaderana

රජයට විරුද්ධව කෑ ගැසූ සීමාන්ට මාංචු


ශ්‍රී ලංකා රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනාව මත තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නාන් තමිලර් ඉයක්කම් සංවිධානයේ නිර්මාතෘ සීමාන් චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට විරෝධය පාමින් පැවති උද්ඝෝෂණයකදී ඔහු මෙසේ රජයට විරුද්ධව ජනතාව කුපිත වන අන්දමේ අදහස් ප්‍රකාශ කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ජනතාව කුපිත කරවන අන්දමේ අදහස් ප්‍රකාශ කිරීම යන චෝදනාව සීමන්ට විරුද්ධව ගොනු කර ඇත. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙන්නායි මාධ්‍ය සමාජයේදීය. නමුත් ඔහුට විරුද්ධව ඇති මෙම චෝදනාව සීමාන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. adaderana

සටන දිනීම මෙන්ම විමල් ජීවත්වීමත් අවශ්‍යයි


සටන ජයග්‍රහණය කිරීම මෙන්ම විමල් වීරවංශ මහතා ජීවත්වීම ද අත්‍යවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

බැංකි මූන්ගේ ශ්‍රී ලංකා ප්‍රචාරක නිලධාරියා බවට විජිත හේරත් මහතා පත්ව ඇතැයි එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම වීරවංශ මහතාගේ උපවාසය තුළින් බලාපොරොත්තු වූ අරමුණු හතර අතරින් 3 1/2 ක් ඉටු කරගැනීමට හැකිවූ බව ද ඔහු පවසයි. විරෝධතාවයේ මූලික අරමුණ වූයේ දේශීය හා විදේශීය වශයෙන් එක්සත් ජාතීන්ගේ කමිටුව පිළිබඳව කතිකාවතක් ඇතිකිරීම බවත්, එය සාර්ථක වූ බවත් සමරවීර මහතා පෙන්වාදෙයි.

කමිටුව ඉවත්කිරීමට උපවාසය තුළින් නොහැකි වුවද ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමේ හැකියාව ලැබුණු බව ද ජාතික සංවිධායකවරයා අවධාරණය කරයි. ඒ හරහා ජනතාව දැනුවත් කිරීමේ හැකියාව ලැබුණු බව ද ඔහු පෙන්වාදෙයි. ලැබූ ජයග්‍රහණය ඇතැමුන් නැවත හැරවීමට උත්සාහ කරන බවට ද ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. adaderana

බාහිර බලවේග වලට ඉඩ නොදීම ජයග්‍රහණයට හේතුවක්


මෙරටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට හැකි වු‍යේ අභ්‍යන්තර ගැටුම් සඳහා බාහිර බලවේග වලට ඇතුළු වීමට ඉඩ නොදීම හේතුවෙන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙරට ජයග්‍රහණ වලට තවත් හේතුවක් වන්නේ ආරක්ෂක අංශවලට නිසි තැන ලබාදීම සහ දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීම බව"මැනිලා ටයිම්ස්"පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රි ලංකාව ත්‍රස්තවාදය පරාජය කළ රටක් වශයෙන් ලෝකය විසින් පිළිගනු ලැබීම තම සතුටට හේතුවන බව ද ජනාධිපතිවරයා පවසයි. මේ වන ශ්‍රි ලංකාව සංවර්ධනයෙන් ඉදිරියට යමින් සිටින බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. adaderana

ෆොන්සේකා ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා


හයිකෝප් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව අද දින මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කරන බව නීතිපතිවරයා ‍කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අදාළ අධි චෝදනා පත්‍ර වලට පසුගිය සිකුරාදා සවස් වන විට නීතිපතිවරයා විසින් අත්සන යොදා තිබු බව රජයේ නීතීඥවරයා අද අධිකරණයට දැනුම් දී සිටියේය.

ෆොන්සේකා මහතා වෑන් රථයකින් අධිකරණය වෙත රැගෙන ඒම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව මෙහිදි ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දී සිටියේය. සැකකරු වෑන් රථයකින් ගෙන එනු ලැබුව ද ඔහුගේ ආරක්ෂාව යුධ හමුදාව විසින් සහතික කර ඇති බව මෙහිදි රජයේ නීතීඥවරයා කියා සිටි‍යේය.

ෆොන්සේකා මහතා මේ වන විට රීමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවෙකු බැවින් විශේෂ වරප්‍රසාද අපේක්ෂා කළ නොහැකි බව ද රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. විදේශගතව සිටින සිය දියණියන් ඇමතීම සඳහා ෆොන්සේකා මහතාට අවස්ථාවක් ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥයින් ඉල්ලා සිටිය ද ෆොන්සේකා මහතා රීමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකු බැවින් අදාළ ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඊට අමතරව ෆොන්සේකා මහතාට ව්‍යායාම සිදුකිරීමට ඉඩදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කෙරුණු ඉල්ලීම ඉවත දැමු මහේස්ත්‍රාත්වරිය අදාළ ඉල්ලීම බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කර සහනයක් ලබා ගන්නා ලෙස දැනුම් දුන්නාය. අනතුරුව ෆොන්සේකා මහතා ලබන 26 වැනිදා දක්වා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හමුදා භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වැඩිදුරටත් නියෝග කළාය. adaderana

ව්‍යවස්ථා වෙනස ගැන කතාවට අපිට ආරාධනයක් නෑ -ජවිපෙ


ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම පක්ෂයට මෙතෙක් ආරාධනයක් ලැබී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකෙරෙන්නේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීම රජයේ වගකීමක් බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අදාළ සංශෝධන සම්බන්ධයෙන් හෙළි නොකිරීම පිළිබඳ විරෝධතා එල්ල වෙමින් තිබියදී විපක්ෂ නායකවරයා පමණක් ගෙන්වා සාකච්ඡා කිරීමට රජය කටයුතු කර තිබෙන බව ටිල්වින් සිල්වා මහතා පවසයි. ව්‍යවස්ථාවක් යනු මෙරට මුළු මහත් ජනතාවටම බලපාන කරුණක් බැවින් ඒ පිළිබඳ සියලු අංශ දැනුවත් කිරීම සිදුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. adaderana