Saturday, May 8, 2010

මටත් මෙවැනි අතීතයක් තිබුණි. . .


කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද උදෑසන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාශයේ රාජකාරී කටයුතු නිල ව‍ශයෙන් ආරම්භ කළේය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු ඇමතිවරයකුද වූ අතර එම රජයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය. එම අවස්ථාවේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා නව මාධ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙහි වැඩ බාරගන්නා ආකාරය දෙස තම නෙත් රඳවාගෙන සිටින අයුරු කැමරු කාචයේ මෙසේ සටහන්ව තිබුණි.adaderana

පසුබෑම ජයග්‍රහණයට පහසුවක් -සජිත්


පසුබෑමක් තුළින් ජයග්‍රහණයක් කරා ළගා වීම පහසු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මැතිවරණ පසුබෑමකට ලක් වුවද යළි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතකට රැගෙන යා හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
තම පක්ෂය ජයග්‍රාහී කරවීම සඳහා දිවි හිමියෙන් කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් සඳහන් කළේය. පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීම තම පක්ෂයේ නායකයින්ගේ වගකීමක් වන බව ද හෙතෙම කියා සිටියි. adaderana

දුරකථන කතාව මුසාවක්


එස්.එම්.එස් පණිවිඩයක් මඟින් ජනතාව තැති ගැන්වීමට උත්සහ දරන පිරිස පිළිබඳ පරීක්ෂණ පවත්වා වහාම දැනුම් දෙන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සියලු ජංගම දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබේ. අද දිනයේ ලැබුණු බව කියන එවැනි එස්.එම්.එස් පණිවිඩ පිළිබඳ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බව එම කොමිෂන් සභා‍වේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සඳහන් කළේය.
එස්.එම්.එස් පණිවිඩ හරහා කිසිඳු ශාරිරික බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි. ඒ අනුව එවැනි එස්.එම්.එස් පණිවිඩ පිළිබඳ අනවශ්‍ය තැතිගැන්මක් ඇති කර නොගන්නා ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි. විදේශීය දුරකථන අංකයක් ඔස්සේ යොමු වූ එස්.එම්.එස් පණිවිඩයක් මඟින් සිදු කර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් අද දිනයේ ජනතාව අතර කුතුහලයක් මතු ව තිබුණි. adaderana

සංචාරක කර්මාන‍්තයේ ඉහළ වර්ධනයක්


මෙරට සංචාරක කර්මාන‍්තයේ වර්ධනය මේ වසර ඇතුළත පමණක් 50%ක පමණ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක සංචාරක සංවිධානය පවසයි. රටවල් 77 ක වාර්තා සැලකීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව අනාවරණය වී තිබෙන බව ඔවුන් නිකුත් කර තිබෙන අතුරු වාර්තාවක් මඟින් ප්‍රකාශ කර ඇත. යුද්ධයෙන් පීඩාවට පත් වු තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සංචාරකයින්ට ආකර්ශනීය වීමට වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට හේතු වී ඇති බව එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. යුදමය වාතාවරණයක් නොපැවතුණු රටවල සංචාරක ක්ෂේත්‍රයට සාපේක්ෂව ශ්‍රී ලංකාව ගෙවී ගිය කාලය තුළ එම ක්ෂේත්‍රයේ පෙන්නුම් කර තිබෙන ප්‍රගතිය ඉහළ බව එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක සංචාරක සංවිධානය පවසයි. adaderana

භාණ්ඩ මිල ගණන් ජංගම දුරකථනයෙන්


සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි. ජනතාවට සාර්ථක සේවාවක් ලබා දෙන අමාත්‍යාංශයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.
මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේ මූලික පියවරක් ලෙස තමාගේ අධීක්ෂණය යටතේ පාරිභෝගික සහන මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියි. මීට අමතරව වෙළඳපල හා ආර්ථික මධ්‍යස්ථාන වල පවතින භාණ්ඩ වල මිල ගණන් ජංගම දුරකථන ඔස්සේ ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. adaderana

රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේදී


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහියංගන රජමහා විහාරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මැයි 24 වන දින රාජ්‍ය වෙසක් දින උත්සවය පැවැත්වීමට නියමිතය.
මෙදින අටසිල් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, තෙමඟුල් අභිවන්දනා පෙරහැර, වෙසක් කූඩු ප්‍රදර්ශන සහ වෙසක් බැති ගී ගායනා පැවැත්වීමට පියවර ගන්නා බව රජය පවසයි. අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය වෙසක් උත්සවයට අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. adaderana

දේශපාලකයින් පත්කළේ ජනතාවයි


දේශපාලකයින් සෑමවිටම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බව සබරගමුව පළාත් ආණ්බුකාර වි. ජ. මු ලොකු බණ්ඩාර මහතා පවසයි. දේශපාලකයින් තනතුරු වලට පත්ව ඇත්තේ ජනතාව නිසා බව ඔහු පෙන්වාදෙයි.
සබරගමුව පළාත් නව ආණ්ඩුකාර ධුරයෙහි රාජකාර නිල වශයෙන් ඊයේ ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දරමින් එහි ගෞරවය ආරක්ෂා කළ ආකාරයෙන්ම සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස පළාතේ ජනතාවට උපරිම අන්දමින් සේවය කිරීම තම අරමුණ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වි. ජ. මු ලොකු බණ්ඩාර මහතා පැවසුවේය. adaderana

තනතුර ගත්තේ අකමැත්තෙන්


නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් තමා භාරගත්තේ අකමැත‍්තෙන් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. එහෙත් ලැබූ වගකීම උපරිමයෙන් ඉටුකිරීම තම අපේක්ෂාව බව ඩිලාන් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි. රාජ්‍ය නිලධාරීන් ද තම පෞද්ගලික දේශපාලන මතවාද පසෙකලා පවතින රජයට පක්ෂපාතීව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි. adaderana

උතුරේ දුම්රිය ගමන සීමා වේ


උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය අද දින සීමා කිරීමට සිදුවන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. අනුරාධපුර සහ පරසන්ගස්වැව අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව ඔහු සඳහන් කරයි.adaderana

ආණ්ඩුවේ ඇස ගමටත්


වත්මන් ආණ්ඩුව නගරයට සමගාමීව ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද සංවර්ධනය වේගවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි. මාතර ‍ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු මුදල් කෞතුකාගාරය විවෘත කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළේය. adaderana

55න් විශ්‍රාම යැවීම අසාධාරණයි


රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 55 න් විශ්‍රාම යැවීම සාධාරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලංකාවේ රජකම් කළ රජවරු දීර්ඝ කාලයක් රට පාලනය කළ ද අද ජනතාව එතරම් සෞඛ්‍ය සම්පන්න නොවීම කණගාටුවට කරුණක් බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා කියා සිටියි. adaderana

තැලසීමියා නිවාරණ මස ඇරඹේ


ජාතික තැලසීමියා නිවාරණ මාසය අදින් ආරම්භ වේ. ජුනි 8 දක්වා මාසයක කාලය තුළ තැලසීමියා රෝග නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක වන බව ජාතික තැලසීමියා මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගය බහුලව වාර්තා වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වල සිසුන් මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. අදට යෙදෙන ජ‍ාත්‍යන්තර තැලසීමියා දිනය ද මීට සමගාමීව සැමරීමට කටයුතු යොදා ඇති බව ද ජාතික තැලසීමියා මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. adaderana

ශ්‍රී ලංකාව සුපිරි 08 පළමු ජය ලබයි


20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 08 වටයේ මුහුණදුන් ප්‍රථම තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව එම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 3 ක් දැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත්විය.
දර්ශනීය පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 98 ක් ලබාගත්තේය. කුමාර් සංගක්කාර ලකුණු 68 ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක් පමණි. තරගයේ වීරයා මහේල ජයවර්ධනය. adaderana