Tuesday, March 23, 2010

ඒකෝන් ගෙන්නන්න එපා


හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය නොපැවැත්විය යුතු බව ජාතික සංඝ සම්මේලනය පවසයි.
මෙම ගායන ශිල්පියාගේ ගීත ඇල්බම් වල අතිශය කාමුක දර්ශන නිරූපනය වන බවත්,ඔහුට ළමා අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්,ඔහුගේ ඇතැම් ගීතයක බුදු දහමට නිගා දෙන අයුරින් බුදු පිළිමයක් අබියස ආලිංගනයේ යෙදෙන දර්ශන පවා ඇතුළත් බවත් ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
මේ හේතුව නිසා මෙම ප්‍රසංගයට එරෙහිව රට තුළ දැඩ් විරෝධතාවයක් නිර්මාණය වෙමින් පවතින බවත්,මෙම ප්‍රසංගය පැවැත්වීම ශ්‍රීලංකාව වැනි ‍බෞද්ධ රටකට කිසිසේත්ම නොගැළපෙන බවත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේය.
එහෙත් ඒකෝන් ප්‍රසංගය නියමිත පරිදි පැවැත්වෙන බව එය සංවිධානය කරන ලද"ප්ලැටිනම් එන්ටර්ටේට්මන්ට්"හි අධ්‍යක්ෂ ලසන්ත සමරසිංහ මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ප්‍රසංගය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් බවයි. adaderana

රටට ද්‍රෝහී වූවන් මර බියෙන්


රටට ද්‍රෝහී වු දේශපාලනඥයින්ට මෙවර ඡන්දය මරබිය ගෙන දෙන්නක් වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මැතිවරණයකදී දේශපාලනඥයාට තමන්ගේ භූමිකාව පිළිබඳව ජනතාවගේ විනිශ්චය ලබා ගත හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. එහෙත් රටට හතුරු වු මෙන්ම මව් බිම පාවා දීමට උත්සාහ කළ දේශපාලනඥයින් මෙවර මැතිවරණයේදී බියෙන් පසුවන බව වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කරනු ලැබුවේ කොට්ටාව මා කුඹුර ප්‍රදේශයේ පිහිටි වීරවංශ මහතා‍ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
මැතිවරණයෙන් පසු රටට ද්‍රෝහී වු දේශපාලනඥයින්ගේ දේශපාලන වශයෙන් අවසන් ගමන් යෑම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
මාතෘ භූමිය ජයග්‍රහණය කරවීමේ තීරණාත්මක අභියෝග වලට මුහුණ දුන් තමන්ට මැතිවරණ වලට මුහුණ දීමට කිසිදු බියක් නැතැයි වීරවංශ මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.adaderana

ඒජන්සි ගොඩනැඟිල්ලෙන් පැන්න ගෘහ සේවිකාව ගැන විශේෂ පරීක්ෂණයක්


ගෘහ සේවය සඳහා ලෙබනනයට ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ.රුහුණගේ මහතා පවසන පරිදි ලෙබනන් පොලිසිය සමග මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස එරට තානාපති අංශ දැනුවත් කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 30 හැවිරිදි කාන්තාවකි.
එම කාන්තාව තමන් ගෘහ සේවයේ යෙදී සිටි නිවසේ නිවැසියන් විසින් රැකියා ඒජන්සිය වෙත යොමු කර ඇති අතර අදාළ ඒජන්සියේ ගොඩනැඟිල්ල මතින් බිමට පැන දිවි හානී කරගෙන ඇති බවට වාර්තා වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඇගේ දේහය මෙරට‍ට ගෙන ඒම සඳහා ද කටයුතු සිදුකෙ‍රෙමින් පවතින බව ‍රුහුණගේ මහතා පැවසීය.
අදාළ ලෙබනන් ඒජන්සිය තාවකාලිකව ශ්‍රී ලංකාව තුළ අත්හිටුවීමට ද කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.adaderana

එල්.ටී.ටී.ඊයට ඔත්තු දුන් එස්.අයි ගේ අත්සන් පරීක්ෂා කරයි


කොටි බුද්ධි අංශයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් අත්සන පරීක්ෂාවට ලක් කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද ත්‍රස්ත මර්දන ඒකකයට අවසර ලබා දී තිබේ.
මෙසේ අවසර ලබාදුන්නේ ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණ‍යෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සුජීව නිශ්ශංක මහතා විසිනි. ඒ අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් අත්සන් ලබා ගැනීම අධිකරණ පරිශ්‍රයේදී අද සිදුකෙරුණි.
මෙම උප‍ පොලිස් පරීක්ෂකවරයා එල්.ටි.ටි.ඊ.සංවිධානයට සම්බන්ධ වීම සඳහා ඉදිරිපත් කළ අයඳුම්පතක් ‍පුදුකු‍ඩුඉරිප්පු ප්‍රදේශයෙන් සොයාගත් බව ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
එම අයදුම්පතේ ඇති අත්සන අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීයාගේ ද යන්න තහවුරු කර ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණයි බව ත්‍රස්ත මර්දන ඒකකය සඳහන් කරයි.
විදේශ රටක සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණය හමුවේ කියා සිටින ලදී.
කොළඹ වරාය හා පොලිස් මූලස්ථානය පිළිබඳව මෙම පොලිස් නිලධාරීයා විසින් කොටි සංවිධානයට තොරතුරු ලබා දී ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයිද අධිකරණය හමුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කරන ලදී. adaderana

ගණිකා වෘත්තියේ යෙදී 50,000 ක් දඩකයි


අම්පාර- දමන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට අම්පාර පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය සමත් වී තිබේ.
එහිදී පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැර ඇත.
සෙසු සැකකරුවන් තිදෙනා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් ඒ.ඩී.චාමින්ද සම්පත් මහතා නියෝග කර තිබේ.adaderana

කුසලානයට ජන්දය දී ෆොන්සේකා නිදහස් කරන්න බෑ


කුසලානයට ජන්දය දීමෙන් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගත නොහැකි බව එක්සත් ජාතික පෙරමුණු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ රටේ රජයක් පිහිටුවීමේ හැකියාව පවතින්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් බවත්, නමුත් නිදහස් පක්ෂ රජයක් යටතේ කිසිදු අවස්ථාවක සරත් ෆොන්සේකා මහතා නිදහස් නොකරන බවත්, ඔහු නිදහස් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ රජය පමණක් බවත් අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සරත් ෆොන්සේකා මහතාට මුදල් ලැබීම සහ හිටපු හමුදා නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදාගත්තේද යන කරුණු පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ බව ද ඒ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. adaderana

කිරිඳිවැල පෞද්ගලික බස් හිමියන් වර්ජනයක


කිරිඳිවැල බස්නැවතුම්පොලේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වීමට විරෝධය පළ කරමින් එහි පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයක් ආරම්භ කර ති‍බේ.
අමාත්‍ය පියසිරි විජේනායක මහතා විසින් මෙම ප්‍රචාරක රැළිය පැවැත්වීමෙන් බස් ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව පෞද්ගලික බස් රථ රියදුරන් පවසයි. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වීම සඳහා බස්නැවතුම්පොළ භූමිය මුදල් ගෙවා වෙන්කර ගෙන ඇති බව අමාත්‍ය පියසිරි විජේනායක මහතා සඳහන් කළේය. මීට පෙර එම ස්ථා‍නයේ මැතිවරණ ප්‍රචාරක රැළි පැවතුණු අතර එම අවස්ථා වල දී ද භූමිය නිදහස් කර දීමට ලංගම බලධාරීන් පියවර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සන්ධානයේම අපේක්ෂකයෙකුගේ බලපෑමක් මත තමාට එරෙහිව පෞද්ගලික බස් රථ හිමියන් විසින් පෞද්ගලික බස් රථ හිමියන් යොදා ගෙන දැඩි ලෙස බලපෑම් එල්ල කරන බවට පියසිරි විජේනායක මහතා චෝදනා කළේය. ‍කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී අදාළ ගමන් වාර සඳහා ලංගම බස් රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.adaderana

නැවත පදිංචි කිරීම් වලට තවත් කාලය අවශ්‍යයි


යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ බිමි බෝම්බ ඉවත් කිරීම ආදී කටයුතු නිසා යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා තවත් කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා රජය පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ පිළිබඳව නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ නොහැකි බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
නමුත් මේ වනවිට දිනකට 1000 බැගින් වාර්තා ගත ජන සංඛ්‍යාවක් නැවත පදිංචි කළ බවත්, නමුත් එම ජනතාව වෙනුවෙන් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ නැවත සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව ද රජය පවසයි. එමෙන්ම තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට ද නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණිය හැකි බව ද, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ද ඔවුන් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව තුළ වාර්ගික සමගිය ගොඩනැගීම සඳහා ඉන්දීය රජයේ මෙන්ම තමිල්නාඩුවේ සහය අවශ්‍ය බවත්, නමුත් එහිදී ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අනන්‍යතාව ආරක්ෂා කිරීමත්, රජයේ අදහස් හා අපේක්ෂාවන්ට මුල් තැන ලබාදීමත් අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා රජය පවසන බව එම ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderaaana

කැබිනට් නොවන ඇමතිධූර වැඩක් නෑ


කැබිනට් නොවන අමාත්‍යධුර ලබා ගැනීමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් අත් නොවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
හාළි ඇල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කැබිනට් නොවන අමාත්‍යවරයෙකුට වඩා නියෝජ්‍ය අමාත්‍යධුරයක් ‍දරන්නෙකුට ජනතාව වෙනුවෙන් යහපත් සේවයක් ඉටු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. කැබිනට් නොවන අමාත්‍යධුර ලබා දීමේ ක්‍රම වේදය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.adaderana

රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය ලබාදීමට රජය අසමත්


රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය ලබා දීමට ධීවර අමාත්‍යාංශය අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාවට ආහාර සඳහා මසුන් විදේශ රටවලින් ගෙන්වන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ධීවර කර්මාන්තය නඟා සිටුවීමට අසමත් සන්ධාන ආණ්ඩුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ‍ආශ්චර්යය බවට පත් කරන්නේ කෙසේ ද යන්න විජිත හේරත් මහතා ප්‍රශ්න කර සිටියේය. ගම්පහ, දඬුගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය. adaderana

රජයේ වී මිල දී ගැනීම් ඉතා සාර්ථකයි


රජයේ වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය කිසියම් ප්‍රදේශයක දී සාර්ථකව ක්‍රියාත්මක නොවන්නේ නම් එම ප්‍රදේශ වල ගොවි සංවිධාන වලට ගොවීන්ගෙන් වී තොග මිල දී ගත හැකි බව කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා පවසයි.
වී මිල දී ගැනීමේ දී අදාළ ගොවි සංවිධාන විසින් වී අලෙවි මණ්ඩලය දැනුවත් කළ යුතු බව අමාත්‍ය මෛත්‍රීපාල සි‍රිසේන මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. රජය වී මිල දී ගැනීමේ යාන්ත්‍රණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. නාඩු වී කිලෝවකට රුපියල් 28 ක් සහ සම්බා වී කිලෝවකට රුපියල් 30 වශයෙන් ලබා දෙන බව මෛත්‍රීපාල අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. වී අලෙවි මණ්ඩලයේ බලයලත් පෞද්ගලික අංශයේ නියෝජිතයින්ට වී ලබා දීමේ දී රුපියල් 1 යි ශත 50 ක අමතර කොමිස් මුදලක් ලබා දෙන බව ද මෛත්‍රීපාල අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත. adaderana

වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියයයි


මතුගම මහජන ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඊයේ රාත්‍රී 9 .45 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේ දීම මිය ගිය බව ද පොලිසිය සඳහන් කරයි. වෑන් රථයක් තුළ මත්පැන් පානය කරමින් සිටිය දී මෙම පුද්ගලයාට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
මෙසේ මරණයට පත් ව ඇත්තේ අමාත්‍ය රෝහිත ‍අබේගුණවර්ධන මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු බව සඳහන්ය. එහෙත් මෙය දේශපාලන ඝාතනයක් බවට තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් ‍මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අවධාරණය කරයි. ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ප්‍රතිශතයක


භයානක මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන් බව සමීක්ෂණ වලින් හෙළි වී ඇති බව අධිකරණ හා නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
අන්තරාකාරී ඖෂධ පාලක මණ්ඩලයේ දත්ත වලට අනුව දිවයින පුරා භයානක මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 37 , 542 ක් වන බව අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි. ඉන් 24 , 662 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ නගර සීමාවෙහි භායනක මත් ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17, 408 ක් වේ.
මත් උවදුරින් කොළඹ නගරය බේරා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා‍ අවධාරණය කරයි. බස්නාහිර පළාත් තුළ පමණක් නීතී විරෝධී මත් ද්‍රව්‍ය භාවිතා කරන කාන්තා‍වන්ගේ සංඛ්‍යාව 662 ක් වන බව අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති සංවාදශීලී හමුවක් අමතමින් සඳහන් කළේය. adaderana

අයවැය ප්‍රමාද කළේ බඩු මිල ඉහළ දමන්නයි


අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද කළේ මැතිවරණ වලින් පසුව භාණ්ඩ මිල ඉහළ දැමීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. රාජ්‍ය ආදායම ඉහළ දැමීම සඳහා භාණ්ඩ මිල වැඩි කිරීමට රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වී ඇති බව හෙතෙම සඳහන් කළේය. adaderana