Sunday, July 11, 2010

වීරවංශගේ මව මියයයි


අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මව අභාවප්ප්‍රාප්ත වී තිබේ. ඊයේ රාත්‍රීයේ ඇය අභාවප්ප්‍රාප්ත වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ජීවිතක්ෂයට පත් ව ඇති බවයි ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඇයගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව ඔහු පැවසුවේය. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් ද දෙන බව ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana

විමල් අන්තිමට කළ යුතු දේ මුලින් කළා -විජිත


විමල් වීරවංශ මහතා ගෙනගිය මාරාන්තික උපවාසය අවසානයේදී කළ යුතු දෙය මුලින්ම සිදුකිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. වීරවංශ මහතා විසින් ගෙනගිය උපවාසය තුළින් සිදුවූයේ ශ්‍රී ලංකාව හා ජනතාව අප්‍රසාදයට පත්වීම පමණක් බව ද ඒ මහතා අවධාරණය කරයි. ඔහු විරෝධය දැක් වූ ආකාරය නිවැරදි නොවන බවත්, ඒ සඳහා නියමිත ක්‍රමයක් පවතින බවත් විජිත හේරත් මහතා පෙන්වාදෙයි.

එය පහළ මට්ටමේ සිට ඉහළ දක්වා ගමන් කළ යුතු බවත්, නමුත් විමල් වීරවංශ මහතාගේ මාරාන්තික උපවාසය තුළින් විරෝධතාවයේ අවසන් කොටස මුලින් ආරම්භ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඒ අනුව එම ක්‍රියා මාර්ගය තුළින් එක්සත් ජාතීන්ගේ කමිටුවට තවදුරටත් ඉඩ ලබා දී ඇති බවට විජිත හේරත් මහතා චෝදනා කරයි. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. adaderana

මල්වතු මහ නා හිමිගේ අත්සන හොරට ගහලා


මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කළ හිමිනමක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය විසින් සැකකරු මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කර ඇත.

අදාළ හිමිනම විසින් විහාරස්ථානයක බූදල් නඩුවක් සම්බන්ධයෙන් පළාත් බද අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයක මල්වතු පාර්ශවයේ මහ නාහිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇති බවට අනාවරණය වීම මීට හේතුවී ඇති බව සඳහන්ය. අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට මෙම හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
adaerana

මාරාන්තික උපවාසයට තිත-විමල් රොහලට


ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වමින් සිටි මාරාන්තික උපවාසයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර වීරවංශ මහතා උපවාසයේ යෙදෙන ස්ථානයට පැමිණ වතුර වීදුරුවකින් ඔහුට සංග්‍රහ කොට ඇත.

එයින් අනතුරව අදාළ සෞඛ්‍ය අංශවලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විමසීමක් කරන ලද අතර එම විමසීමෙන් අනතුරුව මොහොතකට පෙර එතැනට පැමිණි ගිලන් රථයක් ඔහුව නංවාගෙන රෝහල බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දිනයේ සිය මාරාන්තික උපවාසය අත්හරිනු ඇතැයි අද පෙරවරුවේ සිටම ආරංචි මාර්ග විසින් තහවුරු කරනු ලැබිණි.

ජනාධිපතිවරයා ඉල්ලීම් කරන්නේනම් හෝ අධිකරණ නියෝගයක් ගෙන පොලීසිය විසින් ඉවත්කරන්නේනම් ඊට එරෙහිවිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ එම්.මුසම්මිල් මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අද දිනයේ අධිකරණ නියෝගයකින් හෝ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකින් වීරවංශ මහතා මාරාන්තික උපවාසය අත්හරිනු ඇති බවත්,එසේ නොවුණහොත් හදිසි රෝගාතුරුවීමක් නිසා ඔහු ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යාමක් සිදුවිය හැකි බව අප විසින් අද පෙරවරුවේම සඳහන් කර තිබිණි.

පසුගිය අඟහරුවාදා දිනයේ ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සමග උපවාසයක් ආරම්භ වූ අතර ඉකුත් බදාදා(08) දිනයේ විමල් වීරවංශ මහතා එය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිවේදනයක් නිකුත් කරමින් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති මෙම නොහික්මුණු විරෝධතාවය වළක්වන්නට ශ්‍රී ලංකා රජය අසමත්ව තිබීම මහ ලේකම්වරයාගේ නොසතුටට හේතුවී ඇතැයි ද ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලය වසා දමන්නට මහ ලේකම්වරයා තීරණය කර ඇති වග පෙන්වා දී තිබිණි.

රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් මෙම විරෝධතාවය පවත්වන හෙයින් රජය ද රාජ්‍ය නායකයාද අපහසුතාවයට පත්වන බැවින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ දිනයේ විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. එහෙත් එහෙව් ලිපියක් තමන්වෙත නොලැබුණු බවත්,ඒ සමිබන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අප කළ විමසීමකදී කියා තිබුණි.

එහෙත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා වීරවංශ මහතාගේ එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන ලද බව කියා සිටියේය.

කෙසේ වුවද වීරවංශ මහතා උපවාසය අත්හරිනු ලබන බවට ආරංචි පැතිර යද්දී අද දහවල් මාධ්‍යයන් හමුවේ ප්‍රකාශයක් කරමින්"තමන් ආරම්භ කළ මාරාන්තික උපවාසය නැවත්විය හැක්කේ බෑන්කී මූන්ට පමණක් බවත්,වෙනත් කිසිදු බලපෑමක් නිසා තමන්ගේ සටන අතහරින්නට සූදානම් නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා යළි පවසා සිටියේය. ‍

අධිකරණ නියෝගයක් මගින් හෝ ජනාධිපතිවරයා හෝ මැදිහත්වී තමන් මෙතැනින් ඉවත් කරන්නට කටයුතු නොයොදන ලෙස ද හෙතෙම ඒ මොහොතේ ඉල්ලා සිටියේය. තමන්ගේ ජීවිතයට කිසියම් තර්ජනයක් සිදුවුවහොත් එහි වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයත්,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නියෝජිතයාත් බාරගත යුතු බවද වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් එසේ ප්‍රකාශ කිරීමෙන් හෝරාවක් දෙකක් හෝ ඉක්ම යන්නට පෙරාතුව ජනාධිපතිවරයා පැමිණ ඔහුට වතුර වීදුරුවකින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව ගිලන් රථයක් පැමිණ ඔහු එතැනින් ‍රෝහළට ‍ගෙන යන්නට කටයුතු කරන ලදී.

එහිදී අවට රැස්ව සිටින අය අත්පොලොසන් දෙන්නට වූ බවත්,වීරවංශ මහතා ගිලන් රථයට ගොඩ කරන අවස්ථාවේදී පවා කිසිදු විරෝධයක් නොදැක්වූ බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි. adaerana

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඉන්දියාව නැතුව බෑ


ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුහුණ දී සිටින ගැටලු වලට අවසන් විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දියාවේ උපදෙස් හා සහයෝගය අත්‍යවශ්‍ය බව පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි. යාපනයේ පැවති කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමින් එම පක්ෂයේ නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

පක්ෂයේ වාර්ෂික සංවත්සරයක් යාපනයේ පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙහිදී රැඳවුම් භාරයේ සිටි විශ්ව විද්‍යාල සිසුන් සත්දෙනෙකුට ගුණසේකර මහතාගේ මැදිහත්වීමෙන් නිදහස ලබාදීමට කටයුතු කර ඇති බව ද සඳහන්ය. adaderana

ලෝක ජනගහන දිනය අදයි


ලෝක ජනගහන දිනය අදට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 1989 වසරේ සිට සෑම වසරකම ජූලි 11 වන දින ලෝක ජනගහන දිනය ලෙස සැමරීමට කටයුතු යොදනු ලැබීය. මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව ලෙස"සියල්ලන් ගණනයට ලක් වීම අවශ්‍යයි "යන්න හඳුන්වා දී තිබේ.

මේ වන විට ලෝක ජනගහනය බිලියන 6 .8 වන අතර එයින් බිලියන 5 .6 ක ජනගහනයක් අඩු ආදායම් ලාභීන් බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20 කට ආසන්න වන අතර වසරකට දෙලක්ෂ විසි පන්දහසක් පමණ එකතු වන බව වාර්තා වේ.

ජනගහනය වැඩි වීමට උපත් වැඩි වීම, මරණ අඩු වීම රට තුළ හා රටෙන් පිටතට ජනගහනය සංක්‍රමණය වීම පෙන්වා දිය හැකිය. ලෝක ජනගහන දිනය නිමිත්තෙන් ජාතික වැඩසටහන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. adaderana

නිධන් හොරු 12 ක් කොටුවෙති


පොළොන්නරුව සෝමාවතිය රක්ෂිත වනාන්තරයේ නිධන් වස්තු හාරමින් සිටි පුද්ගලයින් ‍12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොළොන්නරුව සිංහරාජගම පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඔවුන් ළඟ තිබී නිධන් වස්තු හැරීම සඳහා යොදා ගන්නා උපකරණ ද පොලිසිය භාරයට ගෙන ඇත. මෙසේ අත්අංඩගුවට ගෙන ඇත්තේ සිරිපුර සහ කදුරුවෙල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

අනුමැතියක් නැතිව බෙහෙත් විකුණන තැන් වටලයි


වෛද්‍යවර‍යකුගේ අනුමැතියකින් තොරව ඖෂධ ලබා දෙන ඖෂධ සැල් වැටලීම විධිමත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ පමණක් වෛද්‍යවරුන්ගේ අනුමැතිය නොමැතිව ඖෂධ ලබා දුන් ඖෂධ සැල් 80 කට එරෙහිව නඩු පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එවැනි වරදකට දැනට පවතින නීතීයට අනුව ලක්ෂයක දඩ මුදලක් හෝ මාස 6කට නොවැඩි සිර දඬුවමක් හිමි වන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙණරගම මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ හේමන්ත බෙණරගම මහතා ප්‍රකාශ කළේය.adaderana

කිළිනොච්චියේ කැබිනට් රැස්වීමකට සුදුසු වාතාවරණය නෑ


මීළඟ කැබිනට් රැස්වීම කිළිනොච්චියේ පැවැත්වීමට රජය ගෙන ඇත්තේ හදිසි තීරණයක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්දසංගරි මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ආනන්දසංගරී මහතා ප්‍රකාශ කර ඇත්තේ රජය කිළිනොච්චියේ කැබිනට් රැස්වීම පැවැත්වීමට ගනු ලැබූ තීරණය පිළිගත්ත ද ඊට සුදුසු වාතාවරණයක් තවමත් නොපවතින බවයි.

කිළිනොච්චි ප්‍රදේශය යනු යුද ගැටුම් හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශය බව පෙන්වා දෙන ආනන්දසංගරී මහතා එම ප්‍රදේශයේ යළි පදිංචි කිරීමේ කටයුතු පවා තවමත් නිමා වී නැති බවද පෙන්වා දෙයි.

එවැනි ගැටලු පවතින අතරතුර රජයේ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් කිළිනොච්චියේ රැස්වීම් පැවැත්වීම ප්‍රදේශයේ ජනතාව කෙසේ පිළිගනීද යන්න පිළිබඳ සැකයක් පවතින බව ආනන්දසංගරී මහතා කියා සිටියි.

මේ හේතුවෙන් අදාළ කැබිනට් රැස්වීම මේ අවස්ථාවේ කිළිනොච්චියේ පැවැත්වීම පිළිබඳ යළි සිතා බලන ලෙස ආනන්දසංගරී මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. adaderana

නේපාලයත් එක්සත් ජාතීන්ගෙන් ගේම ඉල්ලයි


ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතා ව්‍යාපාරයන් මතු වීමෙන් පසු නේපාලයේ අගමැතිවරයාද එක්සත් ජාතීන්ට සිය විරෝධය පාන්නට පටන්ගෙන තිබේ.

එක්සත් ජාතීන් විසින් හිමාලයානු සමූහාණ්ඩුවේ දුර්වල සාම ක්‍රියාදාමය තවදුරටත් කඩාකප්පල් කිරීමට තැත් කරන බවට නේපාල භාරකාර ආණ්ඩුවේ අගමැති මාදව් කුමාර් නේපාල් මහතා තද බල විවේචනයක් කරන බව අයි.ඒ.එන්.එස් ප්‍රවෘත්ති සේවය උපුටා දක්වයි.

නේපාලයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ දේශපාලන ඒකකය මගින් නේපාලයේ අවසරයෙකින් තොරව දේශපාලන සැලසුමක් බලහත්කාරයෙන් පටවන්නට උත්සාහ දරන බවට හෙතෙම චෝදනා කර ඇත. නේපාලයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම යටතේ 19000 ක් පමණ වන මාඕවාදී ගරිල්ලන් එක්සත් ජාතීන් ගේ අධීක්ෂණය යටතේ සිටින බවත්,ඒ අය වෙනුවෙන් නේපාලයේ අවසරයකින් තොරව දේශපාලන සැලසුමක් ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා පෙන්වාදෙයි.

ඒ අනුව එක්සත් ජාතීන් විසින් සති 60 ක් ඇතුළත නේපාලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ තීරණයක් ගැනීමට සැලසුමත් සම්පාදනය කොට එකී සැලසුම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් එසේ වුවද මාඕවාදීන් තමන්ට අනන්‍ය වූ සැලැසුමක් සම්පාදනය කොට ඉදිරිපත් කරන්නට නියමිතව ඇති බවත් එසේ වුව මාඕවාදී ගරිල්ලනගේ නියමිත දින ගණනට පෙර එක්සත් ජාතීන්ගේ සැලසුම ක්‍රියාත්මක වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාලයේ සාම ක්‍රියාදාමයට පවත්නා විශාලතම බාධාව මහජන විමුක්ති හමුදාව බවත්, පාලක පක්ෂය විසින් මේ වන විට සමගාමීව පවතින හමුදාව මුළු මනින්ම අහෝසි කරන ලෙස ඉල්ලා සිටියද මාඕවාදීන් ලේ ඉල්ලීම වන්නේ මේ සියල්ලන් රටේ ජාතික හමුදාවට අනුයුක්ත කරගැනීමයි.

එසේ වුව ද මාඕවාදී නායක ප්‍රචණ්ඩා වරෙක එකගතාවයකට පැමිණෙමින් ප්‍රකාශ කර තිබුණේ ජාතික හමුදාවට ඇතුළත් කරගත යුත්තේ සිය සාමාජිකයන් 5000-7000 ක ප්‍රමාණයක් පමණක් බවයි. මෙවැනි පසුබිමක් තුළ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට හෝ හිටපු අගමැති ඉල්ලා අස්වි දින 10 ට පසුවත් නව රජයක් ස්ථාපිත කිරීමට බාධාවත් වී තිබෙන බවත් නේපාල භාරකාර ආණ්ඩුවේ අගමැති මාදව් කුමාර් පවසා ඇත.

"ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දෙන්නේ මාස 11 යි.ඒ අතරතුරේදී එක්සත් ජාතීන් මහජන විමුක්ති හමුදාව පුනරුත්ථාපනය කර සමාජ ගත් කරන්නට මාස 14 ක් දෙනවා.මෙය හුදෙක් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දක්වන උත්සාහය කඩාකප්පල් කිරීමක් පමණයි"හෙතෙම සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ට සෘජුව ඇඟිල්ල දිගු නොකළ ද නේපාල භාරකාර අගමැතිවරයා"බාහිර පුද්ගලයින් තමන් නොඉල්ලන යෝජනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතු"බව පවසා තිබේ. adaderana

සංශෝධනය ජනතාවාදීනම් ආණ්ඩුවට සහය දෙනවා


ජනතාවාදී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා සහය දෙන්න සූදානම් බවත්, පවුල්වාදී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුවට සහය දෙන්න සූදානම් නැති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් රටේ ජනතාවගේ කුස ගින්න නිවීමට හැකියාවක් නැති නිසා ජනතාවගේ කුස ගින්න නිවාදැමීමට හැකි වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවනතුරු උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කියා සිටියේය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සරත් එළියට ගැනීමේත් කේ.පී ඇතුළට දැමීමේත් උද්ඝෝෂණයක් බවත්,විමල් වීරවංශට මෙන්ම විරෝධය දැක්වීමට තම පක්ෂයටද අයිතියක් ඇති බවත් හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීමේ උද්ඝෝෂණ මාලාවේ මංගල උද්ඝෝෂණය අද කඩවත නගරයේ පවත්වමින් සිටින අතරතුරේදීය.

තමා අද උදෑසන ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවක් සඳහා සහභාගී වූ බවත්,තමන්ට ඒ පිළිබඳ තනි තීරණ ගන්නට සූදානම් නැති නිසා ඒ පිළිබඳ විශේෂ නියෝජිත පිරිසක් සමග යළි සාකච්ඡා කළ යුතු බව දැනුම්දුන් බවත් ,ඒ අනුව ලබන සඳුදා දින සවස අදාළ සාකච්ඡාව යළි පවත්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana