Tuesday, December 7, 2010

ජනපතිට සිදුවූ අපහසුතාවයට එ.ජා.පයේ කනගාටුව


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලන්ඩනයේදී සිදුවුණු අකරතැබ්බය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජනාධිපතිවරයාට ඒ අයුරින් අපහසුතාවට පත්වන්නට සිදුවූයේත්,ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනය අවලංගු වීමෙන් නියමිත සංචාරය අවලංගු කර යළි හදිසියේ මව්බිමට ගොඩබසින්නට සිදුවූයේ ආණ්ඩුවේද අත්වැරැදීමකින් බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික ගමනක් ගිය නිසා එකී ගුවන්යානය,ගොඩබසින වේලාව,ගමන් කරන අංගණය ආදී සියලු තොරතුරු විරෝධතාකරුවන් අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව මහ ලේකම්වරයා මෙහිදී පෙන්වාදුන්නේය.

මෙම තොරතුරු හෙළිදරව් වීම පිළිබඳ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයත්,බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් වගකිව යුතු බවද,මොවුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ කනගාටුදායක සිදුවීමට අදාළව තමන්ගේ වැරැද්ද වසාගන්නට මේ වන විට යූ.ඇන්.පියට ඇඟිල්ල දිගු කරමින් සිටින බවත් මහ ලේකම්වරයා කියා සිටියේය. -adaderna.lk

කාදර්ට අලියා අහිමිකිරීමට එරෙහි වාරණ නියෝගය කොන්දේසි සහිතව දීර්ඝ කරයි


නියෝජ්‍ය අමාත්‍ය ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය කොන්දේසි සහිතව දීර්ඝ කරන බව කොළඹ දිසාධිකරණය අද(07) නිවේදනය කරනු ලැබීය.

අදාළ වාරණ නියෝගය ඉවත් කරන මෙන් දන්වා වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂය විසින් අධිකරණය හමුවෙහි මූලික විරෝධතා මතුකර තිබුණි.

අදාළ වාරණ නියෝගය කොන්දේසි සහිතව දීර්ඝ කරන බව එම විරෝධතා ඉවත දමමින් කොළඹ දිසාධිකරණය ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අනුව පෙත්සම්කාර අබ්දුල් කාදර් මහතාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයට අවසර ලැබෙන අතර රජයට එක්වීම යන කරුණ පදනම්කරගෙන පමණක් විනය පරීක්ෂණ පැවැත්වීම තහනම් බව ද එම වාරණ නියෝගය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ වාරණ නියෝගය ජනවාරි මස 11 වන දින දක්වා දීර්ඝ කරන බව ද අධිකරණය නියෝග කරනු ලැබීය.
adaderana.lk

විකිලීක්ස් නිර්මාතෘ අත්අඩංගුවට


විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසන්ගෙ ලන්ඩන් නගරයේදී අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍යය පොලීසිය සඳහන් කරයි.

39 හැවිරිදි මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

ඉදිරියේදී ඔහු වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්ය.aderana.lk

රිසානා නෆීක්ගේ මරණ දඬුවම අත්හිටුවයි


සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවකට ගොස් එහිදී බිළිදෙකු මරා දැමීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වූ ශ්‍රී ලංකික තරුණියක වන රිසානා නෆීක්ගේ මරණ දඬුවම අත්හිටුවා ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව සවුදි අරාබියානු රජු විසින් මෙම තීරණයට එළඹ ඇති බව පෙරේරා මහතා සඳහන් කළ බව ද අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

සවුදි අරාබියානු ශරියා නීතියට අනුව රිසානා නෆීක් අදාළ චෝදනාවෙන් නිදහස් කළ නොහැකි අතර නමුත් ඇයගේ දඬුවම අත්හිටුවිය හැකි බව ඒ මහතා පෙන්වා දී තිබේ. ඒ අනුව රිසානා මරණ දඬුවමින් නිදහස් වන මුත් ඇයගේ අදාළ චෝදනාවට වරදකරු ලෙස සැළකෙන බව ද සඳහන්ය.adaerana.lk

උඩරටට නව ශීඝ්‍රගාමී දුම්රිය සේවයක්


උඩරට දුම්රිය මාර්ගය සඳහා නගරාන්තර නව ශීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දුම්රිය සේවය මෙම මස 11 වැනි දින සිට ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උඩරට දුම්රිය මාර්ගයෙන් විශාල මඟීන් පිරිසක් ගමන් කිරීම හේතුවෙන් මෙම නව දුම්රිය සේවය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

නව නගරාන්තර දුම්රිය සේවය මේ මස 11 වැනි දින සිට 31 දක්වා ඔත්තේ දින වල කොළඹ කොටුවේ සිට පෙරවරු 8 .35 ට බණ්ඩාරවෙල දක්වාත් ‍12, 14 , 16 , 18 , 20 , 22 , 24 , 26 , 28 සහ 30 යන දිනයන් වල බණ්ඩාරවෙල පෙරවරු 6 .40ට කොළඹ කොටුව බලා ධාවන වන බව ‍දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.
adaderana.lk

විශ්වාස භංගයෙන් පැරදුනත් කරූට පාර්ලිමේන්තු අසුන අහිමිවෙන්නේ නෑ



කරු ජයසූරිය මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාස භංගයෙන් ඔහු පරාජය වුවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.

1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති වල මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධව පවතින නුසුදුකම් පිළිබඳ දැක්වෙන බව එහි දී කරු ජයසූරිය මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප්‍රතිභා මහානාම මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාස භංග යෝජනාවක් පරාජයට පත්වුවහොත් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ධූරය අහිමිවීම සම්බන්ධව ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහන් නොවන බව ද ඔහු අවධාරණය කළේය.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වන ආකාරයට අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව විශේෂ ජනාධිපති විමර්ශන පරීක්ෂණ කොමිසමක් පවත්වා එහි තීරණය අනුව ඔහු වැරදිකරුවුවහොත් එහිදී ලැබෙන දඬුවම මත පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවිය හැකි බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

එමෙන්ම 06 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151 (ආ) යටතේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවත් එය බෙදීමට උපකාර කරන, ශ්‍රී ලංකාව තුළ හෝ එයින් පිටත යම්කිසි කෙනෙකු එය වර්ධනය කරන හා ඒ සම්බන්ධ පරීක්ෂණයකින් වැරදිකරු වුවහොත් එවැනි අවස්ථාවක ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ද අහිමිවිය හැකි බව මහානාම මහතා පෙන්වාදුන්නේය.

විශ්වාස භංග යෝජනාවකින් පරාජයට පත්වුවද මන්ත්‍රීධුරය අහිමිනොවන බවත්, විය හැක්කේ ඔහුගේ ඉදිරි දේශපාලන අනාගතයට යම් බලපෑමක් වීම බව ද හෙතෙම කියා සිටියේය.
adaderana.lk

අග්නිදිග ආසියාවේ සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට


අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

වසර 75ට අධික කාලයක් මෙරට ක්‍රියාත්මක වූ නිදහස් සෞඛ්‍ය සේවාව සහ මෙරට සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබා දී ඇති විශේෂ පුහුණුව වැනි කාරණා සලකා බලා එම අවස්ථාවට ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

තවද මාතෘ මරණ අනුපාතික, ළදරු මරණ අනුපාතිකය සෙසු ආසියානු කලාපීය රටවලට සාපේක්ෂව අවම මට්ටමක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබීම ද මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානය සලකා බලා තිබේ.

ශ්‍රී ලංකාව සතුව පවතින මෙම අත්දැකීම් අග්නිදිග ආසියානු කලාපීය රටවලට ලබා දිය හැකි වන පරිදි අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇති බව සඳහන්ය.
adaderana.lk

දොස්තර ජයලත්ට එරෙහි තේරීම් කාරක සභා යෝජනාව කථානායකට


එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව මීට ස්වල්ප මොහොතකට පෙර කථානායක චමල් රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සභානායක ආමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අදාළ යෝජනාව ලිඛිතව කථානායකවරයාට ලබාදුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

අදාළ යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 78 දෙනෙකු අත්සන් තබා ඇති බව ද අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේය. adaderana.lk