Monday, June 28, 2010

අසල්වැසි ගනුදෙනු වලදී රටට හානිවීමට ඉඩදෙන්නේ නෑ


මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් තමා සෑම විටම ප්‍රමුඛතාව දී කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අසල්වැසි රටවල සමග ගනුදෙනු කිරී‍මේ දී මෙරටට හානිදායක නොවන අයුරින් ක්‍රියාකිරීමට තමා සෑම විටම පියවර ගන්නා බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. "ටයිම්ස් ඔෆ් ඉන්දියා"පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර තිබේ.

එය ශ්‍රී ලංකාවට සැබවින්ම ප්‍රයෝජනවත් නම් එම ගිවිසුමට අත්සන් කිරීමට තමා පසුබට නොවන බව සීපා ගිවිසුම පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ අවශ්‍යතාවන්ට ප්‍රථම තමන් මෙරට අවශ්‍යතාවන් සඳහා ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. adaderana

රන්මිහිතැන්නේ ප්‍රථම ටෙලි නිර්මාණය ඇරඹේ


රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ප්‍රථම වරට ටෙලි නිර්මාණයක් පූර්ණ වශයෙන් රූගත කිරීමේ කටයුතු අද ආරම්භ විය. "ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්" ලෙස නම් කර ඇති මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා‍ය. එය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වීම මෙන්ම රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය තුළ පමණක් රූගත කිරීම් සිදුකෙරෙන ප්‍රථම ටෙලි නිර්මාණය වීම ද වි‍ශේෂත්වයකි.

මෙරට ප්‍රථම වරට"ඊ එක්ස් ත්‍රී "නම් නවීන කැමරා තාක්ෂණය මෙම ටෙලි නිර්මාණය සඳහා යොදා ගැනීමට නියමිත බව ද වාර්තා වේ. මෙවැනි සිනමා ගම්මාන ඉදිවීම යහපත් කරුණක් බව"ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්"නිර්මාණයේ මුහුරත් උළෙලෙන් අනතුරුව මහේන්ද්‍ර පෙරේරා පැවසුවේය. එහෙත් මෙරට කලා ක‍්ෂේත්‍රය සඳහා මීට වැඩි අනුග්‍රහයක් රජයෙන් ලැබිය යුතු බව ද මහේන්ද්‍ර පෙරේරා සඳහන් කරයි. adaderana

කමිටුවට විරුද්ධව හෙළ උරුමය උද්ඝෝෂණයක


එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට කමිටුවක් පත්කිරීමට විරෝධය පළ කරමින් ජාතික හෙළ උරුමය අද විරෝධතාවක නිරත විය. කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සිට එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය දක්වා සාමකාමී පාගමනකින් පැමිණි හෙළ උරුමයේ පාක්ෂිකයින් එම ස්ථානයේ දී විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය ක‍ළහ.

ලොව ගැටුම් සමථයකට පත්කිරීම වෙනුවෙන් පවතින එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට සාමයට එරෙහි ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණක් බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදී සඳහන් කළේය. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියා මාර්ග ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීමක් බව ද සෝභිත හිමියන් අවධාරණය කළේය. ජගත් මහලේකම්වරයා කමිටුවක් පත්කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට උත්සහ දරන බවට ද ජාතික හෙළ උරුමය මෙහිදී චෝදනා කළේය. adaderana

යළි පදිංචි කිරීම් කඩිනම් කිරීමට හමුදා බලඇණි 5 ක්


මුලතිව් දිස්ත්‍රික්කයේ යළි පදිංචි කරවීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමට‍ නවීන යන්ත්‍ර සූත්‍ර සහ හමුදා බලඇණි පහක් යොදවා ඇති බව ආරක්ෂක අංශ පවසයි. එම දිස්ත්‍රික්කයේ 65%ක පමණ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 30,000ක් පමණ යළි පදිංචි කරවීමට නියමිතය. මේ වන විට වැසියන් 22,000ක් පමණ යළි පදිංචි කොට ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි. ඉදිරි මාස තුන ඇතුළත එම දිස්ත්‍රික්කයේ සියලු වැසියන් යළි පදිංචි කර අවසන් කිරීමට හැකි වනු ඇති බව මුලතිව් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක අංශ ප්‍රධානීන් කියා සිටියේය. adaderana

කුවේට්හි ලාංකිකයෙක් සියදිවි නසාගනී


කුවේට්හි නිවසක රියදුරෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු මහල් 05ක ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. සහරාන් නැමති මෙම පුද්ගලයා කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව ද සඳහන්ය.

මරණය පිළිබඳව එරට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවන අතර මළ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇත. adaderana

ද්‍රවිඩ භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් විය යුතුයි -කරුණානිධි


ද්‍රවිඩ භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් බවට පත්කළ යුතු යැයි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කර ඇත.

දින 05ක් පුරා පැවති ලෝක ද්‍රවිඩ සංස්කෘතික සමුළුවේ අවසන් දිනය වූ ඊයේ (27) දිනයෙහි කරුණානිධි මහතා මෙම කරුණු පිළිබඳව සඳහන් කර ඇත. මදුරාසියේ මහාධිකරණ කටයුතු වල නිල භාෂාව බවට ද ද්‍රවිඩ භාෂාව පත්කළ යුතු බව මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මේ වන විට කිව නොහැකි පීඩනයකට‍ පත්ව සිටින බව ද ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති එම්. කරුණානිධි මහතා පවසයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් රජය මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ලෝක සම්භාව්‍ය දෙමළ සමුළුවේ අවසන් දේශනය සිදුකරමින් කරුණානිධි ප්‍රකාශ කර ඇත.

එසේම ඇතැම් පිරිසට තවමත් අවතැන් කඳවුරුවල රැදී සිටීමට සිදුව ඇති බව පෙන්වාදෙන තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයා යළි පදිංචි කළ පිරිසට පවා නිසි පහසුකම් සපයා නොමැති බවට චෝදනා කරයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළ යුතු බව කරුණානිධි වැඩිදුරටත් සඳහන් කර ඇත. adaderana

ෆොන්සේකා ලබන 12 තෙක් හමුදා භාරයට


හයිකෝප් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ‍හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන 12 වැනිදා දක්වා හමුදා භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ජෙනරාල් ෆොන්සේකා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රඳවා තැබිය යුතු බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර සිටියේය.

අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදී ජෙනරාල් ‍ෆොන්සේකා මහතා මීට පෙර දින නඩු විභාගයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවීමට නියෝග කිරීම හේතුවෙන් ඥාතීන්ට දෛනිකව ඔහුට ආහාර සැපයීමේ බාධා එල්ල වී ඇති බව ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය. එසේම ෆොන්සේකා මහතා අධිකරණ‍ය වෙත රැගෙන ඒමේදී බන්ධනාගාර රථයක රැගෙන එන බැවින් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේය.

ජෙනරාල් ෆොන්සේකා මහතාට ආහාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. එසේම අධිකරණය වෙත රැගෙන ඒමේදී යුද හමුදා ආරක්ෂක රථයක රැගෙන එන ලෙස ද අධිකරණය නියම කර සිටියේය. විදේශගතව සිටින ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනාට දුරකථන ඇමතුම් ලබාදීමට අවසර දෙන මෙන් නීතීඥවරුන් සිදුකළ ඉල්ලීම සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එම පහසුකම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යුද හමුදා නීති නිලධාරීයාට දැනුම් දුන්නේය. adaderana

මළ සිරුරක් මුහුදට විසිකළ සැකකරුවන් ගැන පරීක්ෂණ


තොඩුවාව පල්ලියපාඩුව ප්‍රදේශයේ මුහුදට මළසිරුරක් විසිකර යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මුන්දලම‍ පොලිසිය පවසයි. ඊයේ පස්වරුවේ කැබ් රථයකින් පැමිණ තොඩුවාව මුහුදට මළසිරුරක් විසිකර දමා පලා යන අවස්ථාවේදී පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැබ් රථය තුළ තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිසිය භාර‍යට ගෙන ඇත.

කැබ් රථයේ සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පොලිසියට පවසා ඇතැයි වාර්තා විය. දැනට සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ අදාළ පුද්ගලයා කිසියම් ස්ථානයකදී හෝ කැබ් රථය තුළදී ඝාතනය කර ‍මුහුදු වෙරළට විසිකර දමන්නට ඇති බවය. adaderana

කැළණියේ සියලු අනවසර ඉදිකිරීම් මේ සතියේ සිට ඉවතට


කැළණිය ප්‍රදේශයේ ඇති සියලු අනවසර ඉදිකිරීම් අදින් ඇරඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. එවැනි අනවසර ඉදිකිරීම් ඇත්නම් තමන් වෙත කඩිනමින් දන්වා සිටින ලෙස ඔහු සඳහන් කරයි.

කැළණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලයට එක්වෙමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මින් පසු කැළණිය විශ්ව විද්‍යාලය වසා දැමීමට ඉඩ නොතබන බව ද එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේය.
adaerana

එක්සත් ජාතීන් හරහා ලංකාවට අතපෙවීමේ උත්සාහයක්


යුදමය වකවානුව තුළ ශ්‍රි ලංකාවට අතපෙවීමට ඇතැම් රටවල් දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යළි ඒ සඳහා ඔවුන් උත්සාහ ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍යයක් වාර්තා කර තිබේ. ශ්‍රි ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වෙබ් අඩවියක් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

අදාළ කමිටුව හරහා ශ්‍රි ලංකාවේ ජාතික ඒකාබද්ධතාවයට බලපෑම් එල්ල විය හැකි බව එහි දක්වා ඇත. ජාත්‍යන්තරය තුළ ක්‍රියාකාරී රටක් වශයෙන් සැලකෙන ශ්‍රි ලංකාව දීර්ඝ ඉතිහාසයක සිට මානව අයිතීන් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයට පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය. එ‍හෙත් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් ඇතැම් රටවල් ශ්‍රි ලංකාවට අතපෙවීමට හේතු කිහිපයක් බලපා ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රි ලංකාවේ පිහිටීම සහ චීනය පෙරට වඩා ශ්‍රි ලංකා‍ව තුළ කටයුතු ව්‍යාප්ත කිරීම එම හේතු අතර වේ. එසේම අමෙරිකා එක්සත් ජනපදයට දකුණු ආසියානු කලාපය තුළ අහිමි වෙමින් ඇති බලය යළි ලබා ගැනීම ද මෙවැනි බලපෑම් වලට හේතු විය හැකි බව අදාළ වාර්තාවේ දක්වා ඇත.

ශ්‍රි ලංකාවේ කළ සංචාරයේදී කළ ප්‍රකාශ සහ ඉන්පසු තත්ත්වයන් සළකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා බලවත් රටවල වුවමනාවන් ඉටුකරන බව පෙනී යන්නේ යැයිද එහි සඳහන්ව ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සෑම රටකටම සමාන අයිතිවාසිකම් හිමිවන අතර කිසිදු රටක ස්වෛරීභාවය සම්බන්ධයෙන් එම සංවිධානයට මැදිහත් විය නොහැකි බව ද අදාළ ඉන්දීය වෙබ් අඩවියේ වාර්තා කර තිබේ. adaerana

ඉතිරි කාලයට අයවැය හෙට


මේ වසරේ ඉතිරි කාලය සඳහා වු රජයේ ආදායම් සහ වියදම් ඇතුළත් අයවැය ලේඛනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අයවැය ලේඛනය අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ඇත. පක්ෂ නායක රැස්වීමේ තීරණයකට අනුව පළමුවරට පස්වරුවේ පාර්ලිමේන්තු කටයුතු හෙට සිට ආරම්භ කෙරෙයි. ඒ අනුව හෙට පස්වරු‍ දෙකට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය අනිද්දා ආරම්භ කෙරෙන අතර එය දින හතරක් පැවැත්වෙන බව වාර්තා වේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය අවසානයේ දී සිදුකරන ඡන්ද විමසීම ලබන තුන්වැනිදා පස්වරුවේ පැවැත්වෙන අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ජූලි මස පස් වැනිදා සිට නව වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව අයවැය අවසන් ඡන්ද විමසීම ජූලි මස නවවැනි සිකුරාදා පස්වරු 6ට සිදුකෙරෙනු ඇත.adaderana

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයෙන් යෝජනා


විධායක ජනාධිපති ධුර කාලය වෙනස් කිරීම සඳහා සිදුකෙරෙන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ යෝජනා මාලාවක් සකස් කර තිබේ. විපක්ෂ දේශපාලන පක්ෂ 7ක නායකයන් විසින් සකස් කළ මෙම යෝජනා ඇතුළත් වාර්තාව හෙට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සහ එම පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් මෙම යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්ය. අදාළ කොන්දේසි ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමට මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. adaderana