Thursday, April 29, 2010

මාධ්‍ය නිදහස සුරැකීමට බිරිඳගෙන් වෙන්ව නිදා ගැනීමට සිදුවී ඇති බව මර්වින් කියයි


තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නිවැරදි බව ඔප්පු වුවහොත් සිය නව ධුරයෙන් ඉල්ලා අස් වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. "මම මාධ්‍යට එරෙහිව කුමන හෝ වරදක් කළ බව ඔප්පු වුණොත් අමාත්‍යංශයෙන් ඉල්ලා අස් වෙනවා" නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ ක‍ළේ නව නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ සංවිධානය කර තිබූ උත්සවයකදීය.
සියලු දුක්ගැනවිලි තමන්ට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා මෙහිදී ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කළේය. මාධ්‍යවේදීන්ගේ පැමිණිලි හා යෝජනා සටහන් කිරීමට විශේෂ කවුළුවක් මාධ්‍ය අමාත්‍යංශයේ විවෘත කිරීමට ද ඔහු ‍පොරොන්දු විය. නමුත් විශාල වැරදි ප්‍රමාණයක් කරන බව කියමින් ඔහු සිය කතාවේදී සිරස මාධ්‍ය ආයතනයට ‍චෝදනා කළේය.
එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදීන්ට ජංගම දුරකතනය හරහා රාත්‍රියේදී වුවත් තමන් සම්බන්ධ කර ගැනීමට පහසු වනු පිණිස සිය බිරිඳගෙන් වෙන්ව නිදාගැනීමට පවා තමා තීරණය කර ඇති බවයි. lankatruth

අධ්‍යාපන කෙත පුරන් කළ බව ආණ්ඩුවම පිළිගනී


පසුගිය රජයේ අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත් මහතාට දැඩි ලෙස දෝෂාරෝපනය කරමින් නව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සුභ පතමින් ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විසින් අද පැලවත්ත, ඉසුරුපායේ විශාල බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.
මෙම බැනරයේ ප්‍රධාන වැකිය ලෙස දක්වා තිබුණේ "පුරන් වූ අධ්‍යාපන කෙත යලි අස්වැද්දෙන වගයි...!" යනුවෙනි. මෙම බැනරයට අනුව පසුගිය කාලය පුරාවටම නගා සිටවූවා යැයි කියන අධ්‍යාපනය ආණ්ඩුව විසින්ම පුරන් කළ බව පිළිගෙන ඇත. මෙහි විශේෂය වන්නේ මෙම හෙළිකිරීම සිදු කර ඇත්තේ ආණ්ඩු විරෝධී කල්ලියක් නොව, පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිකරවීමටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමටත් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ගුරු වෘත්තීය සමිතිය වන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විසිනි.
මෙහි ඇති අනෙක් විශේෂය වන්නේ මෙම බැනරය ප්‍රදර්ශනය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශය වන ඉසුරුපාය පරිශ්‍රය තුළ වීමයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අධයාපන අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවට හිටපු අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද පැමිණ සිටි අතර, මෙම බැනරය ප්‍රදර්ශනය කර තිබුණේ ඔහුද පැමිණි උත්සවයදීවීම තවත් විශේෂයකි.adaderana

රනිල්ගේ පත් කිරීමට එරෙහිව මධ්‍යම පළාතේ එජාප මන්ත්‍රීවරු කැරලි ගසති


මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයාව සිටි වසන්ත අලුවිහාරේ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව කේ.කේ.පියදාස මහතාව එම තනතුරට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ඊයේ රාත්‍රී මහනුවර සංචාරක හෝටලයකදී පැවැති රහසිගත සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලකී ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ගේ ගැත්තන්ට තනතුරු ලබාදීමේ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ පියවර තමන් අනුමත නොකරන බවයි. මේ අතර මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංජීව කවිරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවත්, එමෙන්ම විපක්ෂ නායකයා තෝරා පත් කිරීමේ අයිතිය මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමට ලබා දෙන ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කර ගත් බව ද ඔහු පවසයි. මේ අතර මාධ්‍ය‍‍ වෙත අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතා පවසා තිබෙන්නේ තමන්ට හැමදාමත් විපක්ෂයේ සිටිය නොහැකි බවත්, විපක්ෂ නායකයා පත් කිරීමට පෙර මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමේ වගකීමක් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවත්ය.lankatruth

දේශපාලනයට ගෙනාවේ නැතිනම් තාමත් අල-ලූණු විකුණනවා


රාජපක්ෂ පරම්පරාව විසින් තමා දේශපාලනයට ගෙන ආවේ නැතිනම් තමා මේ වන විටත් තාත්තගේ කඩේ අල,ලූණු විකුණනමින් සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
තමා ජනාධිපතිවරයාගේ දෙකකුල් ළඟ වැටී සිටින ඡායා රූපයක් මාධ්‍යවල පළ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය පදවියේ වැඩ භාර ගනිමින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මැදමුලන වලව්වට තමන් ඒ කාලයේ යන විට වලව්වේ බංකුවල මිස පුටුවල වාඩි නොවන ලෙස මව්පියන් උගන්වා තිබුණු බවත්,තමන් එකී උපදෙස් අකුරටම පිළිගන්නා බවත්,එසේ කරනුයේ ආගම, දහම හා සදාචාරය පිළිබඳ ගරු කරන බවත් ඔහු කියා සිටියේය. ජනාධිපතිවරයාගේ ළඟ දණින් වැටී නොමැතිව තමන් ඔහුගේ ඔඩොක්කුවේ ඉඳ ගත්තානම් තමන් පිස්සෙක් ලෙස සලකා අංගොඩ යවනු ඇති බවත් හෙතෙම සිහිපත් කළේය.
තමාගේ ජීවිතය නොසලකා මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව ද ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටියේය. එසේ හෙයින් රාත්‍රී 12.00 ට වුව තමාගේ ජංගම දුරකතනයට මාධ්‍යවේදීන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකි බවත්,තමන් මාධ්‍යවේදීන් වෙනුවෙන් කෙතරම් කැප කිරීම් කරනවාද යත් මාධ්‍යවේදීන්ට රාත්‍රීයේ පවා තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකිවන පරිදි තමන් සහ තම බිරිඳ එකම කාමරයේ නිදා නොගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ තුළ කුඩා දරුවකුගේ උපතේ සිට සුසානය දක්වාම සියලු පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ට අභූත චෝදනා එල්ල කරනු ලැබූවද එකී චෝදනා කිසිවෙකුට හෝ ඔප්පු කිරීමට හැකිනම් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය. adaderana

විපක්ෂයේ ප්‍රධාන කතාව ෆොන්සේකාටයි


මීළඟ පාර්මේන්තු සැසියේදී හදිසි අවස්ථාව සම්බන්ධයෙන් ගෙන එන විවාදයේදී විපක්ෂයේ ප්‍රධාන අදහස් දැක්වීම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකරනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හෙරත් මහතා පවසයි. එහිදී මානව හිමිකම් කඩවීම්,තමන්ට සිදුවුණු අසාධාරණකම් මෙන්ම ආණ්ඩුවේ අක්‍රමකතාවන් පිළිබඳවද දීර්ඝ වශයෙන් ෆොන්සේකා විසින් කරුණු දක්වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.
මැයි මස 04-05-06 යන තෙදින තුළ හදිසි අවස්ථාව පිළිබඳ විවාදය සිදු කෙරේ.. ඉදිරියටත් කුසලානය ලකුණෙන් තරඟ කිරීමට ජ.වි.පෙ සූදානම් බවද විජිත හෙරත් මහතා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනු ලැබූවද බහුතර ඡන්ද දායක පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටියේ ආණ්ඩුවට දැක්වූ අකමැත්ත නිසා බවද හෙතෙම සඳහන් කළේය.
මේ වසරෙත් අයවැයක් ගෙන එන්නට ආණ්ඩුව විසින් කටයුතු කර නොමැති බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වියදම් පියවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ආදායම් වියදම් පිළිබඳ හෝ නිසි අවබෝධයක් ආණ්ඩුවට නොමැති නිසා බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

ප්‍රභාකරන්ගේ නිවස කැඩූ බවට ආණ්ඩුවට චෝදනා


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිර්මාතෘවරයා වූ වී.ප්‍රභාකරන් ගේ යාපනයේ පිහිටි මහ ගෙදර රජයේ ආරක්ෂක අංශ විසින් බිමට සමතලා කර ඇති බවට ද්‍රවිඩ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබේ.
මෙම නිවස යාපනයට පැමිණෙන සංචාරකයින්ගේ දැඩි අවධානයට ලක්වීම හේතුවෙන් මේ අයුරින් විනාශ කර දමා ඇති බව ද හෙතෙම පවසා ඇත‍.
මෙම ක්‍රියාවෙන් රජය විනාශ කරමින් සිටින්නේ ඉතිහාසයේ කොටස් බවත්,එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවසන් සිහිවටන ද මෙමගින් විනාශ කරන බවත්, ද්‍රවිඩ ජාතික විමුක්ති සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ශිවාජිලිංගම් කියා සිටියි‍. මේ පිළිබඳ විමසන ලදුව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාත්,පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාත් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

අයිෆා වෙනුවෙන් කොළඹ ලස්සන කරයි


කොළඹ නගරය අලංකරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඕමාර් කාමීල් මහතා‍ පවසයි.
ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දියානු අයිෆා සිනමා උළෙල වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම කියා සිටියි.
මෙම උළෙල සඳහා ඉන්දියානු සිනමා කර්මාන්තයේ නියැළී සිටින ආරාධිතයින් 600 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය..
එමෙන්ම ඉන්දීය සුපිරි නළු නිළියන් රැසක් ද සුගතදාස ක්‍රීඩාංග‍ණයේ පැවැත්වීමට නියමිත මෙම සිනමා ‍උළෙලට සහභාගී වන බව සඳහන් වේ. ‍ adadberana

රටට එක නීතියක් ඕනෑ


මෙරට තුළ එක් නීතියක් ස්ථාපිත කිරීමට තමා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.
නිදහස් රටක් වන ශ්‍රී ලංකාවට එක් නීතියක අවශ්‍යතාවය මේ වන විට මතු වී ඇති බවත්,විවිධ නීති ක්‍රියාත්මක වීම තුළින් ගැටලු රැසක් හට ගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අධිකරණ අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම වැඩපිළිවෙළ සඳහා වි‍ශේෂ කමිටුවක් පත් කරන බව ආතාවුද සෙනෙවිරත්ත අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළේය. adaderana

ප්‍රබල අපරාධකරුවන් 5දෙනෙක් අල්ලයි


පොලිසිය මඟහරිමින් සිටි අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ බුද්ධි ඒකකය සමත්ව තිබේ. පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, ඇතුළු අපරාධ රැසක් සිදුකළ බවට මොවුන්ට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.
දීර්ඝ කාලයකට සිට සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.adaderana

මාස 6 ක් තුළ යළි පදිංචි කිරීම් අවසන්


උතුරේ අවතැන්වූ කඳවුරුවල සිටින සියලුම පිරිස් මාස 6 ක් තුළ යළි පදිංචි කර අවසන් කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අවතැන් වූ කඳවුරුවල සිටින පිරිස් මුණගැසීම සඳහා වව්නියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මේ අදහස් පළ කළේය.
උතුරු නැගෙනහිර පළාතේ පුනරුත්ථාපන වන්දි මුදල් නොලැබුණු පිරිස්වලට ඒවා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී සඳහන් ‍කළේය. යළි පදිංචි කෙරුණු වැසියන් සඳහා ස්ථිර නිවාස ලබාදෙන බව ද මිල්රෝයි ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

අද රනිල් හා සජිත් හමුවක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වේ. මෙම හමුව කොළඹ දී සිදුවන බව සජිත් ප්‍රේමදාස මහතා අප කළ විමසුමකදී සඳහන් කළේය. ‍රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මෙහිදී සාකච්ඡාවට ලක්වන්නේ කුමන කරුණක් ද යන්න පිළිබඳ තමන් නොදන්නා බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යට‍තේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය තුළ ඉහළ තනතුරක් හිමිවිය යුතු බවට යෝජනා වී තිබේ.adaderana

චමල් දළඳා වඳියි


කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේය. දළඳා මාළිගාව වෙත පැමිණි නව කතානායකවරයා පිළිගනු ලැබුවේ දියව‍ඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා විසිනි.
ඉන් අනතුරුව කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රී දළඳා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව විශේෂ අමුත්තන්ගේ සඳහා වෙන්කෙරුණු ග්‍රන්ථයේ චමල් රාජපක්ෂ මහතා විසින් අත්සන් කරනු ලැබීය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී වී සිටියේය. adadeerana

මනෝ හා රනිල් අතර තවත් සාකච්ඡාවක්


ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් උද්ගත ව ඇති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමු‍ණේ නායක මනෝ ගනේෂන් මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වේ. මෙම සාකච්ඡාවට මංගල සමරවීර මහතා ද එක්වන බව මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබානොදීම හේතුවෙන් තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වන බවට මනෝ ගනේෂන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය මීට පෙර සඳහන් කළේ මැතිවරණයෙන් පරාජයට පත්වූ කිසිඳු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදෙන බවය. මනෝ ගනේෂන් මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා මෙවර මහ මැතිවරණයට තරග කළ අතර එහිදි ඔහු පරාජයට පත්විය. adaderana

උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණ වැඩපිළි‍වෙළක්


උතුරු නැගෙනහිර පළාත්වල ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළි‍වෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ පාර්ලි‍මේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මහනායක හිමිවරුන් දැනුවත් කර තිබේ. උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක ස්ථාන 1,500 ක් පමණ ඇති බව මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදුටු ‍පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කළේය.
පුරා වස්තු පිළිබඳව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට ද උන්වහන්සේ මෙහිදී පියවර ගනු ලැබීය. පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බැවින් මහානායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඊට අවශ්‍ය බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එහිදී කියා සිටියේය. එහිදී මහානායක හිමිවරු ඊට කැමැත්ත පළ කළ අතර එම වැඩපිළිවෙළ සකස් කර තමන් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියෝය. adaderana

භූතාන රජු හා රාජ්‍ය නායකයින් අතර හමුවක්


භූතාන රජතුමා සහ සාර්ක් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් අතර නිල හමුවක් අද පැවැත්වේ. සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින සියලුම රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙය සුහද හමුවක් ලෙස පැවැත්වෙන බව වාර්තා වේ. සතුරු බලවේගවලට එරෙහි ජයග්‍රහණ සංකේතවත් කෙරෙන ලා-ධාර් නම් භූතාන විශේෂ ධජය එසවීමේ උත්සවය ද සාර්ක් රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරෙයි.
16 වන සාර්ක් සමුළුව සංකේතවත් කරමින් රුක් රෝපණය ‍කිරීමක් ද මෙහිදී සිදුවේ. ඊට අමතරව සාර්ක් ව්‍යාපාරික සමුළුව විසින් සංවිධානය කළ එම රටවල නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් නැරඹීමට ද රාජ්‍ය නායකයින් සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව 16 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව අවසන් කිරීමේ උත්සවය භූතාන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ඇත. adaderana