Sunday, March 6, 2011

මහර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂිකාවට පහරදුන් තිදෙනෙක් රිමාන්ඩ්


මහර ප්‍රාදේශීය සභාවට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂිකාවකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද(06) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කඩවත පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ද සිටියි.

ගර්භනී කාන්තාවක වන අදාළ අපේක්ෂිකාව ඊයේ පහරකෑමට ලක්වීමෙන් පසු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

මේ අතර අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් මහර ආසනයේ කාන්තාවෝ පිරිසක් අද උද්ඝෝෂණයක ද නිරතවූහ

ටී.එන්.ඒ එකේ හිටියානම් ප්‍රභාකරන් ගලවාගන්න තිබුණා


තමා ප්‍රභාකරන් විරෝධියෙකු ලෙස පෙනී නොසිටි බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී මහතා පවසයි.

එබැවින් තමාට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් වැරදි මාර්ගයෙන් නිවරදි මාර්ගයට ගැනීම බවත්,ඒ වෙනුවෙන් තමන් බොහෝ උත්සාහයන් ගත් බවත් හෙතෙම ඉන්දීය"දිනමනි"වෙබ් අඩවියට පවසා තිබේ.

යුදමය වශයෙන් පරාජය වී මියැදෙන්නට පෙරාතුව ලිපි මගින් මේ යුද්ධය කිසිදාක ජයගත නොහැකි එකක් බවත්,ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් සිහින දකිමින් අකාලයේ මියැදෙන තරුණ ජීවිත රටට වැඩදායක ලෙස යොදා ගත යුතු බවත් පෙන්වාදුන් බව හෙතෙම කියා සිටියි.

අතැම්විට තමා ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ දිගින් දිගටම රැඳී සිටියේ නම් ප්‍රභාකරන් වැරදි මාර්ගයෙන් ගලවා ගන්නට වැඩි හැකියාවක් තිබුණේ යයි තමන් දැන් විශ්වාස කරන බව සංගරී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයට ඔට්ටු අල්ලා 4 ක් අත්අඩංගුවේ


2011 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයට අදාළව ඔට්ටු ජාවාරමේ යෙදුණු සිව් දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඉන්දියාවේ රායිපූර් වල චට්ටිස්ග්ර් ප්‍රදේශයේ පවත්නා"මහාබා බෂාර්" හි සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය රුපියල් මිලියන 100 ක පමණ වටිනාකමකින් යුතු ඔට්ටු ඇල්ලීමක නිරතවී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ජාවාරම අන්තර් ප්‍රාන්ත ජාවාරමක් ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව රායිපූර්හි සහකාර පොලිස් අධිකා‍රිවරයෙකු වන අජස්සත්රූ මහදූර් මහතා අද(06)ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.

රායිපූර් අපරාධ කොට්ටාසය මගින් ඊයේ අත්අඩංගුවට ගත් මෙම සිව්දෙනා සමග ලිපිගොනු හා විද්‍යුත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගත් බව මහතා පෙන්වාදී තිබේ.

කෙසේ වුවද ඉකුත් මාර්තු මස 03 වන දින කැනඩාව හා පකිස්ථානය අතර පැවති තරගයේදීද ඉන්දීය රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුතු මුදලක් ඕට්ටු ජාවාරම් කරද්දී ද මෙම ප්‍රදේශයෙන්ම පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් උපුටා දක්වයි.

සුනා‍මියෙන් වසර 5 යි,යුද්ධයෙන් මාස 22 යි- පීඩිතයා එතැනමයි


උතුරු නැඟෙනිහිර ජනයාට වඩා වැදගත් වන්නේ"යුද්ධය ඉවරයි" කියූ ආරංචිය නොව"යුද්ධයෙන් පසු සිදුවන්නේ කුමක්ද" යන කාරණය යැයි ඉලංකෙයි තමිල් අරුසුකච්චි මහ ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පෙන්වාදෙයි.

සුනාමි ව්‍යසනයෙන් වසර 5 ක් ගතවී ඇතත් එයින් පීඩාවට පත්වූ උතුරු නැඟෙනිහිර වැසියන්ගේ ජීවිත යථා තත්ත්වයට ගෙන එන්නට තාමත් කටයුතු සම්පූර්ණ වි නැතැයි හෙතෙම සඳහන් කරයි.

යුද්ධය නිමාවී මාස 22 ක් ගතවී ඇතත් එයින් පීඩාවට පත්වූවන්ගේ තත්ත්වයද ඉතාම ඛේදනීය බව මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සේනාධිරාජා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ.

අද(06)පෙරවරුවේ කල්මු‍නේ YMCA ශාලාවේ පැවති උත්සවයකදී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබේ.

දෙවන ලෝක යුද සමයේ හි‍රෝෂිමා හා නාගසාකි යන නගර වලට හෙළනු ලැබූ බෝම්බ වල විනාශකාරී බලපෑම අදටත් දක්නට ලැබෙන බව සිහිපත් කළ මන්ත්‍රීවරයා ඒ සා විනාශයක් ශ්‍රී ලංකාවේ සිදු නොවූවද යුද්ධයේදී ඇති කළ කම්පනය තාමත් උතුරු නැගෙනහිර ජනයා පෙළන බව වැඩිදුරටත් කියා සිටියි.

නව වියැති පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක්


වයස අවුරුදු 9 ක් වූ පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම පොලිස් වසමේ මිදිගම ප‍්‍රදේශයේදී වයස අවුරුදු 09 ක් වූ බාල වයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අපයෝජනය සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු 31 වියැති පුද්ගලයෙකු බවත්,ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් හමුවට පැමිණවීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡන්දය දෙන තැන් වලට වැඩි ආරක්ෂාවක්


මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මේ වන විටත් ඒ සදහා අවශ්‍ය පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේය.

සියලුම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ගේ උපදෙස් පරිදි ලබා දීමට කටයුතු කර ඇති බව ඔහු පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන වල කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ බලපෑමක් සිදු කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේය.

එවැනි ක්‍රියාවන් වලට යොමු වන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව ද ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 5 ක් ස්ථාපිත කරන්න සූදානම්March 6, 2011 09:45 am


ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 5ක් මෙරට ආරම්භ කිරීම සඳහා මේ වන විටත් සැලසුම් ඉදිරිපත් කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ නව පනත සම්මත කර ගැනීමෙන් අනතුරුව එම විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවයි.

සුදුසුකම් රාමුව , ප්‍රමිති ආරක්ෂණ සහ වරප්‍රදාන කවුන්සිල් පනත ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ‍මෙරට පිහිටුවීම සඳහා සම්මත කර ගත යුතු බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ වන විටත් කැබිනට් අනුමැතිය සඳහා මෙම පනත ඉදිරිපත් කර ඇති අතර කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනත සම්මත කර ගැනීමට නියමිතය.

මෙරට ජාත්‍යන්තර විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා අයදුම්පත් 25ක් පමණ ඉදිරිපත් වූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලේකම් ‍සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කළේය.

ඉන්දියාව , ජපානය , ඔස්ට්‍රේලියාව , අමෙරිකාව සහ එංගලන්තය යන රටවලින් මෙම අයදුම්පත් ඉදිරිපත් වී ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මැතිවරණ නීතිය කැඩූ 130 ක් අත්අඩංගුවට අරන්


මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීතී උල්ලංඝණය කළ පුද්ගලයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම අඩුවීමක් දක්නට ලැබෙන බව ද ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට මැතිවරණයට අදාළව පැමිණිලි 103ක් පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා කියා සිටියේය.

එම පැමිණිලි වලින් විශාල ප්‍රමාණයක් සුළු සිදුවීම් බව ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අකුණෙන් අයෙක් මරුට-තවත් අයෙකුට බරපතලයි


හොරණ , බැල්ලපිටිය ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඊ‍යේ පස්වරුවේ සිදු වූ මෙම අකුණු සැර වැදීමෙන් තවත් කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ.

අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ ‍හොරණ ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන එක් කාන්තාව‍කගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා බෙදන්න අද දවස විශේෂයි


ඉදිරි පළාත් පාලන මැතිවරණයට‍ අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය නම් කර තිබේ.

තැපැල්පති එම්‍.කේ.බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ නිවාඩු දිනයක් වුවද අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

ලබන 10 වැනි දින දක්වා ගෙයින් ගෙන ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ‍බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

ලිබියාවේ සිටි අපේ අය තවත් 150 ක් යළි මව්බිමට


ලිබියාවේ සිට තවත් පුද්ගලයින් 150 දෙනෙකු පමණ විශේෂ ගුවන් යානයකින් අද දිනයේ(06) මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊයේ පස්වරුවේ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් ට්‍රිපෝලි හි සිට පුද්ගලයින් 148 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

මීට අමතරව ඊයේ උදෑසන අවස්ථා 4ක දී පුද්ගලයින් 104 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වන විට ලිබියාවේ සේවය කළ පුද්ගලයින් 450කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර සිටියේ ලිබියාවේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මොවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

වැඩි බලතල දෙන්න පනත සංශෝධනය කරනවා


ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනත සංශෝධනය කරන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

දැනට තිබෙන පනතට වැඩි බලතල ලැබෙන ලෙස මෙම පනත සංශෝධනය කරමින් මහජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පෞද්ගලික ප්‍රවාහන සේවයේ සිදු වන විවිධ අක්‍රමිකතා හා කප්පම් ගැනීම් වැනි විෂමාචාරයන් ඉවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සී.බී රත්නායක මහතා ප්‍රකාශ ක‍රයි.

නුවරඑළිය ප්‍රදේශයේ මගී ප්‍රවාහන සේවා වල බස් හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක් වූවේය.

බ්‍රසීල විදෙස් කටයුතු ඇමති ශ්‍රී ලංකාවේ


බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍ය අන්තෝනියෝ පැට්රියෝටා මහතා දිවයිනට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා බ්‍රසලස් විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරීස් මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි පැට්රියෝටා මහතා සමඟ එරට ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබේ.

බ්‍රසල්ස් විදේශ අමාත්‍යවරයා හෙට දිනයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරීස් මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සංචාරයේ දී බ්‍රසල්ස් විදේශ කටයුතු අමාත්‍ය පැට්රියෝටා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවීමට නියමිතය.

Tuesday, March 1, 2011

කෆීර් යානා 2 ක් එකිනෙක ගැටී කඩා වැටෙයිMarch 1, 2011 10:05 am

පුහුණුවීම් කටයුතු වල යෙදී තිබුණු කෆීර් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අනතුරට ලක්වූ කෆීර් යානා දෙක ගම්පහ, වාරණ ප්‍රදේශයට කඩා වැටී ඇති බව ද සඳහන්ය.

දෙමළ ජාතික සන්ධානය හා රජය අතර සාකච්ඡා කල්යයිMarch 1, 2011 08:21 am

දෙමළ ජාතික සන්ධානය සහ රජය අතර අද(01) දිනයේ පැවැත්වීමට තිබූ සාකච්ඡා කල් දමා තිබේ.

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සාකච්ඡා කල් දැමීමට සිදු වී ඇති බව ආණ්ඩුව තම පක්ෂයට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට බොහෝ අමාත්‍යවරුන් එක්ව සිටින බැවින් මෙලෙස සාකච්ඡා කල් දැමීමට සිදු වූ බව දැනුම් දී ඇත.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු සහ යාපනය ධීවර ජනතාවගේ ගැටලු මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

ජනවාරී මස 10 වැනි දින දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව අතර පළමු වටයේ සාකච්ඡා පැවති අතර දෙවන වටයේ සාකච්ඡා පෙබරවාරී මස 3 වැනි දින පවත්වනු ලැබීය.

මැතිවරණයෙන් පසුව නැවත සාකච්ඡා පවත්වන දිනය සම්බන්ධයෙන් දැනුම් දෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළ බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.