Tuesday, May 11, 2010

වෛද්‍ය සැපයුම් අංශයේ තොග හෙටින් අවසන් - රෝගී ජීවිත අවදානමේ


වෛද්‍ය සැපයුම් අංශයේ මෙම දිනවල පවතින සේලයින් හිඟය හේතුවෙන් රජයේ රෝහල්වලට සේලයින් සැපයිය හැක්‌කේ හෙට (12) දිනය තෙක්‌ පමණක්‌ බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග පවසයි. රජයේ රෝහල්වලද මේ වන විට සේලයින් හිඟයක්‌ පවතී. දැනට වෛද්‍ය සැපයුම් අංශයේ පවතිනුයේ හෙට දිනය තෙක්‌ ප්‍රමාණවත් සේලයින් තොගයක්‌ බව එම ආරංචි මාර්ග මේ සම්බන්ධ හෙළි කරමින් පැවසීය.
රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ජීවිතාරක්‌ෂක බෙහෙත් වර්ගයක්‌ වන සේලයින් වෛද්‍ය සැපයුම් අංශයේ හා රජයේ රෝහල්වල හිඟවීමට හේතුවී ඇත්තේ ඇනවුම් කර ඇති සේලයින් තොග නිසි කලට ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් පියවර නොගැනීම බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙසේ හිඟව පවතින සේලයින් ගුවන් හමුදාවට අයත් ගුවන් යානා මගින් වහාම මෙරටට ගෙන්වීමට ඉකුත් සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්‌වීමකදී තීරණය වී තිබේ. නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත.lankatruth

ලංකාවට ආ ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවෙන් කොන්දේසි සහිත වීසා


මැලේසියාවේ සිට ඊයේ ලංකාවට පැමිණි කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව වන පාර්වති මහත්මියට වෛද්‍ය ප්‍රතිකාර සදහා තමිල්නාඩුවට පැමිණීමට ඉන්දීය රජය වීසා නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇති රොයිටර් පුවත් සේවය පවසන්නේ ඇයට ඉන්දියාව විසින් වීසා ලබාදීම වෙනුවෙන් කොන්දේසි කිහිපයක් නිකුත් කර ඇති බවයි. පාර්වතී මහත්මිය වෙනුවෙන් ‍කොන්දේසි සහිත වීසා නිකුත් කිරීමට ඉන්දීය රජය ගත් තීරණය පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා ද අදහස් දක්වා ඇත.
ඉන්දියාව විසින් පාර්වතී මහත්මිය වෙනුවෙන් නිකුත් කර ඇති කොන්දේසි අතර ඇය වෛද්‍ය ප්‍රතිකාර ගත යුත්තේ රජයේ රෝහලකින් බවත්, එය ද මාස 06 කට සීමා වන බවත්, ප්‍රතිකාර ගන්නා කාලසීමාව තුළ ඇය රෝහල තුළම රැඳී සිටිය යුතු බවත් දක්වා ඇත. එමෙන්ම මෙම කාලසීමාව තුළ මාධ්‍යවේදීන්, දේශපාලඥයින් හමුනොවීම, තෝරාගත් පිරිසකට පමණක් ඇයව හමුවීමට අවස්ථාව ලබාදීම යනාදියද ඇතුළත්ය.
පසුගිය කාලය පුරා මැලේසියාවේ ජීවත් වූ 80 හැවිරිදි ප්‍රභාකරන්ගේ මව ඊයේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.සිවාජිලිංගම් මහතාය. lankatruth

කැලණියෙන් සොරගත් දැරිය මාරවිලින් හමුවේ


මීට දින තුනකට පෙර කැලණිය රාජමහා විහාරයේ දී පැහැරගත් දැරිය මාරවිල නිවසකින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ඉඹුල්ගොඩ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සෙනුති ලිමන්සා මාපලගම නමැති අවුරුදු දෙක හමාරක දැරිය පසුගියදා සිය දෙමව්පියන් සමඟ කැලණි විහාරය වන්දනාමාන කරමින් සිටියදී අතුරුදහන් විය.
මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් වැටලීමක් සිදු කළ ද ඇය සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. පසුව මාරවිල ප්‍රදේශයේ කාන්තාවක් සිය අසල්වැසි නිවසේ ආගන්තුක දැරියක් රඳවා සිටින බවට කළ පොලිස් පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී දැරිය සොයාගැනීමට මාරවිල පොලිසිය සමත්ව ඇත. දැරිය සොයාගත් නිවසේ සිටි 72 හැවිරිදි කාන්තාවගෙන් පොලිසිය කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ සිල් සමාදන් වීමට ආ අවස්ථාවේදී දැරිය කොළඹ පිටකොටුවේ අතරමං වී සිටියදී තමන් රැගෙන ගෙන ආ බවයි.adaderana

මහා පරිමාණ අල්ලස් ගැනත් ‍හොයන්න නියෝගයක්


මහා පරිමාණයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් සිටිය දී සුළු වශයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් පිටුපස අල්ලස් කොමිසම හඹා යාම හාස්‍යයට කරුණක් බව කොළඹ ප්‍රධාන ‍මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව කියා සිටියේ පිටකොටුව බස් නැවතුම්පොළේ සේවය කළ වේලා සටහන් කරුගේ අල්ලස් නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.
අල්ලස් කොමිසම අක්‍රීය වී ඇති පසුබිමක මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද පිළිබඳව අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ ‍ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නියෝග කළාය. රුපියල් 100 ක් වැනි අල්ලස් මුදලක් ලබා ගන්නා අය ගැන පමණක් නොව ඉතා විශාල වශයෙන් අල්ලස් මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳව ද අල්ලස් කොමිසම අවධානය යොමු කළ යුතු බව චම්පා ජානකී මහත්මිය කියා සිටියාය.
කෝටි ගණනින් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් සුළු වශයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින්ගේ ඉරණම තීරණය කරන බව ද විනිසුරුවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවාය. කෙසේ වෙතත් මෙම අල්ලස් නඩුව යළි විභාගයට ගැනීමට නියමිතය.adaderana

පොදු සමාවක් ගැන කරුණා විශ්වාසයෙන්


දැනට ආරක්ෂක අංශ භාරයේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් වෙත ජනාධිපතිවරයා පොදු සමාවක් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසයි.
තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බව මුරලිදරන් මහතා සඳහන් කළේය.. අද දෙරණ කළ විමසීමක දී නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා මේ අදහස් පළ කළේය. ඔහු වැඩි දුරටත් පවසන පරිදි දැනට ආරක්ෂක අංශ භාරයේ සිටින එල්.ටී.ටී.ඊ යේ හිටපු දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්න්ගේ පවුලේ සාමාජිකයින් සාමාන්‍ය ජීවිත ගත කිරීමේ අපෙක්ෂාවෙන් පසු වේ.
ඒ අනුව තමිල් සෙල්වම්ගේ පවුලේ උදවියට ආර්ථික සංවර්ධන අමාත්‍ය,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා පවා හමුවීමට අවස්ථාවක් සලසා දුන් බවද,ඔවුන්ට චෝදනා නැතිනම් ඉදිරියේදී ඉදිරියේදී නීත්‍යනුකූල ලෙස සාමාන්‍ය ජන ජීවිතය ගත කිරීමට අවස්ථාව සලසා දීමට හැකිවෙනු ඇතැයිද හෙතෙම විශිවාසය පළ කළේය. ඔවුන් යුද්ධයට සම්බන්ධ නොවූ බව තමන් විශ්වාස කරන බව ද මුරලිදරන් මහතා පවසයි. මේ හේතුවෙන් ඔවුන් පිළිබඳ සුභවාදී පිළිතුරක් රජයේ පාර්ශවයෙන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. adaaderan

මැතිවරණ කොමසාරිස්වරයාගෙන් දැනුම්දීමක්


පසුගිය මහ මැතිවරණයේ දී දැරීමට සිදු වූ වියදම් සම්බන්ධයෙන් කඩිනමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත වාර්තා කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
අදාළ වාර්තා මේ මස 15 වනදාට පෙර ලැබීමට සලස්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇත. රජයේ විවිධ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් ඒ සම්බන්ධ වාර්තා මෙතෙක් ලබා නොදීම හේතුවෙන් මැතිවරණය සඳහා වැය වූ මුදල් පියවීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයට මෙතෙක් නොහැකි වී ඇති බව වාර්තා වේ.
මැතිවරණ මහ ලේකම් කාර්යා‍ලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ පසුගිය මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් වැය වී ඇතැයි අපේක්ෂා කරන බවයි. adaderana

තවත් වෙනස්කම් කිහිපයක්


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා නිමල් වෙල්ගම මහතා පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම සෙසු සාමාජිකයින් ලෙස නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ෂාමේන්ද්‍ර රාජපක්ෂ සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ද පත්ව ඇති බව සඳහන්ය. ඒ අතර ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපතිනී ලීෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති ධුරයට පත්ව ඇත.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ මෙන්ම හිටපු සිවිල් සේවා නිලධාරිණියක ද වන ඉන්ද්‍රනි වීරතුංග මහත්මිය ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හුවමාරුවෙහි ප්‍රධානී තනතුරට පත්කර තිබෙන බවට ද තොරතුරු වාර්තා වේ. adaderana

මෙරටට පංච බල කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලක්


රටේ සංවර්ධන උපාය මාර්ගයක් ලෙස පංච බල කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. නිදහස් අධ්‍යාපනය මේ වන විට එක්තරා කඩඉමකට පැමිණ ඇති බව ඔහු සඳහන් කරයි. ඊයේ කෑගලු විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
මෙරටේ වසරකට සාමාන්‍ය පෙළ විභාගයට ළමුන් තුන් ලක්ෂයක් පමණ පෙනී සිටින අතර ඉන් අඩක් පමණ අසමත් වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අවසන් වරට පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් අතරින් 49% ක් ගණිතය විෂය අසමත් වී ඇති අතර විද්‍යා විෂය 55% ක් මව් බස 20% ක් ද අසමත් වී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. adaderana

ගිනි අවියක් සමග දෙදෙනෙක් අල්ලයි


එම් 16 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රී ආණමඩුව, පුත්තලම මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලිසිය ප්‍රකාශ කළේය.
පුත්තලම දෙස සිට ආණමඩුව දෙසට පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයක් ලුහු බැඳ ගොස් සිදු කළ පරීක්ෂාවක දී මෙම ගිනි අවිය සො‍යා ගෙන ඇත. ගිනි අවිය සමඟ මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 30 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ආණමඩුව පොලිසිය මේ සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana

බිම් බෝම්බය පිපිරී ප්‍රංශ ජාතිකයා මියයයි


වව්නියාව, ඉරණ ඉරුප්පුකුලම් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ යෙදී සිටි ප්‍රංශ ජාතිකයෙකු බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යාමේ දී එය පුපුරා ගොස් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ දහවල් මෙම පිපිරීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජ‍යකොඩි මහතා සඳහන් කළේය. මොහු වව්නියාව ප්‍රදේශයේ ස්විට්සර්ලන්ත රජයේ ආධාර මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයෙකු බව වාර්තා වේ.
පිපිරීමෙන් තුවාල ලැබු ප්‍රංශ ජාතිකයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇත. මේ අතර එම ප්‍රංශ ජාතිකයාව වව්නියාව රෝහලට ගෙන ඒමට ගිය ගිලන් රථය අනතුරට පත් වීමෙන් එහි රියදුරු සහ සහයකයාද තුවාල ලබා ඇති බව වාර්තා වේ. වව්නියාව, මඩු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana

දශක 3 ක් විඳි වේදනාව අනාගතයට දෙන්නේ නෑ -ජනපති


දශක 3 ක් පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් ජනතාව ලත් වේදනාව අනාගත පරපුරට විඳීමට ඉඩ‍ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජාතික සුහදතාවයට අර්බුදකාරී සිද්ධීන්ගෙන් වූ හානිකර තුවාල සුව කිරීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
විදේශ තානාපතිවරුන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යා‍ලයේ පැවති හමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. පශ්චාත් අර්බුද අධ්‍යයනය සහ සංහිඳියාව සඳහා කොමිසමක් පත් කිරීමට අදහස් කරන බවත් එහි මූලික කටයුතු අවසන් වෙමින් පවතින බවත් ජනාධිපතිවරයා මෙහි දී දැනුම් දුන්නේය.
ජාතීන් අතර සුහදතාවයෙන්, සහෝදරත්වයෙන් ජීවත් වීම සම්බන්ධයෙන් අපේ ඉතිහාසය ලෝකයටම මඟ පෙන්වන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට එරෙහි වැඩපිළිවෙලේ දී මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයේ දී අත හිත දුන් විදේශ රටවලට සිය ස්තූතිය පළ කළේය. මේ අතර උතුරේ පළාත් සභා මැතිවරණය ද හැකි ඉක්මනින් පැවැත්වීම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි දී ජාතික සමගිය සහ සංවර්ධනය සඳහා කැප වූ නායකත්වයක් එම පළාත් වලින් බිහිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. adaderana