Saturday, January 15, 2011

මැතිවරණයට අපේක්ෂකයින් තේරීමේ එජාප සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි


එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීමේ දිස්ත්‍රික් මට්ටමේ සම්මුඛ පරීක්ෂණ අද(15) දින ආරම්භ කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මෙම සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයින් ජාතික ‍නාමයෝජනා කමිටුවට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

එම කමිටුව 19 වනදා සිට රැස්වීමට නියමිත බව ඔහු කියා සිටියේය. නාමයෝජනා පත්‍ර භාරදීම එළඹෙන 25, 26 සහ 27 යන දිනවලින් එකක දී සිදුකිරීමට නියමිත බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

මෙවර පළාත් පාලන ආයතන 301 සඳහා ම එක්සත් ජාතික පක්ෂය තරග වදින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

අවශ්‍ය එළවළු නිවසේම වවන්න -මර්වින්ගෙන් නියෝගයක්


නව වසර සඳහා කැලණිය ප්‍රදේශයෙහි අමු මිරිස්, තක්කාලි, වැටකොළු හා බණ්ඩක්කා යන එළවළු වර්ග අලෙවි කිරීම තහනම් කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

එම එළවළු වර්ග ජනතාව විසින් සිය ගෙවත්තෙහිම වගාකරගත යුතු බවත්, නව වසර සඳහා සෑම පවුලක්ම අවශ්‍ය ද්‍රව්‍ය නිවසේදීම සපයා ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අදාළ ක්‍රියාවලිය සංග්‍රාමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කරයි.

වත්තල, මාබෝල ප්‍රදේශයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් 350 ට වියළි ආහාර ලබාදීම හා පාසල් ළමුන් 100 දෙනෙකුට පොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මෙම කරුණු ප්‍රකාශ කළේය.

එමෙන්ම මැතිවරණ සිතියම අකුලන ලද, මැතිවරණ කල්දමන ලද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ ක්‍රමය පිළිබඳව කතාකිරීමේ අයිතියක් නොමැති බව ද වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා කියා සිටියේය.

වර්තමා‍නයේ සැබෑ නායකයින්ගේ හිඟයක් තිබෙනවා


වත්මන් ශ්‍රී ලංකාව තුළ සැබෑ නායකයින්ගේ හිඟයක් පවතින බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවට ද විවිධ අසාධාරණ ක්‍රම මගින් නායකයින් තේරී පත්වූ බව ඔහු සඳහන් කළේය.

ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයින් පුහුණු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අද(15) පැවති නායකත්ව පුහුණු වැඩමුළුවකට‍ සහභාගී වෙමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අසාධාරණ ක්‍රම මගින් පාර්ලිමේන්තුවට තේරීපත්වීම අනුමත කළත්, නොකළත් එසේ පත්වන පුද්ගලයින් නායකයින් වශයෙන් භෞතීස්ම කර ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

නායකත්වය ගොඩනැගෙන්නේ දේශපාලනය හරහා නොවන බවත්, සිරුරෙහි කායික හා මානසික ශක්තීන් එක්තැන් කර එක අරමුණකට මෙහෙයවන පුද්ගලයා නායකයා ලෙස හඳුන්වන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ කමිටුවේ ශ්‍රී ලංකා ගමන ගැන කටයුතු සූදානම් කරනවා


ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත කාල වකවානුව හා එහි කටයුතු පිළිබඳව සැලසුම් කරමින් සිටින බව බැංකි මූන් මහතා විසින් විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා පත්කරන ලද මෙම කමිටුව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම හා වෙනත් පාර්ශව සමග සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව සඳහන්ය.

අදාළ කමිටුවේ අවසන් වාර්තාව මෙම මාසය තුළ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එම කමිටුවේ කාලය ලබන මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනු ලැබීය.

අයහපත් කාලගුණය නිසා මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළට


දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 32 දෙනෙකු දක්වා ඉහළ‍ ගොස් තිබේ.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම සංඛ්‍යාව 14 කි

මීට අමතරව පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 12 දෙනෙකු අතුරුදන්ව සිටියි.

මේ වන විට පවුල් දෙලක්ෂ 82,953 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අවතැන්ව සිටින පවුල් 87,899 ට අයත් පුද්ගලයින් තුන්ලක්ෂ 29,200ක් අවතැන් කඳවුරු 584 ක මේ වන විටත් රැදී සිටියි.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 3,737 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 19,356 ට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගංවතුරින් විපතට පත්වූවන්ට ජපානයෙන් සහනාධාර තොගයක්


ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජපාන රජය රුපියල් මිලියන 26 . 7 ක් වටිනා සහනාධාර තොගයක් පිරිනමා තිබේ.

කූඩාරම් 400 ක්, මෙට්ට 2,000 ක් අදාළ සහනාධාර තොගයට අයත් බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රි ලංකා රජයේ ඉල්ලීමක් මත මෙම ප්‍රදානය සිදුකළ බව එම නිවේදනයේ සඳහන්ය.

නැගෙනහිර පළාතේ ගංවතුරින් අවතැන්වූවන්ගේ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කොට තවත් සහනාධාර තොගයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජපාන තානාපති කාර්යාලය කියා සිටියි.

සරසවි ප්‍රවේශයට ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ගැන සලකා බලයි


ජල ගැලීම් හා ගංවතුර තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වල වෙසෙන සිසුන් විසින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එවන ලද, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් බාරගැනීම පිළිබඳව සලකාබැලීමට විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙවර විශ්ව විද්‍යාලය ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීම අද(15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

අදාළ ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීවරුන්ගේ සහයෝගය ද ඇතිව එම ප්‍රදේශ වල සිසුන්ගෙන් ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් බාරගැනීම පිළිබඳව සලකාබැලීමට විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රුහුණු සරසවි ගැටුමින් තුවාල ලැබූ සිසුන් 8 ක් තවමත් රෝහලේ


රුහුණු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු තවමත් මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඉන් එක් සිසුවෙකුට පමණක් බරපතල තුවාල සිදුව ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රුහුණු සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ(14) පස්වරුවේ මෙම ගැටුම ඇතිවිය.

එම පීඨයේ මධ්‍ය වාර්ෂික පරීක්ෂණ අවසානයේ මෙම ගැටුම හටගෙන ඇති අතර ඉන් තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකු එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් බවට ද හඳුනාගෙන තිබේ.

මෙම පහරදීම සඳහා බයිසිකල් චේන්, වීදු‍රු බෝතල් යොදාගෙන ඇති බව ද වාර්තා වේ.

දහ අට වංගුව පාර තාවකාලිකව වැසෙයි


අද(15) සිට මහනුවර -මහියංගණ දහ අට වංගුව මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දැමෙයි.

අප්‍රේල් 10 වැනිදා දක්වා ‍එම මාර්ගයේ උඩුදුම්බර සිට හසලක දක්වා වසා තැබෙන බව පොලිසිය පවසයි.

දහ අට වංගුව ප්‍රදේශයේ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගය වසා තැබෙන බව සඳහන්ය.

දහ අට වංගුව ප්‍රදේශයේ සිදුවූ ගිලා බැසීමක් හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ගමනා ගමනය මීට මාස එක හමාරක පමණ කාලයක සිට වසා දැමුණි.

මහනුවර සිට මහියංගණය දක්වා ගමන් ගන්නා රථවාහනවලට රන්දෙණිගල රජ මාවත ඔස්සේ ගමන් කළ හැකිය.