Friday, May 28, 2010

බලය ගන්න හැටි සජිත් කියයි


එක්සත් ජාතික පක්ෂය යළි රාජ්‍ය බලය ලබාගැනීමට නම් එහි ප්‍රතිපත්ති මාලාවේ වෙනස්කම් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ග්‍රාමීය දිළිඳු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය විය යුතු බවයි. තමා පක්ෂයේ පාලනය ලබාගන්නා විට අනිවාර්යයෙන් දිළිඳු ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. හම්බන්තොට පැවති ජනහමුවකදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ හිමිකරුවන් වන්නේ මෙරට ‍පීඩිත පන්තියේ ජනතාව බවයි. adaderana

මැද පෙරදිග ගිය පිරිසක් යළි ගෙන්වයි


මැ‍දපෙරදිග සේවය සඳහා ගිය තවත් ‍ශ්‍රමිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.. එම කාර්යාංශ‍යේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ. රුහුණගේ මහතා පවසන පරිදි මැදපෙරදිග සේවයට ගොස් සිටියදී විවිධ ගැටලුවලට මුහුණදුන් සහ වීසා අවලංගු වී රැඳී සිටීමට සිදුවූ පිරිස් මෙලෙස ගෙන්වා ගැනීමට නියමිතය.
‍මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා තානාපති මට්ටමෙන් ලබාගත යුතු අවසරය පිළිබඳ මේ වන විට කටයුතු කරමින් සිටින බව රුහුණගේ මහතා සඳහන් කළේය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවෙනු ඇතැයි සඳහන් වේ.
මේ අතර කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ විදේශ සේවය සඳහා ගොස් අතරමංව සහ විවිධ ගැටලුවලට මුහුණ දී සිටින පිරිස් කඩිනමින් එවීම සඳහා කටයුතු කරන ‍ ලෙස සියලු තානාපති කාර්යාල වෙත මේ වන විටත් දැනුම් දී ඇති බවයි.
ගුවන් ගමන් තදබදය අවම කරගැනීම සඳහා ගිම්හාන නිවාඩු සමයට පෙර එවැනි පිරිස් එවීමට කටයුතු කිරීම වැදගත් බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පවසයි. adaderana

ඉන්දියාවෙන් හොරෙන් මැණික් ගෙනත්


නීතිවිරෝධී ලෙස මෙරටට මැණික් ගල් ගෙන ඒමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසන පරිදි අදාළ පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.. ඔහු රේගුවට නොදන්වා මැණික් ගල් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 460 ක ප්‍රමාණයක් රැගෙන විත් තිබේ. ඊට අමතරව මෙරට වලංගු මුදලින් රුපියල් 14,900 ක මුදලක් ද ඔහු සතුව තිබූ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි. පසුව එම සැකකරු වරද පිළිගැනීමෙන් පසු රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති අතර ඔහු සතු වූ මුදල් රාජසන්තක කර තිබේ. adaderana

වෙසක් සතියේ සුරා නීතියට 950 ක් හසුවෙලා


වෙසක් සමයේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම, නිෂ්පාදනය කිරීම ඇතුළු සුරාබදු පනත යටතේ වැරදි සිදුකළ පුද්ගලයින් 950 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
එයින් වැටලීම් 48 ක්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම් සම්බන්ධයෙන් බවත්,62 ක් අන්තරායකර ඖෂධ පනත යටතේ කළ වැටලීම් බවත් සඳහන් වේ.
එම දෙපා‍ර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ දින 3ක් තුළ සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල සම්බන්ධ කර ගනිමින් මෙම වැටලිම් සිදු කළ බවත්,වෙසක් සතිය පුරාම මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.adaderana

හොවාඩ්ගේ බලාපොරොත්තුවට ශ්‍රී ලංකාවෙන් තහංචි


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති ජෝන් හොවාඩ් මහතා පිළිබඳව කළ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාව සිය අකමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති සෝමචන්ද්‍ර ද සිල්වා මේ බව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
ජෝන් හොවාඩ් ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයා වන අතර මුත්තයියා මුරලිදරන්ට 2004 වසරේ දී එල්ල වූ පන්දුව දමා ගැසීමේ චෝදනාවට දෙවරක්ම පරීක්ෂණ පැවැත්විය යුතු බවට‍ ප්‍රකාශ කරමින් ඔහු මුරලිදරන්ව අභියෝගයට ලක් කර තිබිණි..
ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඕනෑම ක්‍රිකට් කවුන්සිල නියෝජිතයෙකුට සහය පළ කළ ද ඉන් පිටත කිසිවෙකුත් පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බව සෝමචන්ද්‍ර මහතා පවසා ඇත.
‍ජෝන් හොවාඩ්ට මෙම ධුරය ලබාගැනීමට නම් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 අතුරින් රටවල් 7 ක කැමැත්ත හිමිවිය යුතුය.. මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ කැමැත්ත ඔහුට ලැබී ඇති අතර රටවල් 3 ක අකමැත්ත පළ වී තිබේ.
තවත් එක් රටක අකමැත්ත පළ වුවහොත් ජෝන් ‍හොවාඩ්ට මෙම ධුරය හිමිනොවේ. adaderana

ජාත්‍යන්තර ප්‍රජාව යනු එන්.ජී.ඕ කීපයක් නොවේ


ජාත්‍යන්තර ප්‍රජාව යන්න රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ලඝු නොවන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බව හෙ‍තෙම පෙන්වාදෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාතීන් 196 ක් ඇතුළත්ව සිටියදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් පමණක් බව පීරිස් මහතා පවසයි.
අමෙරිකාවේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එරට පැවති විශේෂ හමුවකදී මෙම කරුණු ප්‍රකාශ කර තිබේ.
රජයේ ආරක්ෂක අංශ මුදාගනු ලැබූ ලක්ෂ 3කට ආසන්න සිවිල් ජනතාව පිළිබඳවත් එල්.ටී.ටී.ඊය විසින් ඝාතනය කරනු ලැබූ දහස් ගණනක් වන ජනතාව පිළිබඳවත් අමතක නොකළ යුතු බව එහිදී පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. adadaerana

කුණු වළකින් බිළිඳියක් හමුවෙයි


මස්කෙලිය-නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ළකඹේ ප්‍රදේශයේ කුණුවළක දමා ගොස් සිටි බිළිඳියක සොයා ගැනීමට මස්කෙලිය පොලිසිය සමත්වී තිබේ. ප්‍රදේශවාසීන්ගේ ලද තොරතුරකට අනුව අද උදෑසන 7.00 ට පමණ මෙම බිළිඳිය සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවු දිනක් පමණ වයසැති මෙම බිළිඳිය මස්කෙලිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.. බිළිඳිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙළිය දිසා රෝහලේ වෛද්‍ය නිළධාරී ජි.ජි.පි. ගමගේ මහතා පවසයි.
බිළිඳියගේ මව සොයා මස්කෙළිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. adaderana

බිම් බෝම්බ වෙනුවට උතුරට විදුලිය


උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කෙරෙන සෑම ප්‍රදේශයකටම විදුලිය සපයා දෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. උතුරු පළාතේ කඩිනම් සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බව හෙතෙම කියා සිටියි.
වව්නියාවේ සිට යාපනයේ චුන්නාකමම් දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය අලුතින් පිහිටුවීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා‍ මෙම අදහස් පළ කළේය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපන් ජාත්‍යන්තර මිත්‍රත්ව සහයෝගිතා පදනම මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයා තිබේ.. මෙම අවස්ථාවට ඩග්ලස් දේවානනන්දා , රිෂාද් බදුයුදීන් සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරුන් ද සහභාගි වී තිබේ. adaderana

පලාගිය සිරකරු යළිත් හිරේට


පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පලාගිය සිරකරුවෙකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිරකරු අප්‍රේල් මස 18 වන දින සිරකඳවුරෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වේ.
පුරාවස්තු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ. දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. adaderana

අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගහන්න දෙන්නේ නෑ


මානූෂීය මෙහෙයුමේ අවසාන අදියරේදී සාමාන්‍ය වැසියන් ඝාතනය වු බවට එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා හමුදාව කිසිවිටකත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල නොකරන බව හෙතෙම පෙන්වා දෙයි. "අල්ජසීරා"රූපවාහිනීය සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ. දෙමළ ජනතාවට නිදහසේ ජිවත් විය හැකි වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ ‍ මේ වන විට ඇති කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන‍්නේය.
උතුරේ සිටින ජනතාවට දකුණටත් දකුණේ සිටින ජනතාවට උතුරටත් නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් බිහිවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.. මේ වන විට නැවත පදිංචි කිරීමේ කටයුතු සියයට 90ක් පමණ අවසන් කර ඇති බවත් දෙසැම්බර් මාසයට පෙර සහන ගම්මානවල සිටින සියලු වැසියන් නැවත පදිංචි කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.
මෙරට අභ්‍යන්තර ගැටලු වලට කිසිදු රටකට හෝ කිසිදු සංවිධානයකට මැදිහත් වීමට ඉඩ නොතබන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. adaderana

‍ත්‍රස්ත ක්‍රියාකාරකම් ඇතුළත් ජංගම දුරකතන අල්ලයි


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල දර්ශන ඇතුළත් ජංගම දුරකථන සමග පුද්ගලයන් තිදෙනෙකු මඩකළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි ඊයේ පස්වරුවේ මඩකළපුව ප්ලොට් හංදිය මාර්ග බාධකයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් හා වෙනත් අසභ්‍ය දර්ශන ඇතුළත් පරිඝණකයක් සහ උපාංග ද සොයාගෙන තිබේ..
මොවුන් නාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි. වව්නතිව් පොලිසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

ජංගම දුරකතන සොරෙක් මාට්ටු


ජංගම දුරකථන සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්ස්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කාලයක සිට අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
කොළඹ මධ්‍යම දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ‍ගත් සැකකරු මත් ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. adaderana

තාප්පයකට බිලිවීමෙන් සෞදියේදී අයෙක් මරුට


සෞදි අරාබියේ කම්කරුවකු ලෙස සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකිකයෙකු තාප්පයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. රියාද් නගරයේ සේවයේ කරමින් සිටියදී මොහු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තාප්පය කඩාවැටීමේ සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු මිය ගිය පුද්ගලයාගේ මිනිය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාශයේ අතිරේක සාමානධිකාරී එල්.කේ රුහුණගේ මහතා පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. adaderana

ඩුබායි සිට අඩු වියදම් ගුවන් සේවයක්


ශ්‍රි ලංකාව හා ඩුබායි අතර නව ගුවන් ගමන් සේවයක් ආරම්භ කිරීමට පියවරගෙන තිබේ. ඩුබායි ගුවන් සමාගමක් මගින් මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත බව සඳහන්ය. ලබන මස සිට ආරම්භ කිරීමට නියමිත මෙම ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාම මෙමගින් අරමුණු කෙරෙන බව එම ගුවන් සමාගම පවසයි.
ශ්‍රි ලාංකික ගුවන් මගීන් ලක්ෂ තුනක් පමණ මෙහි සේවය ලබාගනු ඇති බවට අදාළ ගුවන් සමාගම අපේක්ෂා කරයි. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් සිදුකිරීමට ද නියමිතය.adaderana

හොර කුලීකරුවන් දෙදෙනෙක් හසුවේ


කුලී ගමන් යන මුවාවෙන් ගමනාන්තයට නොගොස් මගීන් අතරමං කර ඔවුන් සතු භාණ්ඩ පැහැරගන්නා පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව පරීක්ෂණ පැවැත්වු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මාතලේ දික්කිරියවත්ත ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. adaderana