Tuesday, March 23, 2010

එල්.ටී.ටී.ඊයට ඔත්තු දුන් එස්.අයි ගේ අත්සන් පරීක්ෂා කරයි


කොටි බුද්ධි අංශයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් අත්සන පරීක්ෂාවට ලක් කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද ත්‍රස්ත මර්දන ඒකකයට අවසර ලබා දී තිබේ.
මෙසේ අවසර ලබාදුන්නේ ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණ‍යෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සුජීව නිශ්ශංක මහතා විසිනි. ඒ අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් අත්සන් ලබා ගැනීම අධිකරණ පරිශ්‍රයේදී අද සිදුකෙරුණි.
මෙම උප‍ පොලිස් පරීක්ෂකවරයා එල්.ටි.ටි.ඊ.සංවිධානයට සම්බන්ධ වීම සඳහා ඉදිරිපත් කළ අයඳුම්පතක් ‍පුදුකු‍ඩුඉරිප්පු ප්‍රදේශයෙන් සොයාගත් බව ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
එම අයදුම්පතේ ඇති අත්සන අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීයාගේ ද යන්න තහවුරු කර ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණයි බව ත්‍රස්ත මර්දන ඒකකය සඳහන් කරයි.
විදේශ රටක සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණය හමුවේ කියා සිටින ලදී.
කොළඹ වරාය හා පොලිස් මූලස්ථානය පිළිබඳව මෙම පොලිස් නිලධාරීයා විසින් කොටි සංවිධානයට තොරතුරු ලබා දී ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයිද අධිකරණය හමුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කරන ලදී. adaderana

0 comments:

Post a Comment