Friday, March 19, 2010

අනෝමාගේ පෙත්සම විභාගයට ගැනීම කල්යයි


යුධ හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා අධිකරණය හමුවට පමුණුවා නිදහස් කරන ලෙස අභියාචානාධිකරණයේ ගොනු කර තිබු පෙත්සම විනිසුරුව‍රයෙකු ඉල්ලා අස්වීම හේතුවෙන් ලබන 25 වැනිදා දක්වා කල් දැමීමට නියෝග කර තිබේ.
අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ශක්ත්‍යා හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ‍විභාගයට ගනු ලැබීය. පෞද්ගලික හේතුවක් මත තමාට මෙම නඩු විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි බව එහිදි ඩි. එස්. සී. ලේකම්වසම් විනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් පෙත්සම විභාග කිරීම ලබන 25 වැනිදාට කල් තැබීමට අභියාචනාධිකරණ සභාපති හෙට්ටිගේ මහතා නියෝග කළේය. ඒ අනුව ඉවත් වු ඩි.එස්.සී.ලේකම්වසම් විනිසුරුවරයා වෙනු‍වට අනිල් ගුණරත්න විනිසුරුවරයා පත්කිරීමට පියවරගෙන ඇත.
යුධ හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදා අත්අඩංගුවට පත්වීම නීතිවිරෝධී බවටත් ඔහු අධිකරණය හමුවට පමුණුවා නිදහස් කරන ලෙසටත් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙම පෙත්සමින් ඉල්ලා තිබුණි. මේ අතර යුධ අධිකරණය පත්කිරීමේ තීරණය අවලංගු කරන මෙන් ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම ද එදිනට සළකා බැලීමට ද අභියාචනාධිකරණය තීරණය කළේය. adaderana

වීරවංශ සිය නියෝජිතයා නම් කරයි


ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ ‍පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා නඩු විභාගය සඳහා සහභාගී වන සිය නියෝජිතයා නම් කර තිබේ.
ඒ අනුව තමන් වෙනුවෙන් ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා නීතීඥ කපිල ගමගේ මහතා තම නියෝජිතයා වශයෙන් නම් ක‍රන බව වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. මන්ත්‍රීවරයා මෙම නම් කිරීම සිදුකළේ ජනාධිපතිවරණ පනත යටතේ නියෝජිතයෙකු පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකළ දැනුම් දීමකට අනුවය. adaderana

තරාතිරම නොබලා කටයුතු කරන්න


එල්. ටී. ටී ඊ ත්‍රස්තවාදය පරාජය කළද එය නැවතත් පණගැන්වීමට උත්සාහ දරන පුද්ගලයින් ජාත්‍යන්තරය තුළ සිටින බවත් සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියා කලාපය එම තත්ත්වය තවත් වර්ධනය කිරීමට හේතුවක් බවත් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට සරත් ‍ෆොන්සේකා මහතා‍ ලිපියක් ලබාදුන් බව සඳහන් වන සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය. මෙම සිදුවීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මෙහෙයවන ලෙසත්, එහිදී අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන ලෙසත් ඒ මහතා මෙහිදී රජයෙන් ඉල්ලා සිටියේය. adaderana

2/3ක් ඉල්ලන්නේ මනාප ක්‍රමය අහෝසි කරන්නයි


මෙවර මහමැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටීමට හේතුව පවතින මනාප ක්‍රමය අහෝසි කර මැතිවරණ ක්‍ර‍මයේ වෙනසක් ඇති කිරීමට බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා‍ පෙන්වා දෙන්නේ සෙසු දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව මහනුවර දිස්‍ත්‍රික්කයේ මනාප සටන අවම වී ඇති බවය. විවිධ ජනකොටස් ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙවර මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 77 ,000 ක් සමගින් තරගයට ඉදිරිපත් වී සිටින බව ද සරත් අමුණුගම මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළ කලේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. adaderana

දකුණු අධිවේගී මාර්ගයේ වැඩ වර්ජනයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවක පිරිසක් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට දොඩංගොඩ දක්වා‍ ප්‍රදේශයේ සේවයේ නියුතු සේවකයන් 400 ක පමණ පිරිසක් වර්ජනයට එක් ව ඇති බව සඳහන්ය. සේවක අර්ථසාධක අරමුදල් සඳහා වැටුපෙන් මුදල් අයකර ගත්තද ඒ සම්බන්ධයෙන් කිසිඳු ලියවිල්ලක් ඉදිරිපත් නොකිරීම වර්ජනයට හේතුව වී තිබේ. බලධාරීන් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදෙන්නේ නම් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සේවකයන් සඳහන් කළේය.adaderana

2/3ක් ලබාදෙන්නේ එජාප රජයකටයි


මෙවර මැතිවරණයේ දී ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට බව නීතීඥ සුජීව සේනසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ බොරු පෙ‍ාරොන්දු ලබා දෙමින් සිටින ආණ්ඩුව පරාජය කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයන් සූදානම්ව සිටින බවය. කඩුවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේය. adaderna

සහතික මිලට වී අලෙවියට හැකියාවක් නෑ


රජය සහතික මිලක් පනවා තිබුණ ද වී අලෙවි කර ගැනීම සඳහා ගොවීන්ට අවස්ථාවක් ලැබී නොමැති බව පළාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ මහතා පවසයි.
වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 31 ක සහතික මිලක් රජය නියම කර තිබුණ ද ගොවීන්ට වී කිලෝග්‍රෑමයක් අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 26 ක් වැනි මුදලකට බව ඔහු පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ සහතික මිලට වී මිල දී ගැනීම සඳහා නව ක්‍රියා පටිපාටියක් ඇති කරන බව එප්පාවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රෝහණ ගමගේ මහතා සඳහන් කළේය.
මේ අතර රජය පනවා ඇති සහතික මිලට වී මිල දී ගැනීම මේ වන විටත් සිදු වෙමින් පවතින බව ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් ගොවීන් කඩිනමින් වී විකුණා ගැනීමේ අරමුණින් නියමිත ප්‍රමිතිය ළඟා වන තෙක් නොසිට වී අලෙවි කිරීමට පෙළඹී සිටින බැවින් ඇතැම් අවස්ථා වල සහතික මිලට වඩා අඩුවෙන් මිල දී ගැනීමට සිදු වන බවය. adaderana

වැටුප් නොගන්නේ දිනේෂ් පමණයි


මාර්තු මස මන්ත්‍රී වැටුප ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මූල්‍ය අංශයට මෙතෙක් නිල වශයෙන් ලිපියක් භාර දී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පමණක් බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.
අමාත්‍යවරයා මෙලෙස වැටුප් ප්‍රතික්ෂේප කරන්නේ එක්දිනක් පමණක් සභාව රැස්වූ බැවින් මාර්තු මාසය සඳහා මන්ත්‍රීවරුන් වැටුප් ලබානොගත යුතු බවට මර්වින් සිල්වා අමාත්‍යවරයා කළ යෝජනාවක් අනුවය. 2009 මාර්තු 09වන දින පාර්ලිමේන්තුව රැස්වූයේ හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීම සඳහාය. පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ බැවින් මේ මාසය සඳහා මන්ත්‍රීවරුන්ට වැටුප් නොගෙවිය යුතුව තිබුණි.
නමුත් එක් දිනක් සඳහා මැති සබය යළි රැස්වූ බැවින් මන්ත්‍රීවරුන් 225දෙනාටම මාර්තු සඳහා යළි වැටුප් හිමිකම් හිමිවිය. රුපියල් මිලියන දහසයක වියදමක් මාසිකව මන්ත්‍රී වැටුප් සඳහා දරන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය සදහන් කළේය. එබැවින් එක් දිනක් පමණක් පාර්ලිමේන්තු පැමිණ වැටුප් ලබාගැනීම නුසුදුසු බව පවසමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා යෝජනාවක් සභාවට ගෙන ආවේය. එහෙත් යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයාවත් මෙතෙක් තම මූල්‍ය වරප්‍රසාද ප්‍රතික්ෂේප කරමින් ලිපියක් නිල වශයෙන් යොමුකර නැති බව පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශය පවසයි.
මාර්තු මස වැටුප ප්‍රතික්ෂේප කර ලිපිය භාරදී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පමණි. මන්ත්‍රී වැටුප් ගෙවීමට නියමිතව තිබෙන්නේ මාර්තු 26 සහ 27 දිනවලය. adadera

ජනතා ගැටලු විසඳන ආණ්ඩුවක් හැදිය යුතුයි


ජනාධිපතිවරණ ප්‍රතිඵලය මහජන අධිකරණයේ විභාග කරන අවස්ථාවට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ලබන 8 වනදා පැවැත්වෙන මැතිවරණයෙන් ජනතාව ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් දෙනු ඇති බව අත්තනායක මහතා සඳහන් කරයි. පසුගිය මැතිවරණ ප්‍රතිඵලය නොසලකා ජනතා ගැටලු විසඳීම සඳහා වූ ආණ්ඩුවක් නිරිමාණය කිරීමට පෙළ ගැසිය යුතු බව කඩුවෙල එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මහින්ද චින්තනයේ නොමැති ජනතාවාදී සහන රැසක් අන්තර්ගත බවද තිස්ස අත්තනායක මහතා එහි දී ප්‍රකාශ කළේය.ADADERANA

නව විනිසුරු මඩුල්ල ජනපතිගේ අනුමැතියට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වන දෙවන යුද අධිකරණය සඳහා නම් කළ නව විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ‍ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මේ සඳහා නම් කළ විනිසුරුවරුන් තිදෙනෙකුගේ නාම ලේඛනය අද දිනයේ ජනාධිපතිවරයා ‍වෙත යොමු කිරීමට නියමිතය. යුද හමුදාවට භාණ්ඩ මිල දී ගැනීම සම්බන්ධයෙන් වන පිළිවෙත් සහ රෙගුලාසි වලට පටහැනිව ක්‍රියාකිරීමට අදාළ චෝදනා යටතේ මෙම යුද අධිකරණයේ නඩු විභාග කෙරෙනු ඇත.
පළමු යුද අධිකරණයේ විනිසුරු මඩුල්ල, දෙවන යුද අධිකරණය සඳහා ද නම් කර තිබූ අතර ඊට එල්ල වූ විරෝධතා මත එම යුද අධිකරණය සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කෙරුණි. පසුගිය 17 වන දා රැස් වූ දෙවන යුධ අධිකරණය ඒ අනුව දින නියමයක් නොමැතිව කල් දැමුණි. adaderana

කාන්තාවන්ට රට ගැන විශාල වගකීමක් තිබෙනවා


රටේ ජනගහනයෙන් සියයට 52 ක් පමණ වන කාන්තා පරපුරට මෙරට අයීතීන් සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
රාජ්‍ය පාලනයට සුදුස්සන් ‍තෝරා ගැනීම සඳහා කාන්තාවන්ට ලැබී ඇති අයිතිය ඉතා වැදගත් බව ඇය පෙන්‍වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාතර කාන්තා බල මණ්ඩලය රැස්වීම අමතමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙම අදහස් පළ කළේය. මෙරට සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයක් ඇති කර ජනතාවගේ සුබ සාධනය ඇති කිරීම සඳහා වූ සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය ලබා දෙන බව එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇය කියා සිටියේය. adaderna

ලෝක බැංකුවෙන් ප්‍රශංසාවක්


පාසල් සිසුන්ට නිසි කලට පෙළ පොත් බෙදා හැරීම සම්බන්ධයෙන් ලෝක බැංකුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ප්‍රශංසා කර තිබේ.
පෙළ පොත් මිලියන 29 .5 ක ප්‍රමාණයක් සියයට සියයක්ම සාර්ථකව බෙදා හැරීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ඇගයීමට ලක් ව ඇති බව නිවේදනයක් නිකුත් කිරමින් එම අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මෙම කාර්යභාරය ලෝක බැංකුවේ ඇගයීමට ලක් වූ දෙවන අවස්ථාව මෙය වේ. මේ අතර පෙළ පොත් නැවත භාවිතයෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 85 ක මුදලක් ඉතිරි කර ගත හැකි වූ බව පවසන අධ්‍යාපන අමාත්‍යාංශය 2010 වසරේ දී එය රුපියල් කෝටි 101 ක් වූ බව ද සඳහන් කරයි. adaderana

ආතර් සී ක්ලාක් ගුණ සමරුව අද


ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ දෙවන ගුණ සමරුව අදට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් විශේෂ ගුණ සමරු දේශනයක් ලබන 24 වන දා පැවැත්වීමට නියමිතය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී එය පැවැත්වේ.
ආතර් ශ්‍රී ක්ලාක් මහතාගේ දෙවන ගුණ සමරු දේශනය ඉන්දියාවේ විද්‍යා හා තාක‍්ෂණ අමාත්‍යාංශ ලේකම් ටී.රාමසාමි මහතා විසින් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා දිවයිනට පැමිණෙන රාමසාමි මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ප්‍රවර්ධනය කීරිම කෙරෙහි ද සාකච්ඡා කිරීමට සැලසුම් යොදා ඇත. adadera

10වන තරගයේ ජය රෝයල් චැලෙන්ජර්ස්ට


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති දහවන තරගයෙන් රාජස්ථානු රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුළු 10ක ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් විය.
කාසියේ ‍වාසිය දිනා ගත‍්තේ බැංගලෝර් කණ්ඩායමයි. ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන් අතර සියලු දෙනා දැවී එම කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 92 ක් පමණි. පන්දු යැවීමේදී ප්‍රවීන් කුමාර සහ අනීල් කුම්‍බ්ලේ කඩුළු 3 බැගින් දවා ගත්තේය.
පිළිතුරු වශයෙන් බැංගලෝර් කණඩායම කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසු කළේය. එහි දී මානීෂ් පාණ්ඩේ ලකුණු 42 ක් සහ ජැක් කාලිස් 44 ක් ලබා ගැනීමට සමත් විය. මේ අතර දිල්ලි සහ චෙන්නායි කණ්ඩායම අතර තරගයත් ඩෙකෑන් සහ පන්ජාබ් කණ්ඩායම අතර තරගයත් අද පැවැත්වේ. adadera