Wednesday, April 7, 2010

සුසිල් කොමසාරිස්ට ලියයි


නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සඳහා අවස්ථාව ලබානොදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.
එමගින් ඔහු ඉල්ලා ඇත්තේ විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ පවත්වන මාධ්‍ය සාකච්ඡා සඳහා ප්‍රචාරණයක් ලබා නොදෙන ලෙස මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙන ලෙසයි.
පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියෙන් සියලු ප්‍රචාරක කටයුතු අවසන් වූ බැවින් එවැනි මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නීතිවිරෝධී බව ද ඔහු සඳහන් කර තිබේ. adaderana

ගණන් කරන තැන්වලට එස්.ටී.එෆ්


සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති වග එ.ජා.ප නි‍යෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය. අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙම අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආ‍ණ්ඩුවකට ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීමට වසර හයක් අවශ්‍ය නොවන බවය.
වසර තුනක් ක් වැනි කෙටි කාලයකින් ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවා ඉදිරි වසර තුනක කාලය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිමට පියවර ගන්නා බව ඔහු පැවසීය. adaderana

ජයසූරිය කල් තියා ඡන්දය දායි


මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ අවසරයක් මත සනත් ජයසූරිය මහතා මාතර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කර තිබේ .
ශ්‍රීලංකා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 20 වන වගන්තියේ"ඇ" යටතේ දෙන ලද අවසරයක් මත මෙසේ ඡන්දය ප්‍රකාශ කළ බව සඳහන් වේ...
එම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස සලකා ගණනය කිරීමට නියමිත බව කියැවේ. adaderana

ඇමරිකානු කාන්තාවක රැවටූ ශ්‍රී ලාංකිකයා හිරේ


අමෙරිකානු කාන්තාවකට මූල්‍ය වංචාවක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු අමෙරිකානු අධිකරණයක් මගින් සිරගත කර තිබේ.
45 වැනි වියේ පසුවන අශෝක පෙරේරා නම් මොහු 82 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු කාන්තාවකගෙන් ඩොලර් ලක්ෂ 3ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී ඇත.
අදාළ කාන්තාව සමග මිත්‍ර වී ඇය රවටමින් මුදල් වංචාවක් සිදුකර ඇති බව අධිකරණය හමුවේ සනාථ වීම හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයාට මෙලෙස සිරදඬුවම් නියම කෙරිණි.
නිවසක් මිලදී ගැනීමේ ‍අරමුණින් වයස්ගත කාන්තාව එක් රැස් කළ මුදල් නීති විරෝධී ලෙස ලබා ගත් බවට ද ශ්‍රී ලාංකිකයාට ‍එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
කෙ‍සේ වෙතත් අදාළ ශ්‍රී ලාංකිකයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් ආපසු ලබා දීමේ අරමුණින් තමන් ණයට ගත් බවයි. adaderana

බෙදුම්වාදීන් තවදුරටත් ක්‍රියාත්මකයි


බෙදුම්වාදී ඇතැම් බලවේග තවදුරටත් රට තුළ ක්‍රියාත්මක වන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඇතැම් ජාතිවාදී දේශපාලන පක්ෂ , මානව හිමිකම් සංවිධාන සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙය ක්‍රියාත්මක වන බව ඔහු පවසයි.
දෙමළ ජනතාව නොමග යවමින් ඔවුන් තුළ යළිත් බෙදුම්වාදී හැඟීම් ඇති කිරීමට එම කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියි.
රජය විසින් උතුරු වසන්තය , නැඟෙනහිර නවෝදය වැනි වැඩසටහන් හරහා දෙමළ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් සිටි අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණ සමයේ දෙමළ ජනතාව යළි නොමග යැවීමට ඇතැම් දේශපාලන බලවේග උත්සාහ දැරූ බව හෙතෙම පෙන්වා දෙයි. adaderana

දෙවෙනි යුද අධිකරණය අප්‍රේල් 09 ට කල්යයි


ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාග කිරීමට පත් කෙරුණු දෙවන යුධ අධිකරණය අප්‍රේල් 9 වැනිදා දක්වා කල් දමා තිබේ.
දෙවන යුධ අධිකරණය ප්‍රථම වරට ඊයේ රැස්වු අතර එය පස්වරු‍2.30 සිට පස්වරු 5 දක්වා පැවති බව යුධ හමුදා මූලස්ථානය නිවේදනය කරයි. යුධ හමුදා මිලදී ගැනීම් පටිපාටියට පටහැනි ලෙස සිදුකළ මිලදී ගැනීම් සම්බන්ධව එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා දෙවන යුධ අධිකරණය පත් කෙරුණි.
දෙවන යුද අධිකරණය ඊයේ රැස්වුයේ මේජර් ජෙනරාල් එම්.ජී.පීරිස්ගේ සභාපතීත්වයෙන් හා මේජර් ජෙනරාල් එස්.දවුලගල සහ මේජර් ජෙනරාල් එස්.හතුරුසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
මාර්තු 16 වන දින රැස්වු ප්‍රථම යුධ අධිකරණය ඊයේ යළි රැස්වු අතර එය ලබන මැයි 5 වනදා දක්වා කල් තැබුණි. මේජර් ජෙනරාල් ඒ.එල්.ආර්.විජේතුංග සහ මේජර් ජෙනරාල් ඩි.ආර්.ඒ.බි.ජයතිලක යන මහත්වරුන් සාමාජිකත්වය දරන පළමු යුධ අධිකරණ‍යේ සභාපතීත්වය දරන්නේ මේජර් ජෙනරාල් එච්.එල්.වීරතුංග මහතා විසිනි.
යුධ අධිකරණ දෙකෙහිම විනිසුරු අධි නීතීඥ ලෙස රියර් අද්මිරාල් ජේ.එස්.ප්‍රනාන්දු මහතා කටයුතු කරයි. adaderana

සුරාවට තිත තබයි


හෙට සහ අනිද්දා යන දෙදින තුළ දිවයින පුරා සුරා සැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. මහ මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. මීට අමතරව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 සහ 14 යන ‍දිනයන්හි සුරා සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. adaderana

සැඟ වූ පුපුරණ ද්‍රව්‍ය එළිබසියි


කොත්මලේ රම්බොඩවත්ත ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සො‍යාගෙන තිබේ.
ඩෙටනේටර් දෙකක්, වෙඩි බෙහෙත් මිශ්‍ර කරන ලද වැලි ග්‍රෑම් 350ක් , රතිඤ්ඥා කරල් 18ක් , ප්‍රෙට්‍රල් අඩංගු විදුරු‍ බෝතල් දෙකක් , වයර් කැබිලි තොගයක් බැටරි 6ක් මෙසේ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වලාන දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන් වේ.
මැතිවරණ සමයේ කිසියම් කඩාකප්පල් ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
පොලිසිය පවසන පරිදි මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත. adaderana

මහ මැතිවරණය හෙටයි


7 වන පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වීමට නියමිතය.. පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 11,098 කදී පැවැත්වේ.
මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 36ක් සහ ස්වාධීන කණ්ඩායම් 301ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,620කි.
එම අපේක්ෂකයින් අතරින් පාර්ලිමේන්තු නියෝජනය සඳහා 196 දෙනෙක් තෝරා ගැනීමට නියමිතව ඇති අතර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 14කට අධිකය..
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම දිවයින පුරා පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1376ක දී සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
6 වන පාර්ලිමේන්තුව පසුගිය පෙබරවාරි 9 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරුණි. adaderana

Sangeetha

ඉතිහාසයේ දූෂිතම පූර්ව මැතිවරණ ක්‍රියා සිදුවූ මැතිවරණය - NEM IHR


පූර්ව මැතිවරණයට අවධියට අදාල කිසි ම නීතියක් ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූ මෑත ඉතිහාසයේ දූෂිත ම පූර්ව මැතිවරණ අවධිය 2010 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල පූර්ව මැතිවරණ අවධිය බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ පවසයි. එම නිරීක්ෂණ ජාලය මේ බව පවසන්නේ පූර්ව මැතිවරණ ක්‍රියා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය මෙසේය.

2010 මහ මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා මැතිවරණ දිස්ත‍්‍රික් 22 ම ආවරණය වන පරිදි නිරීක්‍ෂකයන් 3781 ක් පූර්ව මැතිවරණ ක‍්‍රියාවලිය තුළ යොදවා ඇති අතර පූර්ව මැතිවරණ සමයේ සහ පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේ සිදුවීම් බහුල ප‍්‍රදේශ ඇතුළත්ව මැතිවරණ දිනය සඳහා අමතර නිරීක්‍ෂකයන් 1750 ක් යොදවා ඇත. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන අප්‍රේල් 08 වන දින නිරීක්‍ෂකයන් 5531 ක් යෙදවීමට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය කටයුතු යොදා ඇත.
පූර්ව මැතිවරණයට අවධියට අදාල කිසි ම නීතියක් ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූ මෑත ඉතිහාසයේ දූෂිත ම පූර්ව මැතිවරණ අවධිය 2010 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල පූර්ව මැතිවරණ අවධිය බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහසයි.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂකයන් අත්තනෝමතික ලෙස නීතිය සියතට ගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමත් එහිදී මැතිවරණ නීතිය පමණක් නොව සාමාන්‍ය නිතිය ද උල්ලංඝනය වීමත් නිරීක්‍ෂණය කළ හැකි විය.
මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යභාරය
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කිසි ම ක‍්‍රියාමාර්ගයක් ගැනීමට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව අසමත් වූ අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද සියලූ උපදෙස්, උපමාන හුදෙක් ලියවිලිවලට පමණක් සීමා වූ මැතිවරණයක් විය. මැතිවරණය ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාල නිළධාරීන් පත් කිරීම සහ වරින් වර පක්‍ෂ ලේකම්වරු කැඳවා සාකච්ඡා කිරීම දක්වා මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යභාරය ලඝු වූ මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත් වීම කණගාටුදායක ම අත්දැකීම බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහසයි. 17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු සාපේක්‍ෂ වශයෙන් කිසියම් බලතල හිමි මැතිවරණ කොමසාරිස්වරයා මෙම තත්ත්වයට පත් වූයේ ඇයි දැයි යන්න ගැඹුරින් සලකා බැලිය යුත්තකි.
දේශපාලන අධිකාරියට නතු වූ පොලීසිය
පූර්ව මැතිවරණ කාලය තුළ මැතිවරණ ප‍්‍රචාරක නීතිය තබා සාමාන්‍ය නීතිය පවා ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත් විය. නීතිවිරෝධී ප‍්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කරන අවසාන දිනය වරින් වර වෙනස් කළ පොලිස්පතිවරයාට අවසානයේ මැතිවරණ නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව අසමත් බව ප‍්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු විය. දේශපාලන අධිකාරියේ සෘජු බලපෑමට පොලීසිය අවනතව කටයුතු කරන බවට අදාල සිදුවීම් රැසක් වාර්තා වී ඇත. පොලිස් නිළධාරීන් දේශපාලන ප‍්‍රචාරක රැස්වීම් ඇමතූ අවස්ථා පවා වාර්තා වූ මැතිවරණයක් බවට 2010 මහ මැතිවරණය පත් වී ඇත. එසේ ම පොලීසියේ පක්‍ෂපාතී ක‍්‍රියාකලාපය විශේෂයෙන් කැපී පෙනිණි. විපක්‍ෂයට අයත් දේශපාලන පක්‍ෂ සාමාජිකයෙකු මැතිවරණ නීති කැඞීමක් හෝ යම් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවකට සම්බන්ධ වූ විට කාර්යක්‍ෂමව ක‍්‍රියාත්මක වන පොලීසිය ආණ්ඩු පක්‍ෂයේ මැතිවරණ අපේක්‍ෂකයන් හා ආධාරකරුවන් ඉදිරියේ සිය රාජකාරී පක්‍ෂපාතීත්වය ප‍්‍රදර්ශනය කරන අයුරු නිරීක්‍ෂණය විය.

රජය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකක් බවට පත් වීම.
විධායකයේ ප‍්‍රධානියාගේ සිට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා දක්වා ආණ්ඩු පක්‍ෂයේ සියලූ ම දේශපාලනඥයන් විවෘතව ම රාජ්‍ය බලය, රාජ්‍ය දේපල ආණ්ඩු පක්‍ෂයේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් භාවිතා කරන බවට තොරතුරු වාර්තා වී ඇත. අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු විධායක නිළධාරීන් පවා මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල විවෘතව යෙදුනු අතර ඒ පිළිබඳව කිසිවෙකුට හෝ අභියෝග කළ නො හැකි බව ද ප‍්‍රකාශ විය.
රාජ්‍ය නිළධාරීන් විශාල වශයෙන් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදුනු අතර පාසල් ළමුන් පාසල් පැවැත්වෙන වේලාව තුළ මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා සකස් කිරීමට යොදාගත් අවස්ථා වාර්තා විය. විශේෂයෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, මිල්කෝ ආයතනය, මහවැලි සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය, ක‍්‍රීඩා හා පොදු විනෝද කටයුතු අමාත්‍යංශය, පළාත් හා ප‍්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල, කළාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රාදේශීය කාර්යාල සහ නගර සභා යන අමාත්‍යංශ සහ ආයතනවල රාජ්‍ය නිළධාරීන් රාජකාරි වේලාව තුළ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදුනු බවට තොරතුරු වාර්තා වී ඇත. තව ද රාජ්‍ය ආයතන සතු වාහන, ගොඩනැගිලි හා අනෙකුත් සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන තිබිණි. එසේ ම රාජ්‍ය ආයතන තුළ මැතිවරණ අපේක්‍ෂකයන් සිය මැතිවරණ ප‍්‍රචාරක රැුළි පවා පවත්වා ඇති අතර ඒ පිළිබඳව බලධාරීන්ට පූර්ව දැනුවත් කිරීම් සිදු කළ ද මැතිවරණ කොමසාරිස්වරයා හෝ අදාල අමාත්‍යංශ ලේකම්වරුන් ඒවා වැලැක්වීමට පියවර ගෙන නො තිබිණි.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු
මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට අදාලව කිසිම නීතියක් ක‍්‍රියාත්මක නොවී ය. අපේක්‍ෂකයන් කිහිපදෙනෙක් විසින් අති විශාල ධනස්කන්ධයක් යොදා මැතිවරණ ප‍්‍රචාරක වේදිකාව ආක‍්‍රමණය කර ඇති බව නිරීක්‍ෂණය කළ හැකි අතර ඇතැම් කලූ සල්ලි සුදු කිරීම සඳහා මැතිවරණ ප‍්‍රචාරණය උපයෝගී වූ බවට චෝදනා එල්ල වී ඇත. මැතිවරණ ප‍්‍රචාරක වියදම් සම්බන්ධයෙන් නීතිවල අවශ්‍යතාව දැඩිව අවධාරණය වූ මැතිවරයකි.
ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදය වෙනුවට පුද්ගල ප‍්‍රතිරූපය ඉස්මතු වූ මැතිවරණයක්
2010 මැතිවරණය තුළ ප‍්‍රතිපත්තිමය කාරනා සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇති නොවූ අතර ඇතැම් ස්ථානවල කුළවාදය, ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතුව ප‍්‍රචාරක කටයුතු සිදු වූ බවට පැමිණිලි ලැබී ඇත. විශේෂයෙන් ම කොළඹ, මාතර, හම්බන්තොට, මහනුවර යන දිස්ත‍්‍රික්කවල කුළවාදය මුල්කර ගත් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු වූ අතර නුවරඑළිය, දිගාමඩුල්ල, වන්නි, මඩකළපුව, පුත්තලම, කොළඹ, මහනුවර වැනි දිස්ත‍්‍රික්කවල ජාතිවාදය පදනම් වූ මැතිවරණ ව්‍යාපාරයක් දියත් විය.
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා. lankatruth

දේශපාලනඥයින් මේ රට විනාශ කරනවා


දේශපාලනඥයින් මේ රට විනාශ කරමින් සිටින බවත්,කිසිවෙකුටත් මේ රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් නැති බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
දැනට පවතින මැතිවරණ ක්‍රමයේ අඩු පාඩු රැසක් පැවතිය ද එය සංශෝධනය කිරීම සඳහා ද අද සිටින කිසිදු දේශපාලනඥයෙකුට වුවමනාවක් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.
ඉදිරි මහ මැතිරණයට පෙර තමන් කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවක් නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය.
එවැනි ප්‍රවෘත්ති සාකච්ඡා වලදී තමන් සිදුකරන ප්‍රකාශ වලට ඇතැම් මාධ්‍ය වැරදි අර්ථකථන ලබාදෙන අතර ඒවා නිවැරදි කිරීම සඳහා මැතිවරණයට පෙර තමන්ට කාලයක් නොලැබෙන බව මැතිවරණ‍ කොමසාරිස්වරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙවර මැතිවරණයට පෙර ප්‍රවෘත්ති සාකච්ඡා නොපැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ ප්‍රතිඵල විකාශන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග අද පැවති සාකච්ඡාවකදී කොමසාරිස්වරයා අවධාරණය කළේය. adaderana

චෝදනා එල්ල කළ වෛද්‍යවරයාත් මැතිවරණයට


ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් පැවති කාල සීමාව තුළ සිවිල් ඝාතන සිදුවූ බවට චෝදනා කරමින් ලෝක අවධානයට ලක්වූ වෛද්‍යවරයෙකු වන 40 හැවිරිදි වීරකතිපිලෙයි ෂන්මුගරාජ් නම් පුද්ගලයා මෙවර මහ මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන ද්‍රවිඩ දේශපාලන පක්ෂයක් යටතේ තරග වදින බව වාර්තා වේ. වසර 30 ක් තිස්සේ පැවති යුධ ගැටුම් අවසන් වූ පසු මෙරට සංවර්ධනය කිරීම සඳහා හැකියාව ඇති එකම පුද්ගලයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, එම නිසා තමන් ඔහු වෙත සහය දැක්වීමට තීරණය කළ බවත් ෂන්මුගරාජ් පවසයි.
නැගෙනහිර වන්නි ප්‍රදේශයේ එල්. ටී. ටී. ඊ සංවිධානය හා ශ්‍රී ලංකා යුධ හමුදාව අතර යුධ ගැටුම් පැවති අවසන් මාස හතරක කාල සීමාව තුළ සාමාන්‍ය සිවිල් වැසියන් 7000ක පමණ ප්‍රමාණයකට හානි සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය. ඔවුන් එම සංඛ්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කළේ යුද්ධය පැවති ප්‍රදේශ වල සිටි වෛද්‍යවරුන් ඉදිරිපත් කළ තොරතුරු ඇසුරිනි. යුද්ධය පැවති අවසන් මාස කිහිපය තුළ 350 -400ත් අතර සිවිල් ජන සංඛ්‍යාවක් ඝාතනය වී ඇති බව මෙම වෛද්‍යවරුන් සඳහන් කර තිබුණි. ෂන්මුගරාජ් ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන් යුධ හමුදා රැඳවුම් භාරයේ සිටියදී ප්‍රකාශ කර තිබුණේ ඔවුන් එවැනි දත්ත ඉදිරිපත් කළේ ඔවුන්ට තර්ජන පැවති නිසා බවය. පසුව මෙම වෛද්‍යවරුන් පිරිස නිදහස් කළ අතර නැවත ඔවුන්ගේ රැකියා ද හිමිවිය.
වීරකතිපිලෙයි ෂන්මුගරාජ් යුද්ධය පැවති කාල සීමාව තුළ යුද්ධයෙන් තුවාල ලත් එල්. ටී. ටී. ඊ සාමාජිකයින් බොහෝ පිරිසකට ප්‍රතිකාර කර ඇත. එමෙන්ම ඔහු යුධමය සංවිධානයක්ව පැවති නමුත් දැනට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන ඒරෝස්(EROS) සංවිධානයේ මැතිවරණ අපේක්ෂකයෙකි.adaderana

ඊයේ මැරයා අද පොලිස් නිල ඇඳුමින්


ඊයේ (05) දහවල් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයේ නියුතු භික්ෂූන් වහන්සේ ම්ලේච්ඡ ලෙස පැහැර ගැනීමට ලක් කළ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින්ගෙන් කෙනෙකු හඳුනා ගැනීමට ලංකාටෲත් කැමරාකරුට හැකි විය. ඊයේ මාරාන්තික උපවාසයේ නියුතු දිනකට වඩා වැඩි කාලයක් නිරාහාරව, ශරීර ශක්තියෙන් පිරිහී සිටි ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඉතා නින්දිත ලෙස පැහැර ගරනීමට ලක් කළ මෙම පුද්ගලයා පොලිස් නිලධාරියෙකි.


ඊයේ දිනයේදී මැරයෙකු ආකාරයෙන් උපාවස කරමින් සිටි ස්වාමීන් වහන්සේ ම්ලේච්ඡ ලෙස පැහැරගැනීමට ලක් කළ මෙම පුද්ගලයා මෙසේ අද දින අප කැමරාවට හසු කර ගත් ආකාරයෙන්ම අනෙකුත් මැර පොලිස් නිලධාරීන් ද රටට හෙළි කිරීමට අප සූදානමින්.

අපේක්‍ෂකයන් ඡන්දය දෙන ආකාරය මාධ්‍යයට වාරණය කර ඇත්තේ රාජපක්ෂවරයෙකුගේ බලපෑමකින්


අපේක්‍ෂකයින් ඡන්දය පාවිච්චි කරන ආකාරය රූගත කිරීම හේ එහි ඡායාරූප ගැනීම මෙවර මැතිවරණයේ දී තහනම් කර ඇති බවත්, මෙම නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවත් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ‍මැතිවරණ කොමසාරිස්වරයා අදාල තීන්දුව ගෙන ඇත්තේ ආණ්ඩුවේ ඉහළ පුද්ගලයෙකුගේ බලපෑම නිසා බව වාර්තා වේ.
රාජපක්ෂ පවුලේ බලගතු පුද්ගලයෙකු වන මෙම තැනැත්තා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ඇතත් ඔහුට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැතිවීම මෙයට හේතුව වී ඇත. මෙයට අමතරව මේ දිනවල ජනාධිපතිවරයා විසින් වැඩියෙන් වර්ණනා කරනු ලබන පංචායුධයක් පැළගත් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂයෙකුටද ඡන්දය නොමැති වීම මෙයට තවදුරටත් බලපා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී මේ තැනැත්තා ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය නොමැති බවත්, ඒ හේතුවෙන් යම් හෙයකින් ජනරාල් දිනුව හොත් ඔහුට ජනාධිපතිවීමේ අවස්ථාව නොමැති බවත් මැතිවරණ දිනයේදී රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පැවසීය. නමුත් ජනාධිපතිවරණයේදී සේම මෙවර මහ මැතිවරණයේදීත් මෙම අපේක්ෂකයාට ඡන්දය නොමැති බැවින් අදාල රාජපක්ෂවරයාට ඇවටිලි කොට මැතිවරණ කොමසාරිස්වරයා ලවා අදාල නියෝගය කරවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.adaderana

අප්‍රේල් 09 දා විශේෂ රජයේ නිවාඩුවක්


2010 මහ මැතිවරණයට පසු දින හෙවත් අප්‍රේල් 09 දා විශේෂ ර‍ජයේ හා බැංකු නිවාඩු ලෙස නම් කර ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යංශයේ ලේකම් ඩී.දිසානායක මහතා පැවසුවේ මැතිවරණයට අදාලව මෙම නිවාඩුව සිය අමාත්‍යංශය විසින් නිවේදනය කළ බවයි.lankatruth

දේශපාලන අරමුණු සදහා ආණ්ඩුව මට බොරු චෝදනා ඉදිරිපත් කරනවා - අනෝමා ෆොන්සේකා


දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කඩා කප්පල් කිරීමේ අරමුණින් ආණ්ඩුව තමාට බොරු චෝදනා ඉදිරිපත් කරමින් තිබෙන බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ අද පස්වරුවේ සිය නිවසේදී පැවැති හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ෆොන්සේකා මහත්මිය මෙසේද පැවසීය.
මම සේවා වනිතා සභාපතිනිය ලෙස වැඩ කරන සමයේ කරපු "සෙනහස" නැමැති වැඩ සටහන සම්බන්ධයෙන් රජයේ මාධ්‍යවල විවේචනාත්මකව පලවී තිබුණා. එය හුදු මඩ ගැසීමේ චේතනාවෙන් ආණ්ඩුව කරන්නක් බව පැහැදිලියි. මම එම වැඩ සටහන පටන් ගත්තේ රණවිරු පවුල් සුභ සාධනය සදහා මෙම වැඩ සටහනේ ඉලක්කය වුණේ රණවිරු පවුල්වල උපතින්ම ආබාධිතවූ දරුවන් සුභ සාධනය. අපේ රටේ ආබාධිත දරුවන් සදහා පහසුකම් නැහැ. එනිසා මම හිතුවා මට හැකි පමණන් ඊට පිළියම් යෙදීමට. ඒ සදහා තමයි සෙනෙහස පාසල පටන් ගත්තේ.
ඒ හරහා රණවිරවන්ගේ ආබාධිත දරුවන් හදා වඩා ගැනීම සහ ඔවුන් නගා සිටුවීමට කටයුතු කළා. පාසලට ළමුන් තෝරගත්තේ පරීක්ෂණ කරලා. මම මෙම කාර්ය ඇරඹුවේ බොහොම සත් බාවයකින් නමුත් මට එම කාර්ය නිමාකරන්න බැරි වුණා. මට එම තනතුරින් ඉවත්වන්න සිදුවුණා. නමුත් තාමත් යුද හමුදාවට එය නිම කිරීමට බැරි වෙලා. දැන් ආණ්ඩුවේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා මුදල් අක්‍රමිකතා ගැන කාතාකරනවා. මම අවධාරණය කරනවා අපි සියලුම ගනුදෙනු කළේ විනිවිද භාවයකින් යුක්තවයි. අපට චෝදන කරන උදවියට මම අභියෝග කරනවා එම චෝදනා ඔප්පු කරන ලෙස.
ආණ්ඩුව වංචා සිදුවූ වා යැයි කියන පැසැල් ගොඩ නැගිල්ල සෑදුවේ යුද හමුදා ඉංජිනේරු බලකායෙන්. වංචා සිදුවන නිසාම එය කොන්ත්‍රාත් දුන්නෙත් නැහැ. එනිසා මම ආණ්ඩුවට අභියෝග කරනවා දේශපාලන අරමුණු ‍මුදුන් පමුණුවා ගැනීම සදහා බොරු චෝදනා ඉදිරිපත් නොකර හැකි නම් එම චෝදනා ඔප්පුකර පෙන්වන්න.adaderana

අධිකරණ තීන්දුව නිසා පළමු යුධාධිකරණය අත්හිටුවයි


අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බැවින් පළමු යුධාධිකරණය මැයි මස 05 වන දා වන තුරු අත්හිටුවීමට පළමු යුධාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත. අද උදේ මෙම යුධාධිකරණය රැස්වූ අතර, මෙහිදී යුධාධිකරණ විනිසුරුවන් විසින් ප්‍රකාශ කර ඇත්තේ යුධාධිකරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බැවින් මැය 05 වන දා වන තුරු මෙම පළමු යුධාධිකරණය අත්හිටුවන බවයි.
පසුගියදා ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා විසින් මෙම යුධාධිකරණයට විරුද්ධව අභියාචනාධීකරණයේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ අතර, මෙම පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රකාශ කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මැයි 05 වන දා නීරණයක් ගන්නා බවත්, එතෙක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පවතින ආකාරයේ කිසිදු වෙනසකින් තොරව පැවතිය යුතු බවයි.
මෙම තින්දුවට අනුව අද රැස්වූ පළමු යුධාධිකරණයේ විනිසුරුවන් විසින් මෙම යුධාධිකරණය ලබන මැයි මස 05 වනදා වන තුරු අත්හිටවූ අතර, දෙවන යුධාධිකරණය අද දහවල් 2.30ට රැස්වීමට නියමිතය. lankatruth

පීලි පැන්න දුම්රියේ විමර්ශනය සී.අයි.ඩීයට


පීලි පැනීමට ලක්වු වව්නියාව රාත්‍රී තැපැල් දුම්රිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අදාල නිලධාරීන්ට දැනුම් දී තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී පි.පි.විජේසේකර මහතා පවසන පරිදි අදාළ දුම්රිය පීලි පැනීමට හේතුව දුම්රිය පීල්ලක් ගලවා තිබුණු බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
ඊයේ රාත්‍රී 10ට කොළඹ කොටුව සිට වව්නියාව බලා පිටත් වු රාත්‍රී තැපැල් දුම්රිය අද අලුයම 2.30ට පමණ ගල්ගමුව සහ සෙනරත්ගම අතර ස්ථානයකදී පීලිපැනීමකට ලක්විය.
මෙහිදි තැපැල් මැදිරිය , තුන්වන පන්තියේ මැදිරියක් සහ දුම්රිය එන්ජිම පීලිපැන තිබේ. මේ හේතුවෙන් අදාල දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ගල්ගමුව දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. adaderana

බලවතුන් දෙබඩියි


මානව හිමිකම් සම්බන්ධ චෝදනා වලදී ඇතැම් බලවත් රටවල් අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් බව රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇත්ද යන්න රටක විශාලත්වය මත තීරණය කළ නොහැකි බවයි. 2007 වසරේදී අමෙරිකානු සොල්දාදුවන් පිරිසක් විසින් ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේදී මාධ්‍යවේදීන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්‍රහාරයක රූප රාමු අද විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ බලවත් යැයි කියා ගන්නා රටවල් එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් එක් ප්‍රතිපත්තියකුත් , ශ්‍රී ලංකාව වැනි රටකට වෙනත් ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන බවයි.
මේ හේතුවෙන් ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ප්‍රකාශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. adaderana

අමෙරිකාවේ සිවිල් ඝාතන හෙළිදරව්වක්


මෙයට වසර තුනකට පෙර ඉරාකයේ බෑග්ඩෑඩ් නගරයට අමෙරිකානු යුධ හමුදාවේ Apache හෙලිකොප්ටරයක් මගින් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය රූපගත කළ වීඩියෝ දර්ශනයක් WikiLeaks නම් වෙබ් අඩවිය මගින් අද දින ප්‍රසිද්ධියට පත්කර ති‍බේ. මෙම ප්‍රහාරයෙන් 12දෙනෙකු මරණයට පත්වූ බව ද සඳහන්ය.
2007 වසරේ ජූලි මාසයේදී අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය රූපගත කර ඇත්තේ හෙලිකොප්ටරයේ සවි කරන ලද විශේෂිත කැමරාවක් මගිනි. මෙසේ මෙම රූපරාමු ප්‍රසිද්ධියට පත්කිරීමට දෙසතියකට පෙර අමෙරිකාව විසින් WikiLeaks වෙඩ් අඩවිය අමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද ප්‍රකාශ කර තිබුණි. මිනිත්තු 18ක කාලයකින් යුක්ත කළු සුදු වර්ණ මෙම වීඩියෝ පටයෙහි සාමාන්‍ය සිවිල් වැසියන් කණ්ඩායමක් බෑග්ඩෑඩ් නගරයේ චතුරස්‍රයක් අබියස ඇවිදයමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලකරන ආකාරය වීඩියෝ පටයෙහි ඇතුළත්ය. මෙම පිරිස අතර රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු වන 22 හැවිරිදි නමීර් නූර්- එල්ඩීන් සහ ඔහුගේ රියදුරු වන 40 හැවිරිදි සායිද් චමා ද වන බව පසුව හඳුනාගෙන ඇත. adaderana

විරැකියාව පහලදානවා


උගත් සහ බුද්ධිමත් තරුණ තරුණියන්ගේ විරැකියා අනුපාතය පහත හෙළීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ බුද්ධිමත් අයගේ විරැකියා අනුපාතය මේ වන විට සියයට 10 ක් වන බවයි.
පංචබල කේන්ද්‍රීය සංවර්ධනය ආරම්භ වීමත් සමග රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙරට විරැකියා අනුපාතය සියයට 20 ක් වන බවට විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන සංඛ්‍යා සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.. adaderana