Wednesday, May 26, 2010

රනිල්ගේ නායකත්වය ශක්තිමත්



එක්සත් ජාතික පක්ෂයේ යම් වෙනස් කමක් සිදුවිය යුතු බව තමන්ගේ ද පෞද්ගලික මතය බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

එහෙත් පක්ෂ නායකත්වය වෙනස් විය යුතු ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් ප්‍රකාශ කිරීමට කැමැත්තක් නොදක්වන බවත්,එය තීරණය කිරීමේ වගකීම එ.ජා.ප කෘත්‍යධිකාරී මණ්ඩලය සතු වන බවත් ඇය කියා සිටියාය.

ස්වර්ණමාලී මහත්මිය මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස ඉතාමත් බුද්ධිමත්,ශක්තිමත් හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ශ්‍රේෂ්ඨ නායකයෙකු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

නායකත්වය ගන්නා දිනය මගෙන් අහනවා


හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාව එක්සත් ජාතික පක්ෂය තුළ විප්ලවයක් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එකී විප්ලවය නම් පක්ෂ නායකත්වය හම්බන්තොට දිස්ත්‍රීක්කයට දිනා දීමේ විප්ලවය බව හෙතෙම කියා සිටියේ අද හම්බන්තොට -තිස්සමහාරාමය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. දිස්ත්‍රීක්කයේ මෙන්ම දිස්ත්‍රීක්කයෙන් පිටත ජනතාවද තමන්ගෙන් පක්ෂයේ යම් යම් ඉහළ තනතුරු ලබා ගන්නේ කවදාදැයි අසන බවත්,විශේෂයෙන්ම පක්ෂ නායකත්වය ගන්නේ කවදාදැයි අසන බව හෙතෙම කියා සිටියේය.
පක්ෂ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු සඳහා ඡන්ද බලයෙන් තෝරා පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනා ලැබූ ජයග්‍රහණයක් බව ත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉතා පහළ පාන්තික,දක්ෂයින්ට පවා පක්ෂයේ ඉහළ තනතුරු දැරීමට අවස්ථාව සැලසෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. adaderana

පාලිත රංගේට පහරදුන්නාට නිදහසට කරුණු විමසයි


පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරන එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසන පරිදි පසුගිය මැයි මස 11 වැනි දින මීට අදාළ ලිපිය ලියාපදිංචි තැපෑලෙන් අබේසේකර මහතා වෙත යොමු කර ඇත.
ඒ අනුව මේ මස 31 වැනි දිනට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අබේසේකර මහතාට අවස්ථාව ලබාදී තිබේ. එදිනෙන් පසු මේ පිළිබඳ විනය පරීක්ෂණ මණ්ඩලයක් පත්කෙරෙන අතර එහිදී ඉදිරිපත් කෙරෙන නිර්දේශ පක්ෂයේ විනය කමිටුවටත් එමගින් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් ඉදිරිපත් කරන බව තිස්ස අත්තනායක මහතා පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පළ වන වාර්තා හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. adaderana

අසැබි වෙබ් අඩවි වලට යාම වළකන්න තැතක්


ජංගම දුරකතන මගින් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස බම්බලපිටිය ළමා අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එවැනි අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව එම කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
දැනට සිදුකර තිබෙන පරීක්ෂණවලදී එවැනි අසභ්‍ය වෙබ් අඩවි 50 ක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව එවැනි වෙබ් අඩවි අවහිර කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තා කිරීම සඳහා ජංගම දුරකතන සමාගම්වල කළමනාකරුවන්ට ලබන දෙවැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස ද ළමා අධිකරණයේ විනිසුරුවරිය දැනුම් දී තිබේ.adaderana

අයිෆා වෙනුවෙන් පොලීසිය සීරුවෙන්


මෙරටදී පැවැත්වීමට නියමිත අයිෆා සිනමා සම්මාන උ‍ළෙල වෙනුවෙන් වි‍ශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 6,000 කට වැඩි පිරිසක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අයිෆා සිනමා ‍උළෙල වෙනුවෙන් කොළඹ නගරයේ අලංකරණ කටයුතු ඇතුළු විශේෂ ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් දියත් කර තිබේ.
සිනමා උළෙල සඳහා පැමිණෙන ආරාධිතයින් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය ද කටයුතු යොදා ඇති බව සඳහන් වේ-. adaderana

විනය පරීක්ෂණයක් නැතිව ඉවත් කරන්න බෑ


තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ බවට කිසිදු දැනුම් දීමක් තමන් වෙත සිදුකර නොමැති බව හෙතෙම කියාසිටියි.
කිසියම් අවස්ථාවක සාමාජිකයෙකු පක්ෂයෙන් ඉවත් කරන්නේ නම් ඔහුට අදාළව විනය පරීක්ෂණයක් සිදුකරන බව පෙන්වා දෙන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විනය පරීක්ෂණයේ දී තමාගේ නිවැරදිභාවය සනාථ කළ හැකි බව ද පවසයි.
පක්ෂ සාමාජිකයෙකු බලහත්කාරයෙන් කිසිවෙකුටත් පක්‍ෂයෙන් ඉවත් කළ නොහැකි බව මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

රෝගීන් ආපසු හරවා යවන රෝහලක්


තන්තිරිමලේ රෝහලේ වෛද්‍යවරුන් නොමැති වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. මෙම රෝහලේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරුවී යාමත් වෛද්‍යවරිය ප්‍රසූත නිවාඩු යාමත් හේතුවෙන් මෙම රෝහලේ මෙතෙක් සේවයේ යෙදී සිටි වෛද්‍යවරුන් දෙදෙනාගේම සේවය ප්‍රදේශයේ ජනතාවට අහිමි වී තිබේ.
තන්තිරිමලේ ප්‍රදේශයේ 2,500 ට අධික පවුල් සංඛ්‍යාවක් පදිංචිව සිටින අතර තවත් 1,500 ට අධික ආරක්ෂක අංශවල පිරිස්ද සිටිති. මේ වන විට රෝහලේ වෛද්‍යවරුන් නොමැති ‍හෙයින් රෝගීන්ට කි.මීටර් 45 ක පමණ දුරක් ගෙවා අනුරාධපුරය රෝහලට හෝ කි.මීටර් 17 ක් ගෙවා විලච්චිය රෝහලට යා යුතුවේ.
එහෙත් හදිසි රෝගාබාධ තත්ත්වයක් වැළඳුණු අයෙකු මෙන්ම සර්පයෙකු දෂ්ඨ කිරීමක් වැනි අවස්ථාවක මේ සා දුරක් ගෙවා රෝහලකට ප්‍රතිකාර සඳහා ගෙන යන විට රෝගියාගේ ජීවිතයට තර්ජනයක් වීමට ඇති ඉඩ කඩ වැඩි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
තන්තිරිමලේ රෝහලට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීම රෝහල් කාර්ය මණ්ඩලයේ කාර්යභාර්ය වී තිබේ.adaderana

පොළොන්නරුව මහ රෝහල පළාත් සභාවෙන් ගිළිහෙයි


පොළොන්නරුව මහරෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීම සඳහා උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඊයේ පැවති පළාත් සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 6 ක් ලැබී තිබුණි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසන පරිදි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ‍පළාත් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
සෑම දිස්ත්‍රික්කයකම රෝහලක්, ජාතික රෝහලක් බවට පත්කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පවරා ගැනීම සිදුකිරීමට නියමිතව තිබේ. adaderana

නිරිත දිග මෝසම් අවිනිශ්චිතයි


නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වන කාලසීමාව පිළිබඳ තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ එස්.ආර්. ජයසේකර මහතා සඳහන් කරන පරිදි වායුගෝල‍ෙය් පවතින ස්වභාවය හේතුවෙන් තවදුරටත් දිවයිනේ සියලු ප්‍රදේශවලින් වැසි අපේක්ෂා කළ හැකිය. අද දිනයේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
කෙසේ වුව ද බස්නාහිර පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයකින් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය සතියක පමණ කාලයක සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්වූ අතර ඊයේ දහවල් වන විට පුද්ගලයින් දෙලක්ෂ 27,000 ක් පමණ අවතැන් ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි. adaderana

වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රියක්


වෙසක් සතිය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවයක් අද සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.. ඒ අනුව අද සහ හෙට කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.25 ට ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය පස්වරු 6.20 ට අනුරාධපුරයට ළඟා වීමට නියමිතය.
මීට අමතරව හෙට සහ අනිද්දා දිනවල අනුරාධපුරයෙන් පෙරවරු 8.45 ට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබේ. මරදාන ‍දුම්රිය ස්ථානයේ සිට උදෑසන 10.00 ට කළුතර දක්වාත් කළුතර සිට පෙරවරු 11.50 ට මරදාන දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව දිනපතා මරදාන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය, දකුණු කළුතර දක්වා ගමන් කරවීමට ද තීරණය කර තිබේ.. අනුරාධපුරය, අටමස්ථානය සහ කළුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වේ. adaderana

කොළොන්නාව නගර සභාවට එරෙහිව තීන්දුවක්


කොළඹ නගරයේ එක්රැස් වන කැලිකසළ ප්‍රමාණය ඉක්මවා කොළොන්නාව ප්‍රදේශයේ ගොඩගැසීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහ නගර සභාවට නියම කර තිබේ.

කොළොන්නාව ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදුකර ඇත.. පැමිණිලිකරුවන් කියා සිටියේ කොළඹ නගරයේ එක්රැස්වන කැලිකසළ බැහැර කිරීම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ අක්කර 2ක ‍භූමි භාගයක් පමණක් වෙන් කර තිබූ බවයි.

එහෙත් කොළඹ මහනගර සභාව එම සීමාව උල්ලංඝනය කරමින් අක්කර 8 ක පමණ භූමි භාගයක කැලි කසළ බැහැර කිරී‍මෙන් විශාල පාරිසරික අර්බුදයක් හටගෙන ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

අදාළ කරුණ සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරියට දන්වා සිටින ලදී.

අන්තරේ කැඳවුම්කරුට නොතීසි


ජනාධිපතිවරයාට සහ රජයට අපහාසාත්මක අයුරින් බැණ වැදී රජයේ දේපළවලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කර ඇති අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
කුරුඳුවත්ත පොලිසිය මගින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය සැකකරු ලබන මස 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කළාය.
පසුගිය 20 වැනිදා සිසුන් 400 ක් පමණ සමග පෙළපාලියකින් පැමිණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධා ගේට්ටුව කඩා බිඳ දමා කලහකාරී අයුරින් හැසිරුණු බවට උඳුල් ප්‍රේමරත්න මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙය මහජන සාමය කඩකිරීමේ සිද්ධියක් බවත් මේ පිළිබඳ ප්‍රකාශ රැසක් සටහන් කරගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි. adaderana

රටට අයහපත් ගිවිසුම් නෑ


රටට හෝ ජනතාවට අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කිසිඳු ගිවිසුමකට හෝ ලියවිල්ලකට අත්සන් තැබීමට රජය සූදානම් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
යෝජිත සීපා ගිවිසුමට විරෝධය පළ කරමින් වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන් සහ ඉංජි‍නේරුවරුන් ඇතුළු ‍නියෝජිත පිරිසක් සංදේශයක් භාරදීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉන්දියාව සමග අදාළ ගිවිසුමට අත්සන් තැබුවහොත් එරට නිෂ්පාදන හා සේවාවන් විශාල වශයෙන් මෙරටට ‍ග‍ලාඑන අතර එයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවාවලට තර්ජනයක් විය හැකි බව අදාළ පිරිස පෙන්වා දී ඇත.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එක් පාර්ශවයකට පමණක් වාසි සැලසෙන ගිවිසුමකින් සාර්ථක ප්‍රතිඵල අත්නොවන බවයි. සීපා ගිවිසුමට විරෝධය පළ කරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබුණි.
නවීන පහසුකම් සහිතව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු අතර අරලිය ගහ මන්දිරයේ දී ඊයේ පැවති වරාය හා ගුවන්සේවා අමාත්‍ය‍ාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මීට අදාළ කරුණු සාකච්ඡා වී තිබේ.. adaderana

දෙදහසක් අවතැන් කඳවුරු 37 ක


ගංවතුරෙන් පීඩාවට පත්වූ තවත් පවුල් දෙදහසක් පමණ අවතැන් කඳවුරු 37 ක සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෙසේවුව ද ඉදිරි දින කිහිපය තුළ ඔවුන්ට යළි නිවෙස් වෙත යා හැකි වනු ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගංවතුර‍ හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් ලක්ෂ 5 කට අධික පිරිසක් පීඩාවට පත්වූ අතර එයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මේ වන විට ගංවතුර තත්ත්වය බොහෝ දුරට පහව‍ගොස් ඇති බව වාර්තා වේ. adaderana

ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු ලබන මාසයේ අවසන්


උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ ඇති ගුරු පුරප්පාඩු ලබන මාසය වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 554 දෙනෙකු බඳවා ගැනීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව හෙතෙම කියා සිටියි.
පසුගිය කාලයේ සිදුකළ විවිධ අත්හදාබැලීම් සහ තීන්දු හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතැම් අහිතකර ප්‍රතිඵල නිර්මාණය වී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා‍දෙයි. ඉදිරියේ දී පාසල් අතර ඇති විෂමතාවය හා පරතරය අඩු කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
මෙරට ඉංග්‍රීසි ගුරුවරුන්ට කොරියාවේ ගුරුවරුන් ලෙස සේවය කිරීමට අවස්ථාව උදාවී ඇතැයි ද කොරියානු තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බව ද ඇමතිවරයා කියා සිටියේය. මේ අතර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට නොහැකි වූ දෙමාපියන් 1500 ක් පමණ අභියාචනා ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි..
පාසලක් නොලැබුණු දරුවන්ට ලබන වසරේ පාසලක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කරයි. adaerana

ගාස්තුව ඉහළ නැංවීම කල්යයි


බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථවල ලොග් පත්‍ර සඳහා වන ගාස්තුව ඉහළ නැංවීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කල් දමා තිබේ. ජූලි පළමු වැනිදා සිට අදාළ ගාස්තුව රුපියල් 500‍ සිට රැපියල් 1000 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී තිබු බව එම අධිකාරියේ සභාපති පියසේන දිසානායක මහතා පැවසුවේය.
එහෙත් ඒ පිළිබඳ බස් හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹීම සඳහා තීරණය කළ බව දිසානායක මහතා පවසයි. කෙසේ වෙතත් එවැනි ගාස්තු ඉහළ නැංවීමක් සිදුවුවහොත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ එම සංශෝධනය ද ඇතුළත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය. ඒ අනුව අවසානයේ මගී ජනතාවට එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන බව විජේරත්න මහතා සඳහන් කරයි. adaderana