Sunday, March 21, 2010

අනෝමා ෆොන්සේකාගෙන් පැය තුනක් තිස්සේ ප්‍රශ්න කරයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරුවේ පැය 3කට වඩා වැඩි කාලයක් ප්‍රශ්න කර තිබේ.
අද පස්වරු 4.00ට පමණ ශාන් අබේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් පිරිසක් පැමිණ පස්වරු 7.10 පමණ වන තෙක් අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් ප්‍රශ්න කළ අතර එම නිලධාරීන් ප්‍රශ්න කිරීම නතර කර ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට රාත්‍රී ආහාරය රැගෙන යායුතු බව අනෝමා ෆොන්සේකා මහත්මිය දැන්වීමෙන් අනතුරුවය.
එහිදී අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් තවදුරටත් ප්‍රශ්න කළයුතු බව එම නිලධාරීන් පිරිස පවසා ඇති අතර රාත්‍රී ආහාරය රැගෙන යාමෙන් අනතුරුව යළි පැමිණෙන බව දන්වා එම නිලධාරීන් පිරිස පිටත්ව ගොස් තිබේ.lankatruth

රාජ්‍ය රහස් හෙළි කරමින් ජනාධිපතිවරයා මේ රට පාවාදුන්නා - විජිත හේරත්


වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිංගපුපූරුවේදී මාධය ආයතනයකට ලංකාවේ ආරක්ෂක මණ්ඩලය ගත් තීරණ පිළිබඳ කරුණු හෙළි කළ බවත්, මේ අනුව ජනාධිපතිවරයා රජයේ රහස් හෙළි කරමින් මහා පාවාදීමක් කර ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (21) කොළඹ රාජකීය මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.
"ජනාධිපතිවරයා පසුගියදා, සිංගප්පූරු ස්ටී‍්‍රට් මාධ්‍ය ආයතනයට ආරක්‍ෂක මණ්ඩලයේ ගත් තීරණ ගැන දැනුම් දී තිබෙනවා. ලංකාවේ ආරක්‍ෂක මණ්ඩලයට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ කරුණු විකෘති කොට පවසා තිබෙනවා. ආරක්‍ෂක මණ්ඩලයේ රහස් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දෙන්න, ජනාධිපතිවරයාට හෝ කිසිවකුට අයිතියක් නැහැ. ඒක මහා පාවාදීමක්.
රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ රහස් ජාත්‍යන්තර මාධ්‍යවලට දෙන්නේ ආණ්ඩුවමයි. එම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා මහතා හැඳින්වීමට ඉතා පහත් වචන භාවිත කර තිබෙනවා. අපේ රටේ නායකයා, හිටපු හමුදාපතිවරයා හැඳින්වීමට එවැනි වචන භාවිත කිරීම ගැන අපි ලජ්ජා විය යුතුයි. ඒ වගේම එය පිළිකුළෙන් හෙළා දකිනවා.

ආණ්ඩුව අද දේශපාලන පක්‍ෂවලට අත තියලා තිබෙනවා. නමුත් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, බොරු චෝදනා නැගීම්වලින්, මර්දනය කිරීම්වලින් අපව නතර කරන්න බැහැ. ආණ්ඩුව ඉදිරිපිට දණ ගහන්න අපි සූදානම් නැහැ. අපි ජනතාව හමුවට යනවා. මේ බොරු කුමන්ත‍්‍රණ පරාජය කර ජනතාව සමග ජයග‍්‍රහණය තෙක් යනවා.
අනෝමා ෆොන්සේකා මැතිණියට CIDයෙන් කතා කොට ප‍්‍රකාශයක් සටහන් කර ගන්න තිබෙනවා කියා තිබෙනවා. ඒ සඳහා අද සවස පැමිණෙන ලෙස CIDයට දැනුම් දී තිබෙනවා. අනෝමා ෆොන්සේකා මැතිණිය තමයි, සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මේ ගමන යන්නේ. ඒක නතර කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක සහෝදරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපි දෙකක් එවා තිබෙනවා. එහි තිබෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ ගැන ප‍්‍රශ්න කරන්න ලබන 23 හා 24 දිනවලදී එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන්න කියා. අනුර දිසානායක සහෝදරයා විශාල වැඩකොටසක් කරමින්, නායකත්වයදෙමින් කටයුතු කළා. ඔහු මර්දනය කරන්න, ඔහුගේ ක‍්‍රියාකාරීත්වය අඩපන කරන්නයි මේ හදන්නේ. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, මේ ක‍්‍රියාමාර්ගවලින් අපව නතර කරන්න බැහැ.
ජනාධිපතිවරණය නිම වූ පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආධාර කළ සියලූ දෙනාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කළා. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්තා. විශ‍්‍රාමික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළා. රඳවා ගත්තා. ප‍්‍රධාන කාර්යලයේ තේ හැදූවයසක තාත්තාත් අල්ලාගෙන ගොස් ප‍්‍රශ්න කර නිදහස් කළා. හිටපු මේජර් ජනරාල් සුනිල් සිල්වා මහතාට අධිකරණයෙන් අපේක්‍ෂිත ඇප ලබා දී තිබුණා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් ඔහු පවා අත්අඩංගුවට ගත්තා. උසාවි නියෝගයක්වත් පිළිනොගෙනයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ.
අනෝමා ෆොන්සේකා මහත්මිය,
"ඇමතිවරයෙක් කියා තිබෙනවා, වායු සමීකරණයක් හා උණු වතුර ඉල්ලූ පළමු සිරකරුවා මගේ සැමියා කියා. ඒ ඇමතිවරයා එහෙම කියන්න ඇත්තේ ජෙනරාල්තුමා ගැන තිබෙන වෛරය නිසා වෙන්න ඇති. ඔබ දන්නවා ඔහු රට වෙනුවෙන් යුද්ධයට ගිය කෙනෙක්. ඔහු නොමැරී බේරුනේ අනූ නවයෙන්. තවමත් ඔහුගේ පෙනහලූවල යකඩ කෑලි තිබෙනවා. ඒ නිසා වෛද්‍යවරුන් කියා තිබෙනවා, ඔහුට පිරිසිදු වාතය අවශ්‍ය බව. නැත්නම් පෙනහලූවල සෙම පිරෙනවා. ඒක ඉතාම අවදානම්. ඒ නිසා තමයි වායුසමීකරණයක් ඉල්ලූවේ. ඔහු ආසාවට තුවාල වූ කෙනෙක් නොවෙයි. වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.
අනෙක් කරුණ, අපි උණු වතුර ඉල්ලූවේ නැහැ. වෛද්‍යවරුන් තමයි කිව්වේ ඔහුට උණුවතුර දිය යුතුයි කියා. පුංචි සෙම්ප‍්‍රතිශ්‍යාවක්, කැස්සක්වත් හැදෙන්න හොඳ නැහැ. ඒක ඉතාම අවදානම්.
ජයන්ත කැටගොඩ මහතා,
"අපි ආණ්ඩුවට කියනවා, රහස් පොලිසියේ නිලධාරීන් ජනතාව අතරට යවන්න. එතකොට ජනතාව විඳින ආර්ථික පීඩාව, දුක දැනගන්න පුළුවන්. එවිට මීට වඩා හොඳ ගමනක් යන්න ආණ්ඩුවට පුළුවන්. ත‍්‍රස්තවාදය නැති කළ නායකයාටත් දැන් කොටි ඇඳුම අන්දන්න හදනවා. නමුත් මීට විරුද්ධව ජනතාව ලබන අට වැනිදා තීන්දුවක් ගන්නවා. ආණ්ඩුව යහපාලනයක නිරත වෙනවා නම් ජනතාව මර්දනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ."
සරත් මනමේන්ද්‍ර මහතා,
"ආණ්ඩුව රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ ගැන කතා කරනවා. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කළ කරුණා, පිල්ලෙයාන්, කේ පී කාගේ ළඟද ඉන්නේ. ඔවුන් ඉන්නේ ආණ්ඩුවේ.කෝ ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ නැද්ද? අද සරත් වීරසේකර සන්ධානයෙන් ඡන්දය ඉල්ලනවා. ඔහු අප සමග එක් වී සිටියා නම්, ඔහුටත් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ එල්ල කරනවා."Lankatruth

මහින්දානන්දට විරුද්ධව කෙහෙලිය ‍ජනපතිට කේළම් කියයි


පසුගිය 19 වැනිදා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මහනුවර කණ්ඩායම් නායක සරත් අමුණුගමගේ නම පමණක් සිය කතාවේදී ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඇමැති මහින්දානන්ද අලුත්ග‍මගේගේ ආධාරකරුවන් විසින් "හූ" කීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා කර ඇති බවත්, මේ අනුව මහින්දානන්ද හා කෙහෙළිය රඹුක්වැල්ල අතර මේ වන විට සීතල යුද්ධයක් හට ගෙන ඇති බවත් වාර්තා වේ.
ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැති මෙම රැලියට පැමිණි ජනාධිපතිවරයා සිය කතාවේදී සරත් අමුණුගමගේ නම පමණක් ප්‍රකාශ කර ඇත. මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් විසින් ඔහුගේ මනාප අංකය ප්‍රදර්ශනය කරමින් මහ හඬින් "හූ" කියා ඇත. මේ අවස්ථාවේදී සිය කතාව නතර කර ඇති ජනාධිපතිවරයා "මට ද හූ කිව්වෙ" යනුවෙන් විමසා ඇත. මේ අවස්ථාවේදී නැවතත් පිරිස අතරින් හූ හඬක් ඇසී ඇති අතර, මේ අවස්ථාවේදී කෝප වී ඇති ජනාධිපතිවරයා‍ "මේක නාවලපිටිය කියලද හිතන් ඉන්නෙ. පස්සෙ බලාගමුකො" යනුවෙන් පවසා සිය කතාව අතරමග නතර කොට පිටත්ව ගොස් ඇත.
මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් විසින් හූ කීමේ සිදුවීම කෙහෙළිය රඹුක්වැල්ලගේ ආධාරකරුවන් විසින් වීඩියෝ ගත කර ඇති අතර, මෙම වීඩියෝ ඇතුළත් සීඩී පටයක් කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත. මෙම වීඩියෝ පටයේ මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් හූ කියන ආකාරයත්, එම හූ කියන පිරිස මහින්දානන්දගේ මනාප අංකය ප්‍රදර්ශනය කරමින් සිටින ආකාරයත් දක්වා ඇත.
මෙම සිදුවීමෙන් මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ හා කෙහෙළිය රඹුක්වැල්ල අතර සීතල යුද්ධයක් ආරම්භව ඇති අතර, මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිය මැතිවරණ වේදිකාවලදී "යූඇන්පියෙන් පැනපු උන්ට මනාප දෙන්න එපා" යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.lankatruth

ෆොන්සේකාගේ හඬ චැනල්-4 ට ගෙන ගියේ විපක්ෂයයි


අද රටේ ඕනෑම තැනකින් ස්වයංක්‍රීය ගිනි අවියක් සොයා ගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ත්‍රස්තවාදය තුරන් කළද ත්‍රස්තවාදය නිසා හිස එසවූ අතුරුඵල බොහොමයක් පවතින බවත්,පාතාලය මෙන්ම රට තුළ සිදුවන නොයෙක් අක්‍රමිකතා වලට හේතුව එය බවත් හෙතෙම කියා සිටියි.
ත්‍රස්තවාදය තුරන් කළ පරිද්දෙන්ම එහි අතුරුඵල ද තුරන් කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ අද සවස රාගම-බටුවත්ත ප්‍රදේශයේ පැවති විශේෂ ජන හමුවක් අමතමිනි.
රටට ආදරය යයි කියා ගනිමින් මහා පරිමාණ පෝස්ටර්,කටවුට් හා පුවත්පත් වල දැන්වීම් පළ කර ගන්නා විපක්ෂයේ උදවිය චැනල්-4 වැනි විදෙස් මාධ්‍යයන් හරහා ජාත්‍යන්තරයට රට පාවා දෙමින් සිටින වග ඔහු පෙන්වා දුන්නේය.
හමුදා අත්අඩංගුවේ පසුවන සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ චැනල්-4 මාධ්‍ය ආයතනයට ලැබෙන්නට සලස්වා ඇත්තේ විපක්ෂයේ රටට ආදරයේයැයි කියා ගන්නා උදවිය විසින්ම බව ආරක්ෂක ලේකම් වරයා පැවසීය.
යුද්ධය තීරණාත්මකව පැවති අවධියේ ජාත්‍යන්තර"කොටි හඬ"ලෙස ක්‍රියා කළ චැනල්-4 ආයතනය රජයේ හමුදා විසින් දෙමළ ජනයා ඝාතනය කරන බවට බොරු ප්‍රවෘත්ති මවා පාමින් රට අපකීර්තියට පත් කළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේය. adaderana

ඉන්දික සහ ජොනී වෙනුවට අභිනව මන්ත්‍රීවරුන් දෙදෙනෙක්


හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් වෙනුවට ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් නම් කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන්ගේ නම් මේ වන විට දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාලයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලැබී තිබේ.
ඒ අනුව එකී නම් වලට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබුණු වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නම් කෙරුණු ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් නීත්‍යනුකූල ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික බණ්ඩාරනායක සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය වෙනුවට කිසිවෙකුත් අභිනව මන්ත්‍රීවරුන් ලෙස නම් නොකළ බවත්,කුරුණෑගල දිස්ත්‍රීක් එ.ජා.ප ලැයිස්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාට පහළින් මීළඟට පිළිවෙළට ඇති දෙදෙනා නිරායාසයෙන් ම මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වීම සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
එබැවින් මැතිවරණ ආඥා පනතට අනුව ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම කිසිසේත්ම නොවැළැක්විය හැක්කක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය..
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ..
ඉන්පසු එ.ජා.පයෙන් නෙරපා හැරීමෙන් පසු පක්ෂ නායකත්වයේ හා මහ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ඔවුන් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර ඒසේ වූ හෙයින් මොවුන් දෙදෙනා සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී..
හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීමට යළි අවස්ථාව උදා කර ගත යුතු හෙයින් ජනාධිපතිවරයාට පැවරුණු බලතල ප්‍රයෝජනයට ගෙන යළි පාර්ලිමේන්තුයව කැඳවන ලද නමුත් එය නියෝජනය කිරීමට මොවුන් දෙදෙනාටම හැකියාවක් නොවුණේ ඒ වන විටත් පක්ෂ මහ ලේකම් වෙත පැවරුණු බලය ප්‍රයෝජනයට ගෙන මොවුන් පක්ෂයෙන් නෙරපා හැර සිටීමත්,එකී තීරණය අභියෝගයට ලක් කරමින් නීතිමය තීන්දුයක් ප්‍රකාශයට පත් නොවී තිබීමත් නිසාය..
ඒ අනුව නුදුරු දින අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ලෙස ප්‍රකාශයට පත් වන ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් එළඹෙන මහ මැතිවරණයෙන් අභිනව පාර්ලිමේන්තු සැසි වාරය අප්‍රේල් මස 22 වන දින පැවැත්වෙන තෙක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කරනු ඇත.adaderana

විපක්ෂ නායකවරයා මහනුවරට සතුරුකම් කරනවා


අප්‍රේල් අග හෝ මැයි මස මුල් සතියේ නව අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එස්.බී.දිසානායක මහතා පවසයි.
පසුගිය කාලය තුළ යෙදවු මුදල් මෙන් හය ගුණයක මුදලක් ග්‍රාමීය සංවර්ධනය සඳහා ඉදිරි අය වැය මගින් වෙන් කරන බව ඔහු සඳහන් කරයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කරන ලදී. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විපක්ෂ නායකවරයා විසින් කළ හැකි දරුණුතම සතුරුකම් සිදුකරමින් සිටින බවයි.
ලැබෙන්නට නියමිත මන්ත්‍රීධූර විකුණා දමමින් විපක්ෂ නායකවරයා මෙම ද්‍රෝහීකම් කරන බව හෙතෙම කියා සිටියේය. adadera

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කොල්ලකරුවන් එක්ක සාකච්ඡා


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීමට අදාළ නෞකාව අයත් සමාගම සහ කොල්ලකරුවන් අතර සාකච්ඡා ආරම්භ කර තිබේ.
අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයන් පිරිස නිදහස් කිරීමට ඩොලර් මිලියන 20ක කප්පම් මුදලක් ගෙවිය යුතු බව කොල්ලකරුවන් විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් කොල්ල‍කරුවන් සහ නෞකාව අයත් සමාගමේ නිලධාරීන් සාකච්ඡා කරනු ඇති බව සඳහන් වේ. ශ්‍රී ලාංකිකයන් පිරිස කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව දැනට සති තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ.
කෙසේ වුවද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා වන අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සාමාජිකයන්ට ද නෞකාවට ඇතුළු වීමට කොල්ලකරුවන් අවසර දී තිබුණු බව වාර්තා විය. adaderana

ළමා සොල්දාදුවන්ට ක්‍රිකට්


එල්.ටි.ටි.ඊ. සංවිධානයට බැඳී ක්‍රියා කළ ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා"යුනිසෙෆ්"සංවිධානයේ සහය ලැබී තිබේ. රජය සමග එක්ව මේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.
මොවුන් විවිධ ක්‍රීඩාවන් මෙන්ම වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීම එහි එක් පියවරකි. ඒ අනුව කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ එල්.ටි.ටි.ඊ ළමා සොල්දාදුවන් ඉලක්ක කරගෙන ක්‍රිකට් පුහුණු කඳවුරක් ස්ථාපිත කිරීමට ද නියමිතය.
දින 5 ක කාලයක් මෙම පුහුණු කඳවුර පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද අනුග්‍රහය ලැබෙන බව සඳහන් වේ. adaderana

අනෝමාගෙන්,අනුර‍ගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වා ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
ඒ අනුව අද සවස එකී ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා කටයුතු යොදන බව තමන්ට ඊයේ දැනුම් දුන් බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියාය.
ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව දන්වා ඇතැයි ප්‍රචාරක ලේකම් විජිත ෙහ්රත් මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විජිත හේරත් මහතා කියා සිටියේ 23-24 යන දෙදින තුළ එකී ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බව දැනුම් දී ඇති බවයි.
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළ බවට බොරු චෝදනා නඟා අත්අඩංගුවට ගනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කළ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකිව යුද අධිකරණය අසරණ වී ඇතැයි ද විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය. ඒ හේතුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ දේශපාලන නායකයින්ගෙන් පවා ප්‍රශ්න කරන තැනකට ආණ්ඩුව තල්ලු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය/adaderana

ආණ්ඩුව දුප්පතුන්ගේ ගැටලු හඳුනන්නේ නෑ


දුප්පතුන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලව ක්‍රියාත්මක වන ආණ්ඩුවක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වත්මන් ආණ්ඩුවෙන් ධීවරයින්ගේ , කම්කරුවන්ගේ , ගොවීන්ගේ අවශ්‍යතාවන් ඉටු නොවන බව හෙතෙම කියා සිටියි.
එළඹෙන මහමැතිවරණයෙන් දුප්පතුන්ගේ ගැටලු හඳුනන එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එහෙත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් පවසන පරිදි එය ජනතාව අතර ජනප්‍රිය නොවන බව හෙතෙම පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ ජනතාව අතර ආණ්ඩුව ජනප්‍රිය නම් විපක්ෂයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම නතර කළ යුතු බවයි.adaderana

ලෝක බැංකුවෙන් මිලියන 300 ක්


උතුරු පළාතේ පාසල් සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකුව මූල්‍යාධාර සැපයීමට පියවර ගෙන තිබේ.
ඒ යටතේ ලබා දීමට නියමිත මුදල රුපියල් මිලියන 300 ක් වන අතර දැනටමත් එයින් රුපියල් මිලියන 33 ක මුදලක් ලැබී ඇති බව සඳහන් වේ.
එම මුදල පාසල් දහසක බෙදා හැරීමට පියවර ගෙන තිබේ. යුද ගැටුම් හේතුවෙන් හානියට පත් පාසල් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමටත් අලුතින් ගොඩනැඟිලි ඉදි කිරීමටත් මෙම මුදලින් කොටසක් යෙදවීමට නියමිතය.
ඊට අමතරව පරිගණක , විද්‍යාගාර ආදී පහසුකම් සැපයීමට ද මෙමඟින් අපේක්ෂා කෙරෙයි.adaderana

විදුලි සේවකයින් දෙදෙනෙකු මරුට


අම්බලන්තොට , සූරිය වැව ප්‍රදේශයේ සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
සූරිය වැව ගල් වැව මංසන්ධියේ විදුලි කණුවක නඩත්තු කාර්යයක නිරතව සිටි සේවකයින් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන් වේ.
සේවකයින් අතින් විදුලි කම්බියක් මාර්ගයට වැටී ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක එම විදුලි කම්බිය පැටලී අඩි 60 ක් පමණ ඈතට ඇදී ගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ නිසා විදුලි කණුවේ නැඟ කිසියම් කාර්යයක නිරත වී සිටි සේවකයින් දෙදෙනා එයින් ඇද වැටී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ.
අනතුරින් තවත් සේවකයෙකුද තුවාල ලබා තිබේ.adaderana

අශීලාචාර මැතිවරණ ක්‍රමයට වෙනසක්


පවතින අශීලාචාර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසයි.
පවතින මැතිවරණ ක්‍රමය නිසා ප්‍රදේශයේ ජනතාවට සෘජුව වග කියන මන්ත්‍රීවරයෙකු පත් නොවන බව ඔහු පෙන්වා දෙයි. මැතිවරණ කොට්ඨාස මට්ටමින් ඊ‍ට වගකිව හැකි මන්ත්‍රීවරයෙකු පත් කර ගන්නා මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම යු‍ගයේ අවශ්‍යතාවක් වී ඇති බව ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියි.
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දෙයි.
ඔහු තවදුරටත් පවසන්නේ මෙම මැතිවරණය ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි වසර 6 ක කාලය තුළ දී රට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන බවයි. adaderana

වෙඩි තැබීමෙන් අයෙකුට තුවාලයි


කාත්තන්කුඩි , කල්මුණේ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඊයේ රාත්‍රී 9.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව සඳහන් වේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශ‍යේ පදිංචි 48 හැවිරිදි ෂරීඩ් නගර් නැමැත්තෙකි.
ඔහු නිවස බලා යමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කාත්තන්කුඩි පොලිසියේ නිලධාරීන් සිදු කළ පරීක්ෂණයක දී වෙඩි තැබීම සිදු වූ ස්ථානය අසළ තිබී පිස්තෝල උණ්ඩ 7 ක් ද සොයා ගෙන ඇති බව සඳහන් වේ. adaderana

එක්සත් ජාතීන් එක්ක සබඳතා පළුදු නෑ


ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සබඳතා පළුදු වී නොමැති බව එම සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ විවිධ කේෂ්ත්‍ර පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි. මෙවැනි අවස්ථා බොහෝමයක් ඉතිහාසය තුළ දක්නට තිබූ බව හෙතෙම පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ලියන් පැස්කෝ මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ රජය කළ ආරාධනාවකට අනුව බව පාලිත කොහොන මහතා පවසයි.
ආචාර්ය පාලිත ‍කොහොන මහතා මේ බව පවසා ඇත්තේ විදෙස් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාව පිළිබඳව තමාට උපදෙස් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමක දී ආචාර්ය පාලිත කොහොන මහතා පවසා ඇත්තේ මේ පිළිබඳව ශ්‍රී ලංකා ‍රජයේ ස්ථාවරය දැනටමත් පළ කර ඇති බවයි.
රටක අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමේ අයිතිය එම රට සතුව තිබිය යුතු බව පාලිත කො‍හොන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.adaderana