Monday, March 15, 2010

පොලිස් ලොක්කත් එක්ක තවත් තිදෙනෙක් ගෙදර


ත්‍රීකුණාමලය මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව ද හෙතෙම සඳහන් කරයි. ada

පෝස්ටර්,කටවුට් මුළුමනින්ම ඉවත් කරන්නට බෑ


පෝස්ටර්,බැනර්,කටවුට් මුළුමනින්ම ඉවත් කිරීමට හැකියාවක් නැතැයි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී තරඟවැදුණේ සීමිත පිරිසක් වුවත් මහ මැතිවරණයේදී 7000 ට වැඩි පිරිසක් තරඟවදින බැවින් පෝස්ටර්,බැනර්,කටවුට් ඉවත්කිරීමේ 100% ක ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි බවද පොලිස්පතිවරයා කියා සිටියේය.
එසේ වුවත් ඊයේ දිනයේ සිට පෝස්ටර්,බැනර්,කටවුට් ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ada

විනිසුරුවරුන් සඳහා ජාත්‍යන්තර පුහුණුවක්


විනිසුරුවරුන් සඳහා ජාත්‍යන්තර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමෙරිකාව, ඉන්දියාව, නෙදර්ලන්තය වැනි රටවල් සමග ‍ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. පසුගිය වසර කිහිපය තුළ රජයේ වියදමින් චීනය, ඉතාලිය, මලයාසියාව වැනි රටවල විශ්ව විද්‍යාලවල පුහුණුව සඳහා විනිසුරුවරුන් යෙදවූ බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව විනිසුරුවරුන්ගේ පුහුණු කටයුතු සඳහා නව පුහුණු මධ්‍යස්ථානයක් ඉදිරි මස තුළ විවෘත කිරීමට ද අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ වන විට ඉදිවෙමින් පවතින එම මධ්‍යස්ථානය එකවර විනිසුරුවරුන් සිය දෙනෙකුට පුහුණුවීම් පහසුකම් ඇති බව සඳහන්ය. ada

ව්‍යාජ ලිපි ලේඛන සකස්කළ අයෙක් අත්අඩංගුවට


කරඹෑවිල, පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාතේ දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් ක‍ළේය. වාහන විකිණීම සඳහා සකස් කරන ලද ව්‍යාජ ලිපිලේඛන, ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත්, නොතාරිස්වරුන්ගේ නම් සඳහන් ව්‍යාජ රබර් මුද්‍රා සහ ව්‍යාජ ඔප්පු කිහිපයක් අදාළ ස්ථානයේ තිබී සොයාගෙන ඇත.
මීට අමතරව හැඳුනුම්පත් සකස් කිරීමට යොදාගන්නා ඉටි කවර 50ක්, පරිගණක යන්ත්‍රයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඇතුළු ලිපි ලේඛන තොගයක් ද එහි තිබී සොයා ගෙන ඇති බව සඳහන්ය. ada

රටේ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් ඕනෑ


රටේ සංවර්ධන අපේක්ෂා මල්ඵල ගැන්විය හැක්කේ රටේ ජනතා‍වගේ අධ්‍යාත්මික සංවර්ධනයෙන් පමණක් බව ජනාධිපතිවරයා පවසයි.
රටේ අනාගත පරපුර සාර ධර්ම පිරි පරපුරක් ලෙස ගොඩනැඟුවේ නැතිනම් අප ලබන්නා වූ සංවර්ධනයෙන් ඵලක් නොවන බව හෙතෙම පෙන්වාදෙයි.
අද(15)පෙරවරුවේ කසාගල රජමහා විහාරයේ දී ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.
මනාප පොරය,දේශපාලන ගැටුම් පසෙකලා මේ රට ගොඩනඟන්නට එක්ව කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවද,මැතිවරණය මුවාවෙන් රටේ ජාති,ආගම්,කුල බේද යළි ඉස්මතු කරලන්නට ඇතැමුන් උත්සාහ දරන බවත්,එකී අරමුණ පරාජය කිරීමට මේ රටේ සියලුම ජනතාව පෙළගැසිය යුතු බවත් අවධාරණය කළේය.
මහා සංඝරත්නය ඇතුළු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ,ජී.එල් පීරිස්,මහින්ද අමරවීර යන මහත්වරුන් අතුළු පිරිසක් ‍ද මෙම අවස්ථාවට එක්වූහ. ada

රිය අනතුරකින් 14කට තුවාලයි


කුරුණෑගල, අඹන්පොල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථයක් සහ ලොරි රථ 3 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔවුන් කුරුණෑගල රෝහල‍ වෙත ඇතුළත් කර ඇත. සෙසු පිරිස අඹන්පොල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.
මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක් ඊට පසුපසින් පැමිණි ලොරි රථයේ රියදුරුට නිරීක්ෂණය නොවීම ‍හේතුවෙන් එය හදිසියේ නවතා ඇති අතර ඊට පිටුපසින් පැමිණි තවත් ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකිව අනෙක් මංතීරුවට ඇතුල් වී තිබේ. එහිදී එම ලොරි රථය බස්රථයේ ගැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. ada

සන්ධානයේ හා එජාපයේ දෙපිරිසක් අතර ගැටුමක්


වාලච්චේන, ඔඩ්ඩමාවඩු ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පෙරමුණේ දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණු ආධාරකරුවන් දෙදෙනෙකු වාලච්චේන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ada

ෆොන්සේකාගේ ප්‍රාණය රට වටේ වෙන්දේසි කරනවා


දේශපාලනමය වශයෙන් ඝාතනය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා‍ගේ ප්‍රාණය මේ වන විට ජ.වි.පෙ විසින් රට වටේ වෙන්දේසි කරමින් යන වග ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
වැදගත් කුල කාන්තාවක් වන අනෝමා ෆොන්සේකා මහත්මිය ද මේ වන විට වට්ටි අම්මා කෙනෙක් බවට පත් කරගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේ අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන තුරු නොනැඟිටින බව පවසමින් සිරිකොත අබියස ආරම්භ කළ මාරාන්තික උපවාසය පැය 68 න් නිමා කළ බ වද ඇමතිවරයා සිහිපත් කළේය.
17 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කිරීම,යහපාලනය,විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ආදී අරමුණු වෙනුවෙන් ජනාධිපතිවරණයේදී එකට එක්ව කටයුතු කළ අය මේ වන විට බෙදී වෙන්වී වෙන වෙනම තරඟ කරන්නේ එකී අරමුණු මේ වන විට ඉටුකරගෙන ඇති නිසාදැයි හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය.
එස්.එෆ් ගේ තෙවෙනි මෙහෙයුම දැන් ආරම්භ වී ඇති බවත්,එහි එකම අරමුණ ජාතික ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රීධූරය ජෙනරාල් ෆොන්සේකා ට ලබාදීම බවත් අලහප්පෙරුම මහතා පැවසීය.
එහෙත් ඒ බව නොබියව රටට කියන්නට ජ.වි.පෙ තාමත් සමත් වී නැතැයිද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හදිසි ගින්නකින් කෝටි 47 ක් පාඩුයි


නාත්තන්ඩිය, දුම්කන්නාව ප්‍රදේශ‍යේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කොහු කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් සිදුව ඇති අලාභය රුපියල් කෝටි 47 කට වැඩි බව කර්මාන්තශා‍ලා‍වේ පාලන අධිකාරිය පවසයි. අද අලුයම 3ට පමණ මෙම ගින්න හට‍ගත් බව සඳහන් වේ.
කර්මාන්තශාලාවේ විශාල ප්‍රමාණයේ ගොඩනැඟිලි 3 ක්, එම ගොඩනැඟිලි තුළ අපනයනය සඳහා සකස් කර තිබූ කොහු විශාල ප්‍රමාණයක්, ට්‍රැක්ටර් රථ දෙකක්, කොහු සකස් කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ රැසක් ගින්නෙන් විනාශ වී තිබේ.
ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාව, මීගමුව නග‍ර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් විශාල උත්සහයක නිරත වුවද ගින්න මැඩ පැවැත්වීමට නොහැකි වූ බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි නිවාස 9කට ද හානි සිදුව ඇති අතර ගින්නට හසුවීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබේ. මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයිada

ඉඩ කඩ නැත්නම් වී කොළඹට


ගබඩා පහසුකම් ප්‍රමාණවත් ‍නොවන ප්‍රදේශ වලින් මිලදි ගන්නා වී ‍තොග කොළඹට ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම කන්නයේදී දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වැඩි වී අස්වැන්නක් ලැබීම මෙම තිරණය ගැනීමට හේතුව බව අමාත්‍යාංශය‍ පෙන්වා දෙයි. මේ අතර 2010 මහ කන්නයට අදාළ වී මිල දී ගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය රුපියල් මිලියන හාර දහසක් වෙන් කර ඇත.
නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 28 කටත්, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 30 කටත් වී අළෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට නියමිතය. මෙම කන්නයේ දී වී මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ මිලදී ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. ada

දකුණු ඉන්දීය‍ මුහුදේ භූකම්පනයක්


දකුණු ඉන්දීය‍ මුහුදේදී භූකම්පනයක් සිදුව තිබේ.
අද අළුයම සිදුවු මෙම භූකම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක හයකට අඩු අගයක් ගෙන ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. එබැවින් සුනාමි තත්ත්වයක් හෝ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
අතර ජපාන නැගෙනහිර වෙරළ තීරයට ආසන්නයේ ද භූකම්පනයක් සිදුව ඇත. ඊයේ රාත්‍රී සිදුව ඇති මෙම භූකම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක 6 .6ක් ලෙස සටහන්ව තිබුණි. එමගින් ද කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ. ada

ප්‍රභාකරන්ගේ මව ඉන්දියාවට යාමට අවසර පතයි


හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබේ.
වේලුපිල්ලේ පාර්වතී නැමැති එම තැනැත්තිය වසර 10 ක පමණ කාලයක සිට‍ අංශභාග රෝගයකින් පෙළෙන බව සඳහන්ය. ඇය මේ වන විට සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියි. හිටපු අමාත්‍ය එම්. කේ. ශීවාජිලිංගම් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඇය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කැනඩාවට පිටත් වීමට අපේක්ෂාවෙන් සිටින බවය. එහෙත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට එ‍රට වීසා නොලැබීම ගැටලුවක් වී ඇත. ප්‍රභාකරන්ගේ මවගේ දියණියන් දෙදෙනෙකු කැනඩාවේ සහ ඉන්දියාවේ ජිවත් වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු වෙත යාම පාර්වතීගේ උත්සාහය වී තිබේ. ada

ජී.එස්.පී ගැන සාකච්ඡාවට බ්‍රසල්ස් යයි


ජී.එස්.පී.ප්ලස් සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට විශේෂ දූත කණ්ඩායමක් අද බ්‍රසල්ස් බලා පිටත්ව යාමට නියමිතය.
එහිදි ඔවුන් යුරෝපා කොමිසම සමග අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රෝමේෂ් ජයසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් සහ නීතිපති මෝහාන් පීරිස් යන මහත්වරුන් මෙම දුත පිරිසට අයත්ය.