Sunday, July 11, 2010

මාරාන්තික උපවාසයට තිත-විමල් රොහලට


ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වමින් සිටි මාරාන්තික උපවාසයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර වීරවංශ මහතා උපවාසයේ යෙදෙන ස්ථානයට පැමිණ වතුර වීදුරුවකින් ඔහුට සංග්‍රහ කොට ඇත.

එයින් අනතුරව අදාළ සෞඛ්‍ය අංශවලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විමසීමක් කරන ලද අතර එම විමසීමෙන් අනතුරුව මොහොතකට පෙර එතැනට පැමිණි ගිලන් රථයක් ඔහුව නංවාගෙන රෝහල බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දිනයේ සිය මාරාන්තික උපවාසය අත්හරිනු ඇතැයි අද පෙරවරුවේ සිටම ආරංචි මාර්ග විසින් තහවුරු කරනු ලැබිණි.

ජනාධිපතිවරයා ඉල්ලීම් කරන්නේනම් හෝ අධිකරණ නියෝගයක් ගෙන පොලීසිය විසින් ඉවත්කරන්නේනම් ඊට එරෙහිවිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ එම්.මුසම්මිල් මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අද දිනයේ අධිකරණ නියෝගයකින් හෝ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකින් වීරවංශ මහතා මාරාන්තික උපවාසය අත්හරිනු ඇති බවත්,එසේ නොවුණහොත් හදිසි රෝගාතුරුවීමක් නිසා ඔහු ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යාමක් සිදුවිය හැකි බව අප විසින් අද පෙරවරුවේම සඳහන් කර තිබිණි.

පසුගිය අඟහරුවාදා දිනයේ ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සමග උපවාසයක් ආරම්භ වූ අතර ඉකුත් බදාදා(08) දිනයේ විමල් වීරවංශ මහතා එය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිවේදනයක් නිකුත් කරමින් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති මෙම නොහික්මුණු විරෝධතාවය වළක්වන්නට ශ්‍රී ලංකා රජය අසමත්ව තිබීම මහ ලේකම්වරයාගේ නොසතුටට හේතුවී ඇතැයි ද ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලය වසා දමන්නට මහ ලේකම්වරයා තීරණය කර ඇති වග පෙන්වා දී තිබිණි.

රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් මෙම විරෝධතාවය පවත්වන හෙයින් රජය ද රාජ්‍ය නායකයාද අපහසුතාවයට පත්වන බැවින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ දිනයේ විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. එහෙත් එහෙව් ලිපියක් තමන්වෙත නොලැබුණු බවත්,ඒ සමිබන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අප කළ විමසීමකදී කියා තිබුණි.

එහෙත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා වීරවංශ මහතාගේ එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන ලද බව කියා සිටියේය.

කෙසේ වුවද වීරවංශ මහතා උපවාසය අත්හරිනු ලබන බවට ආරංචි පැතිර යද්දී අද දහවල් මාධ්‍යයන් හමුවේ ප්‍රකාශයක් කරමින්"තමන් ආරම්භ කළ මාරාන්තික උපවාසය නැවත්විය හැක්කේ බෑන්කී මූන්ට පමණක් බවත්,වෙනත් කිසිදු බලපෑමක් නිසා තමන්ගේ සටන අතහරින්නට සූදානම් නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා යළි පවසා සිටියේය. ‍

අධිකරණ නියෝගයක් මගින් හෝ ජනාධිපතිවරයා හෝ මැදිහත්වී තමන් මෙතැනින් ඉවත් කරන්නට කටයුතු නොයොදන ලෙස ද හෙතෙම ඒ මොහොතේ ඉල්ලා සිටියේය. තමන්ගේ ජීවිතයට කිසියම් තර්ජනයක් සිදුවුවහොත් එහි වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයත්,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නියෝජිතයාත් බාරගත යුතු බවද වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් එසේ ප්‍රකාශ කිරීමෙන් හෝරාවක් දෙකක් හෝ ඉක්ම යන්නට පෙරාතුව ජනාධිපතිවරයා පැමිණ ඔහුට වතුර වීදුරුවකින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව ගිලන් රථයක් පැමිණ ඔහු එතැනින් ‍රෝහළට ‍ගෙන යන්නට කටයුතු කරන ලදී.

එහිදී අවට රැස්ව සිටින අය අත්පොලොසන් දෙන්නට වූ බවත්,වීරවංශ මහතා ගිලන් රථයට ගොඩ කරන අවස්ථාවේදී පවා කිසිදු විරෝධයක් නොදැක්වූ බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි. adaerana

0 comments:

Post a Comment