Monday, March 15, 2010

ෆොන්සේකාගේ ප්‍රාණය රට වටේ වෙන්දේසි කරනවා


දේශපාලනමය වශයෙන් ඝාතනය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා‍ගේ ප්‍රාණය මේ වන විට ජ.වි.පෙ විසින් රට වටේ වෙන්දේසි කරමින් යන වග ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
වැදගත් කුල කාන්තාවක් වන අනෝමා ෆොන්සේකා මහත්මිය ද මේ වන විට වට්ටි අම්මා කෙනෙක් බවට පත් කරගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේ අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන තුරු නොනැඟිටින බව පවසමින් සිරිකොත අබියස ආරම්භ කළ මාරාන්තික උපවාසය පැය 68 න් නිමා කළ බ වද ඇමතිවරයා සිහිපත් කළේය.
17 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කිරීම,යහපාලනය,විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ආදී අරමුණු වෙනුවෙන් ජනාධිපතිවරණයේදී එකට එක්ව කටයුතු කළ අය මේ වන විට බෙදී වෙන්වී වෙන වෙනම තරඟ කරන්නේ එකී අරමුණු මේ වන විට ඉටුකරගෙන ඇති නිසාදැයි හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය.
එස්.එෆ් ගේ තෙවෙනි මෙහෙයුම දැන් ආරම්භ වී ඇති බවත්,එහි එකම අරමුණ ජාතික ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රීධූරය ජෙනරාල් ෆොන්සේකා ට ලබාදීම බවත් අලහප්පෙරුම මහතා පැවසීය.
එහෙත් ඒ බව නොබියව රටට කියන්නට ජ.වි.පෙ තාමත් සමත් වී නැතැයිද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment