Friday, February 19, 2010

සන්ධානයේ ගම්පහ කණ්ඩායම් නායකයා බැසිල්


එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යේ අපේක්ෂකයින් අද සිය නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබීය. ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපේක්ෂකයින් 21 දෙනෙකු තරග වැදීමට නියමිතය.
කණ්ඩායම් උපනායකයා ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා කටයුතු කරයි. ජාතික හෙළ උරුමය පක්ෂයේ පුජ්‍ය අතුරලියේ රතන හිමි සන්ධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
ඊට අමතරව පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න, මර්වින් සිල්වා, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ගම්පහ දිස්‍ත්‍රික්කයෙන් සන්ධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙයි. ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජයනායක අමාත්‍යවරයා ද මීට ඇතුළත්ය.

ජ.වි.පෙ. මූලස්ථානය සෝදිසි කිරීමට පොලීසිය සැරසේ


ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල සෝදිසි කිරීම සදහා මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණි බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.
මාධ්‍ය ඒකකය පවසන ආකාරයට එම නිලධාරීන් පැමිණ ජනතා විමුක්ති පෙරමුණේ ‍කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සමඟ සාකච්ඡාකර කාර්යාලය සෝදිසි කිරීමට අවශ්‍ය බව දැන්වා තිබේ. නමුත් එම නිලධාරීන් සතුව කිසිදු සෝදිසි වරෙන්තුවක් තිබී නොමැත. එබැවින් ඒ සදහා ඉඩ දිය නොහැකි බව හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සෝදිසි වරෙන්තුවක් රැගෙන ඒම සදහා එම නිලධාරීන් පිටව ගොස් තිබේ.adaderana

ලක්ෂ්මන් සෙනවිරත්න ජෙනරාල්ට එරෙහි වෙයි


එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව රහස් පොලීසියට කටඋත්තරයක් ලබාදී ඇති බව “ලංකාටෲත්” වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබී තිබේ.
වාර්තාවන ආකාරයට, සෙනවිරත්න මහතා ඊයේ (18) රහස් පොලීස් නිලධාරීන් පිරිසක් හමුවේ මෙම කටඋත්තරය ලබාදී තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී තමන් සමග දේශපාලන සබඳතා පැවැත්වූ බවට සෙනවිරත්න මහතා මෙම කටඋත්තරය ලබාදී ඇත. එමෙන්ම දැනට ආණ්ඩුව හා එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ක්‍රියාකාරිකයකුවන ටැක්සි අබේ නොහොත් ගාමිණි අබේරත්න ද ජෙනරාල්වරයාට එරෙහිව මෙලෙස කටඋත්තර ලබාදී තිබේ.
මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා මහියංගනය නගරයේ සංවිධානය කළ ප්‍රධාන ජන රැළියට පවා සහභාගී නොවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින කිහිපය තුළම ලක්සෂ්මන් සෙනවිරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති බෝධි පූජා කිහිපයකටම සහභාගී වී තිබේ.

රනිල්ගෙන් රජයට චෝදනා


ආණ්ඩුව බුද්ධ ශාසනය විනාශ කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ව්‍යවස්ථාවට පටහැනිව යමින් ආණ්ඩුව එම කටයුත්තට එළඹ සිටින බව ඔහු සඳහන් කරයි. අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහෙත් කිසිවිටක සංඝයා භේද කිරීමට ආණ්ඩුව උත්සාහ නොකරන බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි. ජනාධිපතිවරණයට පෙර සිටම විවිධ ක්ෂේත්‍රයන්හි භේද ඇති කිරීමට උත්සාහ දැරුවේ විපක්ෂය බව ඔහු අවධාරණය කරයි.

26 දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනේ


ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
ලබන 26 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සිදුකරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මේ මස 22 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.
ඒ අනුව කාලය දීර්ඝ කිරීමත් සමග මැතිවරණ රාජකාරීවල නිරත වීමට අපේක්ෂා කරන රජයේ සේවකයින්ට තවදුරටත් තැපැල් ඡන්ද සදහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. adaderana

නව තානාපතිවරු හය දෙනෙක්


මෙරටට පත්වී සිටින නව තානාපතිවරුන් හය දෙනෙකු අද ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍ර ‍භාරදී තිබේ.
අද පෙරවරුවේ දී එම පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනාධිපති කාර්යා‍ලයේදී අක්ත පත්‍ර භාරදීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. නේපාලය, ප්‍රංශය, බල්ගේරියාව, සුඩානය, සර්බියාව සහ පින්ලන්තය යන රටවලින් නව තානාපතිවරුන් පත්වී සිටියි. adaderana

පොදු කරුණු වලදී ජවිපෙ සමඟ එකඟයි


ඉදිරි මැතිවරණයේ දී වෙන් වෙන්ව තරග කළ ද පොදු කරුණු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ජනාධිපතිවරණයේ දී ද මේ අකාරයෙන් වෙන් වෙන් වශයෙන් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ බව ඔහු පෙන්වාදෙයි. එම මැතිවරණ‍යේ දී ද ජනතා විමුක්ති පෙරමුණ සහ තම පක්ෂය අතර සන්ධානයක් නොතිබූ බව තිස්ස අත්තනායක මහතා අවධාරණය කරයි.
කෙසේ වුවද තම නව සන්ධානය සමඟ එක් වීමට එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් අවස්ථාව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ප්‍රකාශ කළේය. adaderana

හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව


හැඳුනුම්පත් නොමැති පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.ජී ධර්මදාස මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයේ දී හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කළ සියලු දෙනාටම පාහේ හැඳුනුම්පත් නිකුත් කිරීමට හැකි වූ බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
එම මැතිවර‍ණයේ දී ඉහළ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කිරීමෙන් ඡන්ද දායකයන් වැඩි පිරිසක් කුමන හෝ අන්‍යනතා සහතිකයක් ලබා ගෙන ඇති බව පැහැදිලි වන්නේ යැයි ද ඒ.ජී ධර්මදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana