Monday, March 29, 2010

කටවුට් ගලවන්නැයි ආයෙමත් නියෝගයක්


සියලුම මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් , කටවුට් සහ බැනර් අප්‍රේල් පස් වන දිනට පෙර ගලවා ඉවත් කරන ‍ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පොලිස්පති මහින්ද බාලසුරිය මහතා වෙත නැවතත් නියෝග කර තිබේ.
අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කාර්යාලවල සහ එම භූමිවල ඇති ප්‍රචාරක පුවරු ද වහා ගලවා ඉවත් කළ යුතු බවට නියෝග කර ඇති බව සඳහන් වේ. මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම නියෝගය දී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් ‍කරයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රචාරක පුවරු ඉවත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි. මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල් ආර්.ජයසුරිය මහත්මියගේ සේවය අත්හිටුවීම වහාම අවලංගු කරන‍ ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම අධිකාරියේ සභාපතිවරයා වෙත නියෝග කර තිබේ.
ජයසුරිය මහත්මිය කළ පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මෙම නියෝගය කර ඇති බව මැතිවරණ ම‍හලේකම් කාර්යාලය සඳහන් කරයි.
මැතිවරණ කාල සීමාව තුළදී රාජ්‍ය සේවයේ ස්ථාන මාරු කිරීම් , පත්කිරීම් හා උසස් කිරීම් ඇතුළු කටයුතු සිදුකිරීම නීති විරෝධි බැවින් මැතිවරණයෙන් පසු අදාළ තීරණය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දන්වා ඇත. adaderana

0 comments:

Post a Comment