Friday, June 18, 2010

ශ්‍රී පාද අඩවියේ හෝටලයක්...


ශ්‍රී පාද කඳු මුදුනේ සංචාරක හෝටලයක් ඉදි කිරීමටත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පුරාවිද්‍යාත්මක අගයන් නොතකා එය ප්‍රතිසංස්කරණය කිරීමත් මගින් ආණ්ඩුව දැවැන්ත පුරාවිද්‍යාත්මක විනාශයකට අත ගසා තිබේ. සංචාරක කර්මාන්තය නැංවීම සඳහා යැයි කියමින් මේ කටයුත්ත සිදු කෙරෙමින් පවතී.

දළදා මාළිගාවේ පිවිසුම් දොරටුවේ සිට පත්තිරිප්පුව දක්වා කොන්ක්‍රීට් ගල් වර්ගයක් ඇතිරීම ආරම්භ කර ඇත්තේ මෙම වැඩපිළිවෙළ අනුව බව දැන ගැනීමට තිබේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලවත් විරෝධය නොතකමිනි.
මීට අමතරව ශ්‍රී පාද රක්ෂිතයේ සීතගඟුල ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා වනාන්තරය හෙළි පෙහෙළි කර ඇත. මේ කටයුතු ආරම්භ කර ඇත්තේද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරවය. දළදා මාලිගාවේ කොන්ක්‍රීට් ගල් ඇතිරීමේ ක්‍රියාවලියේදී සහකාර පුරාවිද්‍යා කොමසාරිස් විජේපාල මහතා ඊට විරෝධය දක්වා මහනුවර පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.
පසුව පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කොන්ක්‍රීට් ගල් ඇතිරීමට විරෝධය දක්වා ඊට විශේෂ ගල් වර්ගයක් නිර්දේශ කර ඇතත් ‍එම නිර්දේශය නොතකමින් කොන්ක්‍රීට් ගල් ඇතිරීම ආරම්භ කර තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ඉදි කිරීම සඳහා විරෝධය දැක්වී‍මේදී පුරා විද්‍යා පනත අභිබවා යාමේ ජනාධිපතිවරයා සතු බලතල භාවිතකරමින් මෙම ඉදි කිරීම් සිදු කර ඇති අතර ජනාධිපති බලතල ඒ සඳහා භාවිත කර ඇතත් ඒ වෙනුවෙන් ලිඛිත අවසරයක් ලබාදී නොමැත. මේ නීති විරෝධී කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාම හේතුවෙන් ඊට පළි ගැනීමක් වශයෙන් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් විජේපාල මහතාව කොළඹට මාරු කර යවා ඇත්තේ රාජකාරි අවශ්‍යතාවක් සඳහා බව පවසමිනි.
සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් මීට පෙර සීගිරියේ ඉදි කිරීම්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විරෝධය මත නතර කිරීමට සිදු විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා වස්තු විනාශය සඳහා එල්ල වන විරෝධය මග හරවා ගැනීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට සූදානම් වනබව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.lankatruth

සීපා ගිවිසුම මේ වස‍රේ අත්සන් කරනවා - කෙහෙළිය


සීපා ගිවිසුම මේ වස‍රේ අත්සන් කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවසුවේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා‍ මේ බව පැවසුවේය. ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් එකඟ විය හැකි ආකාරයෙන් ගිවිසුම අත්සන් කරන බව ඔහු පැවසුවේය.

මීට දින කිහිපයකට ඉහතදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පැවසුවේ, එම ගිවිසුමට අත්සන් කිරීමට මෙතෙක් තීරණය කර නැති බවයි. පසුගියදා ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා ගිවිසුම් හතකට අත්සන් තැබීය. එම සංචාරයේදී සීපා ගිවිසුම ගැන සාකච්ඡා නොකරන ලද බව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් පැවසූ අතර ඉන් පසුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සීපා ගිවිසුම ගැන සාකච්ඡා වූ බවයි.lankatruth

ජෙනරාල් නැතිව රණවිරුවන් සැමරේ


යුධ ජයග්‍රහණයට වසරක් සැපිරීමේ උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව. 9.00ට ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. එහෙත් යුධ ජයග්‍රහණය සඳහා සුවිශේෂී නායකත්වයක් ලබා දුන්, එහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊට ආරාධනා කර නැති අතර ඔහු සිටින්නේ නාවික හමුදා මූලස්ථානයේ හමුදා අත්අඩංගුවේය.lankatruth

සැරදේ..!සේනාධිනායකතුමනි..,


අද(18)ගාලු මුවදොර පිටියේ පැවති රණවිරු විජයග්‍රහණ සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමි‍ණෙන සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා විසින් පිළිගත් අයුරු.ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ද පසෙකින් සිටියි.

නායකත්වය තැපෑලෙන් ලැබෙන්නේ නෑ


රණවිරු විජයග්‍රහණය සැමරුමට සහභාගී වූ පමණින් තමන්ට පක්ෂ නායකත්වය තැපෑලෙන් නොලැබෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පක්ෂයේ නායකයෙකු විය යුතුනම්,රටේ නායකයෙකු විය යුතුනම් රටේ සමස්ථ ජනතාවගේ සිත් දිනා ගන්නා ආකාරයට කටයුතු කළ යුතු බවත්,ජනතාවගේ උන්නතිය සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් හෙතෙම කියා සිටියේ අද (18)ගාලු මුවදොර පිටියේ පැවැති විජයග්‍රහණ සැමරුම් උළෙලට සහභාගී වෙමිනි.

ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ ගැන ජනතාව තුළ විශ්වාසයක් පැවතිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය. විපක්ෂ නායකයා මෙන්ම විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහොමයක් මෙම අවස්ථාවට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති මොහොතක මන්ත්‍රීවරයා සහභාගීවූයේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙම උත්සව අවස්ථාවට පක්ෂ හෝ පාට භේදයක් නොමැති බවයි.

රට ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ රණ විරුවන්ට උපහාර දැක්වීම සෑම සියලුදෙනාගේම යුතුකමක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

උපහාර පිදීමෙන් නොනැවතී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රණ විරුවන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා කටයුතු කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

රුහුණු සරසවිය වසාදැමෙයි


රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. ඒ අනුව ඉංජිනේරු , වෛද්‍ය සහ කෘෂී පීඨ හැර සෙසු පීඨ සියල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසරිත් මෙණ්ඩිස් මහතා සඳහන් කරයි.

සුළු සිද්ධියක් පාදක කරගෙන විශ්ව විද්‍යාල සිසුන් අරගලකාරී ලෙස හැසිරීම විශ්ව විද්‍යාලය වසා දැමීමට හේතු‍වු බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වුවත් තත්ත්වය සාමකාමී වු පසු වසා දමා ඇති පීඨ යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව සුසරිත් මෙණ්ඩිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

විදෙස් කතකගෙන් කප්පම් ගැනීමට ගොස් අසුවෙයි


විදේශීය කාන්තාවකගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කළ කාන්තාවක හුංගම ‍පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඉතාලි ජාතික කාන්තාවකට දුරකථනය ඔස්සේ තර්ජනය කර යූරෝ 500ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ විදේශීය කාන්තාව පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ විමර්ශන වලදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදි විදේශීය කාන්තාවට තර්ජනය කිරීමට යොදාගත් ජංගම දුරකථනයද සොයා ගැනීමට පොලිසිය සමත් විය. දික්වැල්ල -නිල්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

"අපි වෙනුවෙන් අපි"වෙනුවට"රට වෙනුවෙන් අපි"

"අපි වෙනුවෙන් අපි"තේමා පාඨය පෙරදැරි කර ගනිමින් රටේ සියලුදෙනා ඒක රාශී වී කටයුතු කළ නිසාම ත්‍රස්ත්‍රවාදයෙන් මව්බිම නිදහස් කර ගන්නට හැකි වූ බවත් මින් ඉදිරියට"රට වෙනුවෙන් අපි"යන තේමා පාඨය පෙරට ගෙන රටේ සංවර්ධන අභියෝගය ජය ගන්නට කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට අනුබල දෙන රටවල් ත්‍රස්තවාදයටම බිලිවන බවත්, යළි ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදයක් ස්ථාපිත කිරීමට මෙරට ජනතාව කිසි විටකත් ඉඩ නොතබන බව තමාට විශ්වාස බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන රණවිරු විජයග්‍රහණ සැමරුම් උත්සවය අමතමිනි.

රට තුළ පැවති ත්‍රස්තවාදය හේතුවෙන් දීර්ඝ කාලයක් මෙරට ජනතාව විශාල කැපකිරීමක් සිදුකළ බව ද හෙතෙම පෙන්වනා දුන්නේය.

ජනාධිපතිවරුන් මෙන්ම මෙරට බුද්ධිමතුන් රැසක් ත්‍රස්තවාදයට බිලිවු බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළ අතර මානුෂීය මෙහෙ‍යුමෙන් ලෝකය පුදුමයට පත් කළා සේම සංවර්ධ‍නයෙන්ද ලෝකය පුදුමයට පත් කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderans

ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ


අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. හෙට උදෑසන 9 සිට ඉරිදා අළුයම එක දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඒ අනුව කොළඹ මහ නගර සභා ප්‍රදේශය, පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා ඇල යන නගර සභා ප්‍රදේශ සහ කැළණිය, වත්තල, මහර, දොම්පේ, බියගම ප්‍රාදේශීය සභා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එසේම බියගම අපනයන ප්‍රවර්ධන කලාපය, දෙකටන හා මල්වාන අවට ප්‍රදේශ, කැස්බෑව, බොරලැස්ගමුව, මහරගම, කෝට්ටේ, කොළොන්නාව, කොටිකාවත්ත, දෙහිවල, ගල්කිස්ස, කඩුවෙල, බත්තරමුල්ල, හෝකන්දර සහ මාළඹේ යන නගර සභා සහ මහ නගර සභා ප්‍රදේශ වලට ද මෙය බලපවත්වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය. adaderana

සිසුවියට හදිකළ ටියුෂන් මාස්ටර්ට මාංචු


අම්පාර ගැමුණුපුර ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් තුළදී බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් එම පන්තියේ ඉගැන්වීමේ කටයුතු කළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 9ක් වු අදාළ දැරිය සැකකරු විසින් අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය පැවසුවේය.

මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී සැකකරු විසින් වයස අවුරුදු 10ක තවත් දැරියකද ලිංගික අ‍පයෝජනයට ලක් කර ඇති බවටද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

සීගිරියේදී සද්ද දැමූ විදෙස් කත අත්අඩංගුවට


සීගිරිය නැරඹීමට ගොස් කලහකාරී ලෙස හැසිරුණු කොරියානු ජාතික කාන්තාවක් පොලිසීය අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව මහජනතාවට සීගිරි පර්වත භුමිය නැරඹීමට විවෘතව නොමැති අවස්ථාවේදී එය නැරඹීමට අවසර ඉල්ලා මෙලෙස කලහකාරී ලෙස හැසිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

ඇය සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයට අනවසරෙන් ඇතුළු වී එහි රාජකාරීයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන්ට ද බාධා කර ඇති බව සඳහන්ය. සිගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.adaderana

අනවශ්‍ය ඇඟිලි ගැසීම් බෑ -රත්නසිරි


ඕනෑම රටකට මෙරට ආයෝජනයට ඉඩ ලබා දුන්න ද අභ්‍යන්තර ඇඟිලි ගැසීම් වලට ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. රටක් විශාල වු පමණින් හෝ සමීපයේ පිහිටා තිබු පමණින් අනෙක් ර‍ටේ කටයුතු වලට ඇඟිලි නොගැසිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලබන වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රි ලංකාවේ පළමු ඉන්ධන ළිඳ කැණිමේ කටයුතු ආරම්භ කරන බව ද හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රත්නසිරි වික්‍රමනායක මහතා පැවසුවේය. adaderana

ජයලත් උපහාර උළෙල වර්ජනය කරයි


අද පැවැත්වෙන රණවිරු උපහාර උළෙලට තමන් සහභාගි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා පවසයි.

අදාළ උත්සවයට සහභාගි වන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා නොකිරීම තමාගේ මෙම තීරණයට හේතුව බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය. කෙසේ වුවද අද පැවැත්වෙන උත්සවය සාර්ථක කර ගැනීමට හැකි වේවායි ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රාර්ථනා කරයි. adaderana