Friday, May 14, 2010

අබ්දුල් කාදර් අලියා අතහරියි


එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා පක්ෂය අතහරින්නට තීරණය කළ බව අද දෙරණට කියා සිටියි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙළ අනුමත කරන බැවින් තමන් රජයට සහය පළ කරන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේය.
අද සවස මහනුවර නගරයේ රැස්වීමක් කැඳවා මේ පිළිබඳ ප්‍රදේශයේ ජනතාවට දැනුම් දුන් බවත්,ඒ අනුව තමන් මින් ඉදිරියට පක්ෂ ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

තවත් පුටුවක් පුරවයි


ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධූරයට අනිල් කොස්වත්ත මහතා පත් කර ඇතැයි වාර්තා වේ. 1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වර්ණාභරණ පනත මගින් ශ්‍රි ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත නඟා සිටවනු පිණිස මෙම අධිකාරිය පිහිටුවා තිබේ. adaderana

ඛනිජ තෙල් මුල් පුටුව හැරීට


ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධූරයට සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා පවසන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
ඒ අනුව ඔහු බොහෝ දුරට එළඹෙන මැයි 19 හෝ 20 යන දෙදිනෙන් එකක වැඩ බාරගනු ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි. adaderana

දැඩි සුළඟින් නිවාස 13කට හානි


නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාගස්සර ප්‍රදේශයට බලපෑ වාසුලි තත්ත්වයක් හේතුවෙන් නිවාස 13කට හානි සිදුවී තිබේ. හානි සිදුවු නිවසක වහලයක කොටසක් කඩා වැටීමෙන් පුද්ගල‍යෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා පැවසුවේය.
මේ නිසා හානියට පත් නිවාස වල පදිංචිව සිටි පවුල් 13කට අයත් පුද්ගලයින් 60 දෙනෙකු අවතැන්ව සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති බව හෙතෙම කියා සිටියේය. අද පස්වරු 1.30ට පමණ මෙම සුළං තත්ත්වය හටගෙන ඇත. මෙමගින් ප්‍රදේශයේ වගාවන්ට ද හානි සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ‍‍‍ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා පැවසුවේය. adaderana

අධිකරණ වැඩ වලට බ්‍රිතාන්‍ය සහය


ශ්‍රි ලංකාවේ අධිකරණ කටයුතු සඳහා සහය දැක්වීමට බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත්ව සිටියි. නඩු ප්‍රමාදවීම් වැළැක්වීම, විනිසුරුවරුන් පුහුණු කිරීම සහ මෙරට නීති ක්ෂේත්‍රය සංවර්ධනය වෙනුවෙන් සහය දැක්වීම මෙමගින් අරමුණු කෙරෙන බව බ්‍රිතාන්‍ය හකොමසාරිස් පීටර් හේස් මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා ඊයේ පස්වරුවේ හමුවු අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය. නීති ක්‍රමවේදයන් මෙරටට ගැ‍ලපෙන ආකාරයට යොදා ගැනීම පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට බඳුන් වී ඇති බව සඳහන්ය. දැනට දික්කසාද නඩු වැඩිවීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.adaderana

බස් සේවකයින් 30%ක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවෙලා -ගැමුණු


බස්නාහිර පළාත් සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 30%ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මේ හේතුවෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම බහුලව සිදුවන බව විජේරත්න මහතා සඳහන් කළේය. බස් නැවතුම් වල දීර්ඝ වේලාවක් බස් රථ නවතා තැබීමේදී මොවුන් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
එවැනි රියදුරන් හේතුවෙන් විනීත රියදුරන්ද දැඩි අපහසුතාවට පත්වී ඇති බව විජේරත්න මහතා පෙන්වා දෙයි. මේ නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙස ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඇතැම් දුර ගමන් සේවා බස් රථ මඟින් කොළඹ නගරයට කංසා ගෙනෙන බවට ද තොරතුරු ලැබී ඇති බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

තිස්සනායගම්ට සමාව දුන්නේ ජී.එස්.පී ගන්නයි -හර්ෂ


තිස්සනායගම් මහතාට ජනාධිපති සමාව ලබාදීම හා හදිසි නීතිය ලිහිල් කිරීම ජී.එස්.පී බදු සහනය ලබාගැනීමේ අරමුණින් රජය ගත් ක්‍රියාමාර්ග බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. අගෝස්තු මාසයෙන් පසුව ජි.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇති බව ද ඒ මහතා කියා සිටියි. ජි.එස්.පි.සහනය නොමැතිව කටයුතු කළ හැකි බව පැවසු රජය මේ වන විට එය ලබා ගැනීම සඳහා කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය. මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් ඇඟලුම් ක්ෂේත්‍ර‍යේ නිෂ්පාදන 18%කින් පමණ පහළ ගොස් ඇති බව හර්ෂ ද සිල්වා මහතා පෙන්වාදෙයි.
මෙරට අදායම් ඉහළ නංවා ගැනීමට නම් කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කර නව කර්මාන්ත ආරම්භ කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ අද‍ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. adaderana

ප්‍රගතිය ගැන රනිල් සමග විශේෂ සාකච්ඡාවක්


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා පවසයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ යෝජනා රැස් කරන සය පුද්ගල කමිටුව අවසන් වරට ඊයේ සවස රැස් විය. එහි දී පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ පළාත් සභා විපක්ෂ නායකවරුන් තිදෙනෙකු සමඟ ප්‍රතිසංවිධාන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් මෙතෙක් යෝජනා ඉදිරිපත් නොකළ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමජිකයන්ට ඒ සඳහා තවත් කල් ලබා දෙන්නේ ද යන්න ගැන අද තීරණයක් ගැනීමට නියමිතය. ප්‍රතිසංවිධාන යෝජනාවල අවසන් වාර්තාව ලබන අඟහරුවාදා පක්ෂ නායකත්වයට නිල වශයෙන් ඉදිරිපත් කිරීමට දැනට අපේක්ෂා කරන බව ප්‍රතිසංවිධාන කමිටු සභාපති ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙතෙක් ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාව අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථා‍නයේ දී සිදු කෙරෙන බව සඳහන්ය. adaderana

ප්‍රදේශ කිහිපයකට ගංවතුර


අද උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ගංවතුර තත්ත්වයන් බලපා ඇති බව වාර්තා වේ. කොළඹ නගරයේ වෙරළාශ්‍රිත ප්‍රදේශ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශ වලට මෙසේ ගංවතුර තත්ත්වයන් ඇතිවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද දෙරණට පැවසීය. එමෙන්ම කොටුව නගරයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. මතුගම -අලුත්ගම මාර්ගයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. adaderana

රනිල් නැවතත් ලංකාවට


පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සන්ධ්‍යාවෙහි නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු දින 04ක කාලයක් ඉන්දියාවේ ගතකර ඇත. වික්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුර නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා මහතා හමුව ඇති බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා පසුගිය 10 වන දින දකුණු ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙසේ හදිසියේ ඉන්දියාව බලා පිටත්වීමට හේතුව ලෙස වාර්තා වූයේ ග්‍රහ පලාඵල අනුව මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාට අයහපත් කාල පරිච්ඡේදයක් උදාවී ඇති බවත්, ඒ වෙනුවෙන් ආගමික කටයුතු වල නිරතවීම සඳහා මෙසේ ඉන්දියාව බලා පිටත්ව ගිය බවත්ය. adaderana

හොර වෛද්‍ය සහතික මධ්‍යස්ථානයක් වටලයි


බොරලැස්ගමුව, කටුවාවල ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතික නිකුත් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබේ. ඊයේ රාත්‍රී 11 . 30 ට පමණ ‍නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙහි දී එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය සොයිසා පුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම අදාළ මධ්‍යස්ථානයේ වෛද්‍යවරියක් වශයෙන් සේවය කළ තලංගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වැටලීමේ දී ලේ පරීක්ෂා කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, එන්නත් විදින ඇතුළු උපකරණ සහ සම්පූර්ණ නොකළ යෝග්‍යතා වෛද්‍ය සහතික පත් මෙන්ම නිකුත් කිරීමට සූදානම් කර තිබූ වෛද්‍ය සහතික පත් 9 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. adaderana

අමුණුගම හා තකහෂි හමුවක්


මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ජපාන තානාපති කුනියෝ තකහෂි මහතා අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපානයෙන් ලබා දීමට නියමිත සංවර්ධන ආධාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇත.
එහි දී කොත්මලේ, උකුවෙල සහ මහනුවර ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට නියමිත ද්වී පාර්ශ්වික සංවර්ධන ජල ව්‍යාපෘතීන් සඳහා ආධාර ලබා දීම පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.adaderana

ලංකාවටත් ආගමික සමුළුවේ ඉඩ


අන්තවාදී ආගමික කණ්ඩායම් වලට එරෙහිව රුසියාව තුළ පැවැත්වීමට නියමිත ආගමික සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වැලැද්මීර්.පී මිකයිලෝ මහතා සහ අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා සමඟ ඊයේ පස්වරුවේ පැවති හමුවක දී මෙම ආරාධනය සිදු කර ඇති බව සඳහන්ය. එහි දී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් රුසියාවේ සතුට පළ කර ඇත. ඒ සඳහා සහය දැක්වීමට සූදානම් බව ද රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
මතින් තොර සමාජයක් ඇති කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් පියවර ගන්නා බව මෙහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වලට අයත් සඟ සතු දේපළ සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය සහ අග්‍රමාත්‍ය දි.මු ජයරත්න මහතා පවසයි. ඊයේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති ස්වාමීන් වහන්සේ හමු වීමෙන් පසු ඊයේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.adaderana

වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්


මේ වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ මස 26 වන දින සිට 28 වන දින දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක කරන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේය.
කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ලබන 26 සහ 27 යන දින වල පස්වරු 1.35 ට විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතය. එම දිනයන් හී දී පෙරවරු 8.45 ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රිය දෙකක් යොදවන බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය. මීට අමතරව කොළඹ කොටුවේ සිට පිට පළාත් සඳහා දෛනික දුම්රියන්ට අමතරව අමතර දුම්රිය කිහිපයක් ධාවනයට යෙදවීමට නියමිත බව ද සඳහන්ය. adaderana

වාහන වලට අකුරු 3ක්


රථ වාහන සඳහා ඉංග්‍රීසි අකුරු 3 අංක තහඩු හඳුන්වා දීමේ වැඩසටහනක් කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තවත් නොබෝ දිනකින් නව වාහන අංක සඳහා ඉංග්‍රීසි අකුරු 3 ක් සහිත අංකයක් හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2000 වසරේ දී"ජී.ඒ"කාණ්ඩයෙන් ආරම්භ කළ අංක මේ වන විට අවසන් වී තිබීම නව වැඩපිළිවෙල කඩිනම් කිරීමට හේතු වී ඇති බව සඳහන්ය. අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති අතර එහි දී අදාළ කටයුතු සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මහජනතාවගේ විවේචනයන්ට භාජනය නොවන පරිදි ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවයක් ලබා දීමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. adaderana

උතුරේ ජනතාවත් විජයග්‍රහණය සමරනවා


උතුරේ ද්‍රවිඩ ජනතාව ද රණවිරු විජයග්‍රහණය උත්සවශ්‍රීයෙන් සමරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. බුදු දහමේ ආභාෂයෙන් සියලු ජනතාව අපේක්ෂා කළ සාමකාමී දැහැමි සමාජයට අද ශ්‍රී ලංකා මාතාව අවතීර්ණ වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථා‍නයේ දී පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.
රට යා යුතු මඟ පෙන්වා දීමට මහ සංඟරත්නයට අයිතියක් සහ යුතුකමක් ඇති බව එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේය. ඊට සවන් දීමට තමන් සහ රජය ඕනෑම අවස්ථාවක සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. රටේ ගෞරවය විනාශ කරන වැඩපිළිවෙලකට දායක වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. adaderana