Monday, March 29, 2010

ඉන්ධන නොමැතිව මොරටුව සහ රත්මලාන ඩිපෝවල බස් රථ ධාවනය නවතී


ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මොරටුව සහ රත්මලාන ඩිපෝවල මගී ප්‍රවාහන බස් රථ ධාවනය ‍ඉන්ධන නොමැති කම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩාලවී ඇතැයි වාර්තාවේ. වාර්තාවන ආකාරයට එම ඩිපෝවලින් අද දවසේ පිටත්ව ඇත්තේ ඉතා සීමිත බස් රථ ප්‍රමාණයක් පමණි. ඉන්ධන නොමැති වුවහොත් හෙට දිනය වන විට එය සම්පූර්ණයෙන්ම ඇණ හිටිනු ඇති බව සේවකයින් පවසති.
කෙසේ වෙතත් රත්මලාන සහ මොරටුව ඩිපෝවලට අයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු සදහා යොදාගන්නා බස් රථ කිහිපයක් සදහා පමණක් ඩිපෝ‍වල ඉතිරිව ඇති ඉන්ධන අතිරික්තය වෙන්කර ඇති බවද සේවකයින් පවසති.lankatruth

ආණ්ඩුව සින්දුව - තනුව - ගායකයා වෙනස් කරලා : ටිල්වින් සිල්වා


ආණ්ඩුවේ මහ මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨයවූ ව්‍යවස්ථා වෙනස සදහා තුනෙන් දෙක ලබා ගැනීම මේවන විට ආණ්ඩුවම ඉල්ලා අස්කර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වාදුන්නේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලය ගැන කිව් සින්දුව, තනුව පමණක් නොව ගායකයාද වෙනස්කර ඇති බවයි.
එහිදී ඒ මහතා මෙසේද පැවසීය.
පසුගිය දිනවල ජනාධිපතිවරයා ප‍්‍රමුඛ අනෙක් සෑම ඇමැතිවරයෙක්ම ව්‍යවස්ථා සංශෝධයක් කිරීම වෙනුවෙන් 2/3 ක බලයක් ආණ්ඩුවට ලබාදිය යුතුයි යන අදහසේ සිට ජනතාව ඇමතුවා. ඒවගේම මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයටත් පෙර සිටම ඔවුන් 2/3 බලයක් සම්බන්ධයෙන් කතා කළා. නමුත් ඊයේ (28) වන දින ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන චම්පික රණවක ඇමැතිවරයා පවසන්නේ අලූත් ව්‍යවස්ථාවක් ගේන එක ප‍්‍රමුඛ නෑ සිදුවන්නේ තියෙන ව්‍යවස්ථාවට අලූතින් කරුණු එකතු කරන එක බවයි.
ආණ්ඩුව දැන් සිංදුව වෙනස් කරලා, සිංදුව විතරක් නොවෙයි, තනුවත් වෙනස්, ගායකයිනුත් වෙනස් කරලා තියෙන්නේ. මෙයින් පෙනෙන්නේ ඔවුන් තිබෙනවා ඡන්දයට කළින්ම 2/3 බලය පිළිබඳ සිහිනය අත්හැරල. මේ තත්ත්වය උඩ මේ ගෙන එනවා කියන ව්‍යවස්ථාව එදා චන්ද්‍රිකා ගෙන ඒමට උත්සාහ කරපු ව්‍යවස්ථාවම ද කියන සැකයක් තිබෙනවා. එහි අඩංගුයි ජනාධිපතිවරයාගේ බලය දීර්ග කර ගැනීම පිළිබඳ වන කරුණු. මේ ජනාධිපතිරයාගේ අවශ්‍යතාවයත් මේ වන විට වන්නේ ඒකමයි.
ඒ නිසා අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණ වන්නේ මේ තිබෙන පවුල් පාලනය ගොඩනගා ගැනීම විනා අලූතින් ව්‍යවස්ථා ගෙන ඒම නොවේ. තිබෙන ව්‍යවස්ථාව හොදටම ප‍්‍රමාණවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට හා ජනතාවට සහන සැලසීමට. නමුත් ඒ ප‍්‍රමාණයවත් මොවුන් ඉටුකරන්නේ නැහැ.
පසුගිය දවස්වල ඉන්දීය විදේශ ලේකම්වරිය මෙරටට පැමිණියා. ඒ පැමිණීමත් සමග විශාල අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් කතා බස් වූනා එහිදී ජනාධිපතිවරයා දිගින් දිගටම ජාතික ගැටළුව සම්න්ධයෙන් 13 වෙනි සංශෝධනයට එහා ගිය විසදුමක් සම්බන්ධයෙන් කරුණු මතු කර තිබුනා. මෙය තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය වෙනස්වීම සදහා මුල පුරන්නේ මේ වෙලාවේ මේ තත්්ත්වය සගවා ගෙන සිටින්නේ දේශපේ‍්‍රමය ඉදිරියට දමාගෙන මැතිවරණ කරන අයට එමගින් පාඩුවක් වන නිසයි.
17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බලගන්වන්න ඕන කියන චම්පික මහත්තයා තමයි 17 වන සංශෝධනය ගෙන එන වෙලාවේ එයට විරුද්ධ වූ එකම පුද්ගලයා. පසුගිය දවස්වල යුරෝපා සංගමය සමග ජී.එස්.පී. ප්ලස් සම්බන්ධයේන කතාබහ කිරීමට ගිය දූතයන්ට පවසා තිබෙනවා. 17 වන සංශෝධන බලාත්මක කරන ලෙස මේ හදිසි වෙනසට හේතුව එයයි.
ආණ්ඩුව කියනවා 17 වන සංශෝධනය ගෙන ඒම සිදුවන්නේ මහ මැතිවරණයෙන් පස්සේයි ඒ නිසා එය ගෙනඒමට ඡන්දය ලබාදෙන්න යැයි කියනවා. ප‍්‍රශ්නය තිබෙන්නේ 17 වන සංශෝධනය අවශ්‍ය වන්නේ මැතිවරණ සදහායි ඉන් පසුව එය වැඩක් නැහැ. මේ සිදුකරන්නේ නීතියට පිටතින් බලය ගෙන ඒ බලය තහවුරු කරගැනීම සදහා ව්‍යවස්ථා වෙනස්කම් සිදුකරන එකයි.
මෙම මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික දුමින්ද නාගමුව මහතාද සහභාගී විය. lankatruth

ඇමති චන්ද්‍රසිරි ගජධීරගේ ආධාරකරුවන් පහරදී සන්ධානයේම ආධාරකරුවෙක් ඝාතනය කරයි


ඊයේ (28) රාත්‍රී මාතර, වැලිගම, කොටවිල ප්‍රදේශයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර මනාප පොරයක් හේතුවෙන් හටගත් ගැටුමකදී පහරකෑමට ලක්වූ එක් ආධාරකුරවකු මියගොස් තවත් ආධාරකරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තාවේ.
අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර ඒ සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයින්වන මහින්ද යාපා, ලක්ෂ්මන් යාපා ඇතුළු අපේක්ෂකයින් සහ ආධාරකරුවන් සහභාගී වී ඇත.
මෙම ගැටුම සිදුව ඇත්තේ ප්‍රචාරක රැස්වීමෙන් අනතුරුව පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර රාත්‍රී 10.00ට පමණය. සන්ධාන ආධාරකරුවන් අතර මනාප සම්බන්ධයෙන්වූ සිද්ධියක් ගැටුමට මුල්වී තිබේ.
මෙහිදී පහරදීම සිදුකර ඇත්තේ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගේ ආධාරකරුවන් පිරිසකි. ඔවුන් එම රැස්වමි පැමිණ සිටි වෙනත් සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසකට මෙසේ පහරදී එක් අ‍යෙකු ඝාතනයකර තිබේ. පහරකෑමෙන් මරුමුවට පත්ව ඇත්තේ වැලිගම, කොටවිල පදිංචි 21 හැවිරිදි තිවංක සදකැලුම් නැමැති තරුණයාය. තුවාල ලැබූ අනෙකුත් ආධාරකරුවන් දෙදෙනා මාතර රෝහලට ඇතුළත්කර තිබේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේවන තෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර නොමැත.lankatruth

විජේදාස රාජපක්ෂගේ පනත සාකච්ඡාවට ගන්න බැරි බව පාර්ලිමේන්තු මහලේකම් දැනුම් දෙයි


විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ සෙබළුන්ට හමුදා පනත අදාළ නොවන ලෙසට සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව 6 වැනිදා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විජේදාස රාජපක්ෂ මහතාට දැනුම්දී තිබේ.
එහිදී පාර්ලිමෙන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා පෙන්වාදී ඇත්තේ එළඹෙන අප්‍රේල් 06 වනදා පාර්ලිමේන්තුව නැවත රැස් කරන්නේ හදිසිනීති රෙගුලාසි සම්මත කර ගැනීමට පමණක් බැවින් එදින හමුදා පනතට අදාළ කටයුතු කිරීමට අවකාශයක් නොමැති බවයි.lankatruth

දරුවාට කිරිපිටි පැකට්ටුවක් ගන්න මව රන්මාලයක් කොල්ලකයි


සිය දරුවාගේ කුසගින්න නිවා දැමීම සදහා කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑ බව කියන එක් දරු මවක් පසුගිය 27 වනදා දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී ඇත්තේ අවුරුදු එක හමාරක් වියැති සිය දරුවාට ආහාර සදහා යමක් සොයාගැනීමට දෙනියාය නගරය පුරා දවසක් ඇවිද ඇති ඇය එය අසාර්ථකවීමෙන් අනතුරුව මහ මග ගමන් ගත් කාන්තාවකගේ රන් මාලය මෙලෙස කොල්ලකෑමට පෙළඹී තිබේ.
දෙනියාය නගරයේ මහ මග ගමන් කරමින් සිටි කාන්තාවකගෙන් මෙලෙස කොල්ල කා ඇත්තේ රුපියල් 23500ක් වටිනා රන් මාලයකි. ඇය එම රන් මාලය රැගෙන පල්ලේගම ප්‍රදේශයේ බැංකුවකට රුපියල් 12000කට උගස්කර තිබේ. පසුව ඇය අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඇය මිලදීගත් කිරිපිටි පැකැට්ටුව සහ ඉතිරි මුදල් සියල්ල සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.lankatruth

සහනාධාර පොහොර හොරෙන් අදියි


මහින්ද චින්තන සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට බෙදා හැරීමට නියමිතව තිබු පොහොර තොගයක් හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මුන්වත්ත , පදියපැලැල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මෙම පොහොර තොගය සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
එහි තිබු කිලෝ ග්‍රෑම් 50 බැගින් වු සහනාධාර පොහොර මිටි 6ක් මතුරට පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ. adaderana

අදත් ඡන්ද පත්‍රිකා බෙදයි


මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළ අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගෙන්ගෙට පැමිණ බෙදා හරින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීම සඳහා නිවසේ රැඳී සිටිමින් සහය දක්වන ලෙසයි.
මේ සඳහා දිවයින පුරා 7,500ක පමණ තැපැල් නිලධාරීන් පිරිසක් යොදවා තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ඊයේ ද ක්‍රියාත්මකවිය. පසුගිය 23 වැනිදා බෙදා හැරීම් ආරම්භ කළ නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා වලින් සියයට 35ක් පමණ මේ වන විට බෙදා හැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.
ඡන්ද පත්‍රීකා බෙදා හැරීම ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
කෙසේ වුවද එම කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත නොහැකි වු පුද්ගලයන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ප්‍රදේශයේ තැපැල් කාර්යාල වලින් ඒවා ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබේ. adaderaana

විපක්ෂයෙන් පලිගන්න මෙහෙව් ආණ්ඩුවක් තිබුණේ නෑ


විපක්ෂයෙන් මෙතරම් පලිගන්නා ආණ්ඩුවක් ඉතිහාසයේ කිසිදිනක නොතිබු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පවසයි.
විපක්ෂයට උදව් කළ සෑම දේශපාලන පක්ෂයකම පාක්ෂිකයන්ටද වත්මන් ආණ්ඩුව විසින් හිරිහැර කරන බව ඔහු පෙන්වා දෙයි.
මාතර ප්‍රදේ‍ශයේ පැවති ජනරැලියකට එක්වෙමින් සමරවීර මහතා මේ අදහස් පළ කරන ලදී. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ආණ්ඩුව පෙරළා දමා රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු බවයි.
ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සමස්ත විපක්ෂයම සුදානමින් සිටින බව ද මංගල සමරවීර මහතා පැවසීය. adaderana

නීති හදන්නට හොරුන්ට තැන දෙන්න එපා


පාර්ලිමේන්තුවේ නීති සාදන පුද්ගලයන් සත්‍ය වශයෙන්ම නීති රකින පුද්ගලයන්දැයි ජනතාව අ‍වබෝධ කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
නීති සෑදීමේ කාර්යයට එක්ව ඇත්තේ සොරුන් , වංචාකරුවන් සහ දාමරිකයන් ඇතුළු පිරිස් බව ඔහු සඳහන් කරයි.
එබැවින් යළිත් වරක් එවැනි පුද්ගලයන්ට ජනතාව වෙනුවෙන් නීති සෑදීම සඳහා පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාව ලබාදීම පිළිබඳ සලකා බැලිය යුතු බව අමරසිංහ මහතා පෙන්වා දෙයි.
අකුරැස්ස ප්‍රදේ‍ශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී. adaderana

යුද්ධයට දැන් හොඳ වෙළෙඳපොළක් නෑ


යුද්ධය ගෙන්ගෙට ගොස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආණ්ඩු පක්ෂය විසින් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා පවසයි.
වර්තමානයේ යුද්ධයට වෙළඳපළක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.
ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ යුද්ධ‍ය ගැන කථා කිරීම නොව ජනතාවට ජිවත් වීමේ මගක් සලසා දීම පිළිබඳ අවධානය යොමු විය යුතු බවයි.
මැතිවරණයෙන් පසු ජනතාව තවදුරටත් පීඩාවට පත්වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.. adaderana

කටවුට් ගලවන්නැයි ආයෙමත් නියෝගයක්


සියලුම මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් , කටවුට් සහ බැනර් අප්‍රේල් පස් වන දිනට පෙර ගලවා ඉවත් කරන ‍ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පොලිස්පති මහින්ද බාලසුරිය මහතා වෙත නැවතත් නියෝග කර තිබේ.
අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කාර්යාලවල සහ එම භූමිවල ඇති ප්‍රචාරක පුවරු ද වහා ගලවා ඉවත් කළ යුතු බවට නියෝග කර ඇති බව සඳහන් වේ. මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම නියෝගය දී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් ‍කරයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රචාරක පුවරු ඉවත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි. මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල් ආර්.ජයසුරිය මහත්මියගේ සේවය අත්හිටුවීම වහාම අවලංගු කරන‍ ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම අධිකාරියේ සභාපතිවරයා වෙත නියෝග කර තිබේ.
ජයසුරිය මහත්මිය කළ පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මෙම නියෝගය කර ඇති බව මැතිවරණ ම‍හලේකම් කාර්යාලය සඳහන් කරයි.
මැතිවරණ කාල සීමාව තුළදී රාජ්‍ය සේවයේ ස්ථාන මාරු කිරීම් , පත්කිරීම් හා උසස් කිරීම් ඇතුළු කටයුතු සිදුකිරීම නීති විරෝධි බැවින් මැතිවරණයෙන් පසු අදාළ තීරණය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දන්වා ඇත. adaderana