Monday, May 3, 2010

අලියා නැඟිටුවන්න දයාසිරිගෙන් තල්ලුවක්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනාවලියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබේ..
අද පස්වරුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා‍ හමුවීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා විසින් අදාළ ‍යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළව යෝජනා 5 ක් මීට ඇතුළත් බව දයාසිරි ජයසේකර මහතා අද දෙරණ කළ විමසුමකදී සඳහන් කළේය.
කෙසේවෙතත් මීට පෙර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ද පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළව යෝජනා රැසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම යෝජනාවලිය පසුව එ.ජා.ප කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමකදී සාකච්ඡාවකට බඳුන් කරනු ඇතැයි කියැවේ. adderana

සජිත්ට යූ.ඇන්.පියේ උප නායකත්වය..?


දැනට එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ධූරයක් දරන හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ උප නායකධූරයට පත් කීරීමට පක්ෂ නායකත්වය හා කෘත්‍යධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මැයි මස 05 වන දින අදාළ පත්වීම සිදුකරනු ලැබීමට නියමිත බව සඳහන් වේ. මෙතෙක් පක්ෂයේ උප නායක ධූරය දැරූ රුක්මන් සේනානායක මහතා පක්ෂයේ දැරූ තනතුරු වලින් අස්වීමත් සමග උප නායක ධුරය පුරප්පාඩුව පැවතිණි.
එසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රුක්මන් සේනානායක මහතා පසුගිය දා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ තමාගේ තනතුර සජිත්ට ලබා දෙන්නට ක්‍රියා කරමින් සිටියද සැබවින්ම සජිත්ට ලබාදිය යුත්තේ පක්ෂ නායකත්වය බවයි. adaderana

පළමු යුද අධිකරණය අත්හිටුවන්න නියෝගයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා විභාග කිරීමට පත්කළ පළමු යුද අධිකරණයේ පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති සත්‍යා හෙට්ටිගේ, රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. එහිදී රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන විනිසුරුවරුන් ප්‍රකාශ කළේ එම යුද අධික‍ර‍ණයේ ඉදිරි කටයුතු මැයි මස 21 වැනිදා දක්වා ඉදිරියට පවත්වාගෙන යාමෙන් වළකින ලෙසයි.
නමුත් සභාපති විනිසුරු සත්‍යා හෙට්ටිගේ මහතා වෙනම තීන්දුවක් ලබාදෙමින් එවැනි අතුරු නියෝගයක් නිකුත් නොකරන බව ප්‍රකාශ කර තිබේ.
අදාළ යුද අධිකරණයට පත්කර තිබෙන විනිසුරුවරුන් පක්ෂග්‍රාහී බවත් තමන්ට සාධාරණ විනිශ්චයක් ලබාගැනීම අපහසු බවත් පවසමින් සරත් ෆොන්සේකා මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි..
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන සමයේ දේශපාලන කටයුතුවල නියැලුණු බවට සරත් ෆොන්සේකා මහතාට වන චෝදනා විභාග කිරීම සඳහා පළමු යුද අධිකරණය ක්‍රියාත්මක විය. adaderana

වැඩකරන ජනතාවට සෙනසුරු ලබලා- ගයන්ත


වැඩකරන ජනතාවට සෙනසුරු දසාව ලබා ඇති බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මැයි මාසයේ දී වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ අපේක්ෂාවන් බිඳවැටී ඇති බව ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරණ කාලය තුළ ලබාදුන් පොරොන්දු වත්මන් ආණ්ඩුව කඩකරමින් සිටින බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය. adaderana

වසර 03කින් මෙරට ලොව දියුණු රාජ්‍යයක් කරනවා -අගමැති


ලොව දියුණු රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ඉදිරි වසර තුන තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අද බුද්ධශාසන අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
රට තුළ සිටින ප්‍රධාන ආගම් 5කට අයත් ජනතාවගේ මනස සකස් කිරීම ද මෙහිදී වැදගත් කාර්යයක් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි. එවිට මෙරට ජනතාවට ලොව වැදගත් ජාතියක් වශයෙන් නැගී සිටිය හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

තිස්සනායගම්ට ජනපති සමාවක්


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති සමාව ලබා දීමට තීරණය කළ බව විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට පසුව ඇප මත නිදහස් කර සිටින ජේ.එස් තිස්සනායගම් මාධ්‍යවේදියාට මේ අයුරින් විශේෂ ජනාධිපති සමාවක් දෙන්නට තීරණය කර ඇති වග අමාත්‍යවරයා පවසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
"අවුට් රිච්"වෙබ් අඩවියේ කතුවරයාව සිටි තිස්සනායගම් මහතා ත්‍රස්තවාදයට උඩගෙඩිදුන්නේ යයි චෝදනා කොට 2008 වසරේ මාර්තු මස 07 වන දින ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
බරපතල වැඩ සහිත වසර විස්සක සිරදඬුවම් නියම වී සිටි ඔහු පසුගිය ජනවාරි මස 11 වන දින කොළඹ මහාධිකරණය විසින් ඇප පිට නිදහස් කරනු ලැබූවේ ඔහුගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.
එසේම ලෝක පුවත්පත් නිදහස් යෙදී ඇති අද දිනයේ මෙම ජනාධිපති සමාව ලබාදුන් බව ප්‍රකාශයට පත්කිරීම adaerana

විපක්ෂයේ සංවිධායක පුටුව ජෝන්ට


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජෝන් අමරතුංග මහතා පත් කර ඇති වග එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජෝන් අමරතුංග මහතා මෙම ධූරයට යෝජනා කළ බවත්,එකී යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් සඳහන් වේ.
තමන්ට අදාළ පත්වීම් ලිපිය පසුගිය සතියේ ලැබුණු බවත්,හෙට සිට නව තනතුරේ කටයුතු ආරම්භ කරන බවත් ඒ පිළිබඳ කළ විමසීමකදී ජෝන් අමරතුංග මහතා අද දෙරණට කියා සිටියේය. adarena

රක්වාන රෝහල් සේවකයින් උද්ඝෝෂණයක


රක්වාන රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට පහරදුන් පිරිස් වහා අත්අඩංගුවට ‍ගන්නා ලෙස බලකරමින් එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ. අද පෙර‍වරු 9 .00 සිට පැවැත්වෙන එම උද්ඝෝෂණයට සියලු රෝහල් කාර්යය මණ්ඩලය සහභාගි වන බව සමස්ත ලංකා සුව සේවා සංගමය සඳහන් කළේය.
පසුගියදා ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් විසින් අදාළ වෛද්‍යවරයාට පහරදී ඇති අතර ඔහු මේ වන විට රත්නපුර ‍රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. රෝහලේ පරිපාලන කටයුතු සඳහා අදාළ දේශපාලනඥයාගෙන් එල්ල වන බලපෑම් වලට විරෝධය පළ කිරීම මෙම පහරදීමට හේතුව බව සමස්ත ලංකා සුව සේවා සංගමය ප්‍රකාශ කරයි. adaderana

හදිසි නීති විවාදය දෙදිනක් පුරා


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය දෙදිනක් පුරා පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. මේ මාසය සඳහා හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වන අතර ඒ අනුව හෙට සහ අනිද්දා හදිසි නීති විවාදය සිදුකිරීමට නියමිතය. අලුතින් තේරී පත්වු මන්ත්‍රීවරුන්ට ද හදිසි නීති විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙනු ඇති බව වාර්තා වේ.
ඊයේ රැස්වු ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත. මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජු බලපෑමක් නොමැති හදිසි නීති මාලාවේ ඇතැම් වගන්ති ඉවත් කිරීම කෙරෙහිද ආණ්ඩු පක්ෂයේ අවධානය යොමු වී ඇති බව සඳහන්ය. adaderana

මාධ්‍ය නිදහසට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි


යුද්ධය නිමා කිරීමෙන් පසු පවතින තත්ත්වය, මෙරට තුළ නව මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට උපයෝගි කර ගත හැකි බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
ජනමාධ්‍ය නිදහස තවදුරටත් තහවුරු කිරීමට සහ ඔවුන්ගේ සුබ සාධනය සඳහා පහසුකම් සැලසීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව ඔහු සඳහන් කරයි. අදට යෙදී ඇති ලෝක පුවත්පත් නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අමාත්‍යවරයා මේ බව අවධාරණය කරයි. යුද්ධය අවසන් වීමෙන් පසු මෙරට තුළ ප්‍රථම වරට සමරන ලෝක පුවත්පත් නිදහස් දිනය ශ්‍රි ලංකාවේ නව මාධ්‍ය සංස්කෘතියක ආරම්භය සනි‍ටුහන් කිරීම සඳහා යොදා ගන්නා ලෙස මාධ්‍යට සම්බන්ධ සියලු අංශ වෙතින් ඉල්ලා සිටින බව ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා/adaderana

හොර ලිපි තැනූ ස්ථානයක් වටලයි


ව්‍යාජ සහතික පත්‍ර සහ ලිපි ලේඛන සකස් කිරීම සඳහා හලාවත, පුත්තලම පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්වී තිබේ. හලාවත පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සිදුකළ මෙහෙ‍යුමකදී 34 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයේ තිබී ව්‍යාජ සහතික පත්‍ර, ග්‍රාම සේවා සහතික, උප්පැන්න සහතික, ග්‍රාම නිලධාරීන්, රෙජිස්ටාර්වරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පුද්ගලයන් භාවිත කරන ව්‍යාජ රබර් මුද්‍රා 48ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය. අදාළ වංචාව සිදුකිරීම සඳහා යොදාගත් පරිගණක යන්ත්‍රයක් සහ සංයුක්ත තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගත් බව හලාවත පොලිසිය පැවසුවේය. adaderana

තවත් සිසු ගැටුමක්


දෙහිවල පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකුට එම ආයතනයේම සිසුන් පිරිසක් විසින් පහරදී තිබේ. ඊයේ පස්වරුවේ සිදුවු මෙම පහරදීමෙන් තුවාල ලැබු සිසුන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
සිසුන් 40 දෙනෙකු පමණ පොලු සහ මුගුරු වලින් අදාළ සිසුන් දෙදෙනාට පහරදී ඇති අතර සැකපිට සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana