Saturday, March 27, 2010

හම්බන්තොට‍ වරායේ පළමු අදියර අගෝස්තු මාසයේ අවසන්


හම්බන්තොට‍ වරායේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ අගෝස්තු මාසය වන විට අවසන් කළ හැකි බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 360 ක මුදලක් වැය වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. පළමු අදියර අවසන් වීමත් සමග එම වරාය සඳහා පැමිණෙන පළමු නෞකාව නොවැම්බර් මාසය වන විට යාත්‍රා කරනු ඇති බවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. එම නෞකාව මගින් රබර්, සීනී ඇතුළු මෙරට නිෂ්පාදිත අපනයනය කිරීමට හැකි වන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. adaderana

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට


ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට දිනයේ ද සිදුකෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍ය නිවාඩු දිනයක් වුව ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය ලෙස හෙට දිනය ක්‍රියාත්මක වන බව සඳහන්ය. මෙම කටයුතු සදහා තැපැල්කරුවන් 8,000 ක පිරිසක් යොදවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වතු ආශ්‍රිත ප්‍රදේශවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් පමණක් තැපැල්කරුවන් 400 දෙනෙකුට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන තිබේ. ලබන 31 වැනිදා දක්වා මෙම කටයුතු සිදුකෙරෙන අතර එම පත්‍රිකා නොලැබුණු අයෙකු වෙතොත් ඉන් පසුව ද තම අනන්‍යතාව තහවුරු කර ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් අදාළ පත්‍රිකාව ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. adaderana

ජවිපෙ ප්‍රධානතම සතුරා මමයි- ලක්ෂ්මන්


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානතම සතුරා බවට තමන් පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් තරග කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රබල මතවාදයක් ගෙනයාම ඊට හේතුව බව ඒ මහතා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවී තරග කළේ නම් එක්සත් ජාතික පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසනවලින් 30 කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුවන බව ඒ මහතා අවධාරණය කරයි. හාලිඇල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මේ අදහස් පළ කළේය. adaderana

වී මිල තීරණය කිරීමේ අයිතිය ගොවි ජනතාවට


එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ‍වී මිල තීරණය කිරීමේ අයිතිය ගොවි ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජනතාව අමතක කර කටයුතු කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ගබඩා පහසුකම් සහ ගොවි ජනතාව සතු මුදල් ඇත්නම් ඔවුන්ට අඩු මිලට වී විකිණීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බව ඒ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මහතා මේ අදහස් පළ කළේ පොළොන්නරු‍වේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි. adaderana

කාන්තාවන්ගේ දුක නිවීමට ජනපති සමත් වී තිබෙනවා


මෙරට කාන්තාවන්ගේ දුක් ගිනි නිවීමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇති බව අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා පවසයි.
දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත් වූයේ කාන්තාවන් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. හම්බන්තොට පැවති කාන්තා හමුවක් අමතමින් ඩලස් අලහස්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. adaderana

මාතලේ නිවාස රැසකට සුළඟින් හානි


මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා හඹා ගිය සුළඟක් හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනයේ බලපෑ මෙම සුළං තත්ත්වය හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇතාබැදිවැව සහ ‍පන්නම්පිටිය යන ප්‍රදේශවල නිවාස 16 ක් හානියට පත්ව ඇති බව වාර්තා වේ. ඉන් නිවාස 4 ක් මුළුමනින්ම විනාශ වී ඇති බව මා‍‍තලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් පවුල් 22 ක් පමණ අවතැන්ව ඇති අතර එම පවුල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර අකුණු සැර වැදීමක් හේතුවෙන් නාවුල, අරංගලවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. adaderana

රත්නපුර රිය අනතුරකින් කාන්තාවක් මියයයි


රත්නපුර, පානදුර මාර්ගයේ ඉංගිරිය රෝහල අසල සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද දහවල් 1ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. පානදුර සිට රත්නපුර බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලොරි රථය අසල සිටි කාන්තාවක බව සඳහන්ය.
මෙම සිද්ධියත් සමග කුපිත වූ ප්‍රදේශවාසීන් බස්රථයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බව අප වාර්තාකරු පැවසුවේය. මේ හේතුවෙන් මේ වන විට රත්නපුර හා පානදුර අතර පෞද්ගලික බස්රථ ධාවනය තාවකාලිකව ඇණ හිට තිබේ.adaderana

බන්ධනාගාර රැඳවියන්ට නව පුනරුත්ථාපන කලාපයක්


මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් දඩුවම් නියම වූ බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ආරක්ෂිත පුනරුත්ථාපන කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
එවැනි නව ආරක්ෂිත පුනරුත්ථාපන කලාප 3 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. මහනුවර, පල්ලෙකැලේ හා බදුල්ල, තල්දෙන යන ප්‍රදේශවල එවැනි බන්ධනාගාර ස්ථාපිත කර ඇති අතර හම්බන්තොට වීරවිල ප්‍ර‍දේශයේ තවත් එවැනිම බන්ධනාගාරයක් ස්ථාපිත කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රැඳවියන් සමාජගත කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ සංවිධානවල සහය ලබාගන්නා බව ද අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දඩුවම් නියමවූ පුද්ගලයින් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් එකම බන්ධනාගාරයක් තුළ රැඳවීමෙන් සිදුවිය හැකි අයහපත සලකා බලා මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි. adaderana

අධික වර්ෂාවෙන් නිවාස කිහිපයකට හානි


නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය වනරාජා වතු යායේ නිවාස කිහිපයකට හානි සිදුවී තිබේ.
වතු නිවාස 5 ක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු මේ වන විට අවතැන්ව සිටින බව අප වාර්තාකරු පැවසුවේය. තේ දළු එකතු කිරීමේ මධ්‍යස්ථානයක එම පිරිස තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. එම පිරිසට අවශ්‍ය වියළි ආහාර සලාක දින 14 ක් පුරා ලබාදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා‍, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී ඇත. adaderana

එල්.ටී.ටී.ඊ.යට සහය දැක්වූ අයෙක් අත්අඩංගුවට


එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වීමේ චෝදනාව මත පුද්ගලයෙකු ජර්මනියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුල්‍යාධාර සපයා ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්ය. ටී.එම්. නම් අනුවර්ත නාමයකින් හැදින්වෙන මෙම පුද්ගලයා දෙමළ සම්බන්ධීකරණ නම් කමිටුවේ ජර්මන් ශාඛාවේ ප්‍රධානත්ව‍ය දරමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සපයා ඇති බවට අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා ජර්මනියේ සිටින දෙමළ ජාතිකයින් බියවද්දා ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවටද ජර්මන් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.adaderana

හිතුමනාපයට ජාතික පාසල් හදන්න බෑ


පාසලක්, ජාතික පාසලක් කිරීම හිතුමනාපයට කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
ජාතික පාසලක් වීමට නම් නිසි ප්‍රමිතීන් තිබිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශිෂ්‍ය සංඛ්‍යාවක් වැඩිවූ පමණින් පාසලක් ජාතික පාසලක් බවට පත්කළ නොහැකි බව සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශිෂ්‍ය සංඛ්‍යාව සමග අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමේ ප්‍රතිශතය සියයට 80 ට වඩා ඉහළ යාම ජාතික පාසලක් කිරීමට මූලික වශයෙන් හේතු වන බව හෙතෙම අවධාරණය කරයි. කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව ජල ටැංකිය ඉදිකිරීම සඳහා මුල්ගල තබමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. adaderana

ජපානයෙන් බිලියන 46 ක ණය මුදලක්


ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 46 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය තීරණය කර ති‍බේ.
ව්‍යාපෘති කිහිපයක් සඳහා මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන බව ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලය පවසයි. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, නැගෙනහිර පළාතේ ජල සම්පාදන සංවර්ධන ව්‍යාපෘති, මහනුවර නගරයේ අපවිත්‍ර ජල කළමනාකරණ ව්‍යාපෘතිය සහ ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා මෙම ණය මුදල යෙ‍දවෙන බව සඳහන්ය. මීට අමතරව රුපියල් බිලියන 3 ක ආධාර මුදලක් ද ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත. adaderana

"මිහිකත හෝරාව" අද


හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම පිළිබඳව ලෝක නායකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මිහිකත හෝරාවක් අද පැවැත්වේ.
ශ්‍රී ලංකාව ද මෙම ‍මිහිකත හෝරාවට සම්බන්ධ වන බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද රාත්‍රී 8 සිට 9 දක්වා මිහිකත ‍හෝරාව පැවැත්වෙන බව සඳහන්ය. මෙම හෝරාව තුළ හරිතාගාර වායු විමෝචනයේ ශීඝ්‍රතාව අඩුකිරීම පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මිහිකත හෝරාව තුළ දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවල විදුලි පහන් නිවා දමා ඊට දායක වන ලෙස චක්‍රලේඛයක් අදාළ ආයතන වෙත නිකුත් කර ඇති බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි. adaderana

රටට වැඩ කරන අයට නිසිතැන


රටට වැඩ කරන අයට නිසිතැන ලබාදීමට තමා පසුබට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පක්ෂ, පාට, ජාති ආගම් වශයෙන් බෙදී නොසිට රටට වැඩ කළ යුතු කාලය එළඹ ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ඊයේ පස්වරුවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රට ගොඩනැගීමේ පරම බලය පැවරී ඇත්තේ ‍ජනතාවට බව එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම නිසි පරිදි ඉටුකළ හැකි නායකයින් පාර්ලිමේන්තුවට පත්කරලීම ජනතාවගේ වගකීම බව ද හෙතෙම අවධාරණය කරයි. adaderana