Sunday, June 20, 2010

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් අල්ලයි


නීතී විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ. මීගමු ප්‍රදේශයේ දී මෙම දුම්වැටි තොගය ‍තම නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.

දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බව ද සඳහන්ය. දුම්වැටි තොගය සමග සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුට ගෙන ඇති බව ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය. එම දුම්වැටි තොගය නීතී විරෝධී ලෙස මෙරටට ආනයනය කළ ඒවා බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana

පොසොන් පොහොයට විශේෂ දුම්රිය සේවාවක්


එළඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ලබන 23 වැනි දින සිට 27 වන දින දක්වා මෙම විශේෂ දුම්රියේ සේවාව ක්‍රියාත්මක කරන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. adaderana

මිල වැඩිවුවත් පැකට්ටුවේ මිල අයකළ යුතුයි -ජොන්ස්ටන්


කිරිපිටි මිල වැඩි වුවද කිරිපිටි පැකැට්ටුවෙහි මුද්‍රිත මිල පමණක් අයකළ යුතු බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජෝන්ස්ටන් ‍ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දෙනු ලැබීය. ඒ අනුව ග්‍රෑම් 400 ක් වන කිරිපිටි පැකට්ටුවක් රුපියල් 19 කින් සහ කිලෝග්‍රෑම් 1 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 48 කින් ඉහළ යනු ඇත.

එහෙත් නව මිල ගණන්, කිරිපිටි පැකැට්ටුවක මුද්‍රණ වන තෙක් මුද්‍රණය කර ඇති මිලට එය පාරිභෝගිකයාට ලබාදීමට වෙළඳසැල් හිමියන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි. එසේ නොමැතිව මුද්‍රිත මිල වෙනස් කර වෙනත් මිලක් සටහන් කර කිරිපිටි අලෙවිකරන වෙළඳසැල් හිමියන් වැටලීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර මේ මාසය තුළ පමණක් මිල දර්ශන ප්‍රදර්ශනය නොකළ වෙළඳසැල් තුන්සිය පනහක් වැටලීම් කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ලබන සතියේ සිට හෝටල්වල මුළුතැන්ගෙයි පිරිසිදුකම් සම්බන්ධයෙන් සොයා බැලීමට දිවයිනපුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමී මර්සුක් මහතා පවසයි.adaderana

සෞඛ්‍යදාන නිර්මාතෘගේ අවසන් කටයුතු සඳුදා


අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන ව්‍යාපාරයේ නිර්මාතෘ සම්මානනීය අධ්‍යක්ෂ ජෙනරාල් දොස්තර වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු 21 වන සඳුදා දින පස්වරු 2 .30 ට මොරටුවේදී සිදුකිරීමට නියමිතය. මියයන විට ඒ මහතා 81 වන වියෙහි පසුවිය. වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය ද, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මහජන සෞඛ්‍ය පිළිබඳව උපාධියක් ද ලබා තිබේ.

ඒ මහතා 1960 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය බිහිකරනු ලැබීය. සුව සේවය හරහා ප්‍රජා සංවර්ධනයට හා සමාජ සේවයට කැපවූ වෛද්‍ය අමරනාත් සිල්වා මහතාට ලෝ ප්‍රකට ඇල්බර්ට් ස්වට්සර් සම්මානය ද 2000 වසරේදී පිරිනැමුණි.
adaderana

සියලු අනවසර ඉදිකිරීම් ඉවතට


නාගරික ජනාවාස පවත්වාගෙන යාමට බාධාකාරී වන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට පියවර ගන්නා බව ඉදිකිරීම්, ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද පෙරවරුවේ මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී එම නිවාස සංකීර්ණය ආශ්‍රිතව වෙසෙන ජනතාවගේ පොදු ගැටලු විසඳීම සඳහා ජංගම සේවාවක් ද ක්‍රියාත්මක‍ කෙරුණි.

කළමනාකරණ සංස්ථා පවත්වාගෙන යාමට බාධාවන ආකාරයෙන් පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බව එම අවස්ථාවට සහභාගී වෙමින් විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. නිවාස ව්‍යාපෘතිවල වෙසෙන ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමේ අරමුණින් ඉදිරියේදීත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. adadenra

උතුරේ ජනතාව නැංවීමේ රජයේ කාර්යය ප්‍රශංසනීයයි -යසුෂි


උතුරේ ජනජීවිතය නගා සිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බව ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා පවසයි. අකාශි මහතා අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ මේ කරුණු ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙරට සංවර්ධන කටයුතු සඳහා ජපන් රජය අඛණ්ඩව සහය ලබාදීමට කටයුතු කරන බව ද අකාශි මහතා ප්‍රකාශ කර තිබේ. එල්. ටී. ටී. ඊ පාලන කාලය තුළ තමා කිලිනොච්චියේ සංචාරය කළ බවත් එම කාලයට සාපේක්ෂව අද වන විට කිලිනොච්චිය සුවිසල් වෙනසකට ලක්ව ඇති බව ද අකාශි මහතා ප්‍රකාශ කළේය. තිරසාර සාමයක් වෙනුවෙන් රජය ඉටුකරන කාර්යභාරය උතුරු ප්‍රදේශයේ සිදුවන සංවර්ධනය තුළින් පෙනී යන්නේ යැයි මෙම හමු‍වේ දී අකාශි මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana